මැයි 13 මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයෙන් ඔබ්බට

අජිත් පැරකුම් ජයසිංහ (2019 මැයි 19 ලංකා පුවත්පතෙහි පළ වේ)

2019 මැයි මස 13 දින දිවයිනේ ප්‍රදේශ කීපයක සිදු වූ වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සමීපව නිරීක්ෂණය කිරීමෙන් පසු මා වගකීමෙන් යුතුව පවසන්නේ මේ පසුපස ඉතා සියුම් සැලැස්මක් තිබෙන බවයි. එය එක් කේන්ද්‍රයකින් හසුරුවනු ලබන සැලැස්මක් යයි කිව නොහැකි වුණත්, එක් අක්ෂයක බහුවිධ පෙරමුණු විසින් සැලසුම් කර දියත් කරන ලද ඒවා බව පැහැදිලි ය.

විශේෂයෙන් ම අප්‍රේල් 21දා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ජාතිවාදී බලවේග හා එම ජාතිවාදී බලවේග පාවිච්චි කරමින් දේශපාලන බලය ගොඩනගාගනිමින් සිටින දේශපාලකයන් කටයුතු කළ ආකාරය නිරීක්ෂණය කිරීමෙන් මෙය හොඳින් වටහාගත හැකි ය.

මැයි 13 ඉලක්ක දිනයක් වූ බව පෙනේ. ඒ වෙනුවෙන් මැයි 13 දින ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවක් එල්ල වනු ඇතැයි කටකතාවක් ප්‍රචාරය කර විශාල භීෂණයක් රට තුළ නිර්මාණය කරන ලදී. එහෙත්, එවැනි කිසිදු සිද්ධියක් සිදු වූයේ නැත.

එසේ නොවන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව මේ වන විට ආරක්ෂක අංශ විසින් එකී ත්‍රස්ත ව්‍යාපාරය මුලිනුපුටා දමා තිබෙන නිසා ය. එහි යම් ඉතුරු බිතුරු තිබීමේ හැකියාව අපි මුළුමනින් ම ප්‍රතික්ෂේප කරන්නේ නැත. මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයේ ස්වරූපය අනුව සෙසු ත්‍රස්තවාදයන්ට වෙනස්ව ආගමික උමතුවකින් ස්වයංව පවා විනාශකාරී ක්‍රියාවල යෙදීමට ඇතැමෙකු පෙළඹිය හැකි ය. එවැනි සිදුවීම් ලෝකයෙන් වාර්තා වී තිබේ. එසේම, අයිඑස්, අල් ක්වයිඩා වැනි ගෝලීය ත්‍රස්ත ව්‍යාපාරවලට තම අරමුණු ඉටු කරගැනීම සඳහා පහසු ඉත්තන් ලංකාවෙන් සොයාගන්නට හැකි වන්නට ද පුළුවන. මුස්ලිම් ජනතාවට එරෙහිව මැයි 13 දින එල්ල වූ ප්‍රහාර මාලාව එයට උත්ප්‍රේරකයකි.

කෙසේ වෙතත්, මැයි 13 දින අධ්‍යාපන පද්ධතිය මුළුමනින් ම අඩාල විය. එසේම, රටේ බොහෝ රජයේ කාර්යාල, පෞද්ගලික අංශයේ ව්‍යාපාර ආදිය ද බොහෝ දුරට අඩාල විය. ඊට කලින් සතියේ ද මෙම අඩාල වීම තිබුණ මුත් සිකුරාදා වන විට යථා තත්වයට පත්වීම ආරම්භ වී තිබිණි. මෙම සටහන තබන මැයි 15දා අඟහරුවාදා උදෑසන වන විට ද පාසල්වල දරුවන්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබිණි. එහෙත්, කලබල ඇති වූ ප්‍රදේශවල ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක ය.

මැයි 13 මුස්ලිම් විරෝධී ප්‍රහාරවල පෙරමුණගත් බලවේග සහ එම ක්‍රියා සඳහා අවශ්‍ය පසුබිම සකස් කළ බලවේග අතර පැහැදිලි වෙනසක් තිබේ. උදාහරණයක් ලෙස දෙරණ, හිරු වැනි රූපවාහිනී නාලිකා සහ ඒවායේ කුලී නිවේදකයන් මැයි 13 දක්වා කටයුතු කළ ආකාරය හා ඉන් පසු කටයුතු කරන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් තත්වය තේරුම් ගත හැකි ය. මෙහිදී සිදු වූයේ ග්‍රාමීය හා නාගරික අන්තවාදී ලුම්පන් කොටස් බලමුළුගන්වා වෙනත් බලවේග විසින් තම අවශ්‍යතාව ඉටු කරගැනීමයි. අන්ත ජාතිවාදී සංවිධාන මෙම වකවානුව තුළ සිංහල ජනතාව අතර කුඩා රැස්වීම් සිය ගණනක් පවත්වා තිබෙන බව වාර්තා වේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ගෙයින් ගෙට කුඩා ජනහමු මාලාවක් පවත්වන බව පිවිතුරු හෙළ උරුමයේ නායකයකු වන මධුමාධව අරවින්ද සිය ෆේස්බුක් ගිනුමේ පවා සඳහන් කර තිබේ. මෙම බලමුළුගැන්වීම් හරහා මෙම ලුම්පන් බලවේග ඇවිලවීම සඳහා ඉතා සුළු හේතු පවා යොදාගැනිණි. මැයි 5දා මීගමුවේදී එය ත්‍රිරෝද රථ රියදුරන් අතර පෞද්ගලික ආරාවුලක් වූ අතර, මැයි 12දා හලාවතදී ෆේස්බුක් කමෙන්ටුවක් විය.

