මතුගමට බැස්ස කොල්ලන් කෙල්ලන් සෙට් එකක් කළ සුපිරි වැඩක්

ගැන්සි පිටින් කොල්ලන් බැහැලා නගර සුද්ද පවිත්‍ර‍ කරන අලුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. එවැනි ප්‍ර‍වණතා ජනප්‍රිය වෙන එක ඉතා හොඳයි. මෙවැනි වැඩවලින් සමාජයට සාධනීය ප්‍ර‍තිඵල රැසක් ලැබෙනවා. නගර පිරිසිදු වෙනවාට අමතරව මිනිසුන්ගේ ආකල්ප හා චර්යා වෙනස් කරන්නට එයින් ලැබෙන්නේ මහත් පිටුවහලක්. ඔබ කරන මෙවැනි හොඳ වැඩ ගැන තොරතුරු අපත් සමග බෙදාගන්න. අපේ ඊමේල් ලිපිනය: [email protected]

මේ ලිපිය ලියන මගේ ගම මතුගම. පසුගිය පෝය දිනයේ මා ගමේ හිටියෙ නැහැ. ඒත්, මතුගම නගරයේ වෙච්ච අපූරු වැඩක් ෆේස්බුක් ඡායාරූපවලින් දැක්කා.

මතුගම කියන්නෙ සුන්දර නගරයක්. හතර වටෙන් ම සුන්දර ප්‍රදේශවලට මැදිව පිහිටි නගරයක්. නගරය වටේ විතරක් නෙමෙයි, මැද පවා කඳු තිබෙනවා. බටමුල්ල කන්ද මුදුනේ නම් බුදුරුවක් පිහිටුවා තිබෙනවා. ඒක ලස්සන නගරයක් බවට පත් කරන්නට පුළුවන් තැනක් වුණත්, මේ ප්‍රදේශය නියෝජනය කරන දේශපාලකයන් කිසිවෙකු ඒ කෙරෙහි ප්‍ර‍මාණවත් අවධානයක් යොමු කර ඇති බවක් පෙනෙන්නට නැහැ. 1956 සිට 1977 දක්වා මතුගම මන්ත්‍රී වී සිටි දයා ටී. පස්කුවල් මහතාගෙන් පසුව, නගරය සංවර්ධනය කරන්නට තීරණාත්මක පියවර ගත් මහජන නියෝජිතයෙකු නැහැ.

නගරයේ වාහන නැවැත්වීමේ ස්ථාන හිඟකම නිසා දරුණු තදබදයක් තිබෙනවා. නගරය ඇතුළේ අතුරු මං මාවත් හරිහැටි නඩත්තු කර නැහැ. පදික වේදිකා නඩත්තු කර නැහැ. ඒවායේ මර උගුල් පවා තිබෙනවා.

නගරයේ සැමට විවෘත හරි හමන් පොදු වැසිකිළියක්වත් නැහැ. පිටාර බස් නැවතුම්පළ පිහිටි පාතාලය පැත්ත මුත්‍රා අසූචි ගහණ ප්‍රදේශයක්. නගරවැසියන්ගෙන් ඇතැමෙකුත් පාරවල්වලට කුණු විසි කරනවා. පොලිතින් පිළිස්සීම නගරය තුළ සුලබව සිදු වන දෙයක්.

තව කතා කරනවා නම් බොහෝ දේ තිබෙනවා. ඒත්, මේ ඔක්කොම අඩුපාඩු මැද හොඳ වැඩක් කරන්නට නගරයට බැස්ස මේ පිරිස අගයන්නට ඕනැ නිසායි මේ බ්ලොගය ලිව්වෙ. ඔබට ජය!