වීදිබට ලුම්පන් බලවේගවලට පොලිසියෙන් හෝ ආරක්ෂක හමුදාවලින් ද එතරම් ප්‍රතිරෝධයක් එල්ල වූ බව නොපෙනේ. මුස්ලිම් ජාතිකයන් මරා දැමීම, පහර දීම, ඔවුන්ගේ දේපල ගිනිතැබීම හා කඩා බිඳදැමීම වැළැක්වීමට එතරම් තීරණාත්මක මැදිහත් වීමක් ආරක්ෂක හමුදා හා පොලිසිය පැත්තෙන් සිදු වූයේ නැත. තත්වය දිවයින පුරා ව්‍යාප්ත වීම වැළැක්වුණේ රජය හා ආරක්ෂක අංශ විසින් ගන්නා ලද සුවිශේෂ ක්‍රියාමාර්ගයක් නිසා යයි අපි නොසිතමු. සමාජ මාධ්‍ය බ්ලොක් කිරීම වැනි ක්‍රියාමාර්ග කිසිදු අරුතක් නැති ඒවා වන අතර, ඇඳිරි නීති පැනවුණේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලයේ දොරටු වසා දමන්නා සේ ය. කෙසේ වෙතත්, ප්‍රචණ්ඩත්වය බලමුළුගැන්වූවන් අඩියක් පස්සට ගත් බව පෙනේ. මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් වූ බවක් එයින් අදහස් වන්නේ නැත.

ඉදිරි කාලයේදී දේශපාලන අස්ථාවරත්වය දිග්ගැසීමට හා ආර්ථිකය අඩපණ කිරීමට මෙම බලවේග විසින් වරින් වර නැවත නැවතත් මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිළවීමට ඉඩ තිබේ. මේ වන විටත්, ඉදිරි කාලයේ ඇතැම් දින සම්බන්ධයෙන් මැයි 13දා පිළිබඳ ගෙන ගිය ප්‍රචාරය වැනි ප්‍රචාරණයන් දියත් කර තිබේ. එකී සැලැස්මේ ඉහළ තලය විසින් මෙම ප්‍රචාරණයන්ට සියුම් අන්දමින් තෙල් හලනු දැකිය හැකි ය. එහිදී හිරු, දෙරණ වැනි මාධ්‍ය ද, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද, ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් වැඩ කරන අන්තවාදී කල්ලි, කණ්ඩායම් සහ සමාජ මාධ්‍ය ද හැසිරෙන ආකාරය නිරතුරු අධ්‍යයනය කළ යුතු ය.

ආණ්ඩුව ද මෙම තත්වයෙන් වාසි ගන්නට උත්සාහ නොකරන බවට අපට ඇප වීමට බැරි ය. විශේෂයෙන් ම ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය බරපතල සැක උපදවයි. ඔහු විසින් මෙහෙයවනු ලබන පුද්ගලයකු බව පැහැදිලිව ම පැවසිය හැකි නාමල් කුමාර නම් ලුම්පන් තක්කඩියා ද මේ වන විට ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. එසේ ම, අගමැති රනිල් වික්‍රමසිංහ සහ බටහිර බලවේග මෙම වාර්ගික ගැටුම් සමග ක්‍රියා කරන ආකාරය ද අධ්‍යයනය කළ යුතු ය. ඔවුන් සිය දේශපාලන අරමුණු ඉටු කරගැනීම සඳහා මෙවැනි අවස්ථා පාවිච්චි කරන බව පෙනේ. ඍජුව සම්බන්ධ නැති බොහෝ බලවේග වාර්ගික ආතතිය මත දේශපාලන ව්‍යාපෘති ආයෝජනය කිරීමෙහි නියැලී සිටිති.

මෙවැනි තත්වයක් තුළ සබුද්ධික පුරවැසියන් කුමක් කළ යුතු ද යන්න බැරෑරුම්ව සිතිය යුතුව තිබේ. සමාජ මාධ්‍ය ප්‍රකාශන, පුවත්පත් සාකච්ඡා පමණක් නොව සාමකාමී තත්වය ඇති වූ පසුව කරන, කාට එරෙහිව කරනවාදැයි පැහැදිලි නැති උද්ඝෝෂණවලින් කිසිවක් වන්නේ නැත. මෙවැනි අරාජික තත්වයන් තුළ අවශ්‍ය වන්නේ බිමට බැස ක්‍රියා කරන සක්‍රිය, බිම් මට්ටමේ මැදිහත්වීම් ය. ජාතිවාදයට, අන්තවාදයන්ට එරෙහිව ජනතාව බලමුළුගැන්විය යුතු ය. වැඩ තිබෙන්නෙ පොළවේ ය. සෑම ආකාරයක ම ත්‍රස්තවාදයන්ට හා ප්‍රචණ්ඩත්වයන්ට එරෙහි සටන්කාමී පුරවැසි ආරක්ෂක ව්‍යාපාරයක් බිම් මට්ටමේ ආරම්භ කළ යුතු ය.

(Photo credit: Al-Jazeera)