Silani Tumhara

නිලාවැලි තල් අරඹෙන් යළි මතු වන සිලනි තුමාරාගේ මියුරු හඬ

අජිත් පැරකුම් ජයසිංහ

සිලනි තුමාරා පීරිස් කියන්නෙ ලංකාවේ සිටින දක්ෂ ගායිකාවක්. ඒ වුණාට හැම දක්ෂතාවකට ම ඉදිරියට එන්නට සමහර විට අවස්ථාව ලැබෙන්නෙ නැහැ. සිලනිගෙත් හඬ දැන් අවුරුදු ගානක ඉඳන් ඈත ත්‍රිකුණාමලේ නිලාවැලි සංචාරක පාරාදීසයේ තල් අරඹක සිලා කබානාහි සැඟවිලා ගිහින්. එය පිටතට එන්නට ඕනැ.

සිලනි අපට මුලින් ම හමු වන්නෙ 2007දි. ඒ වකවානුවේ වමේ දේශපාලන ක්‍රියාධරයන් පිරිසක් එක් වෙලා 2005දී බිහි කරපු නොවැම්බර් ව්‍යාපාරය පසු කලෙක හෙරිටේජ් ඉනීෂියේටිව් නමින් ව්‍යාපෘතියක් කළා. එමගින් තමයි ඉතිහාස සඟරාව පළ කළේ. අග්නීමා සංගීත කණ්ඩායම නිර්මාණය කළෙත් නොවැම්බර් ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයන්. සිලනි එහි ප්‍රධාන ගායිකාව. ඒ වකවානුවෙ පැවැත්වුණු දේශපාලන ප්‍රසංග රැසක අග්නීමා ඉදිරිපත් කිරීම් කළා. සිලනි ගී ගැයුවා.

ඒ පරම්පරාවේ කොළඹ කවවල පූර්ණ දිය වී යාමකට කිට්ටු දෙයක් 2009දි යුද්ධය අවසන් වන විට සිදුවුණා. එයට එක් හේතුවක් වුණේ මේ කොළඹ කව යුද්ධයේ උච්චම අවධියේදිත් යුද්ධයට විරුද්ධව පෙනී සිටීම. ප්‍රභාකරන් මරා දමා සිංහලයන් වීදිවල කිරිබත් පිස කද්දීත් මේ කණ්ඩායම් ජාතිවාදයට යටත් වුණේ නැහැ.

ඇතැම් කණ්ඩායම්වල දේ්ශපාලන ස්ථාවර නිසා ඔවුන් අත්අඩංගුවට පත් වුණා. තව සමහරුන්ට රටින් පළායන්නට සිදුවුණා. යුද්ධය උත්සන්න වන විට කුමාර් රූපසිංහලා වගේ ඩොලර් මිලියන් ගණන්වල දැවැන්ත සාම ව්‍යාපෘති කළ සාම කුරුල්ලන් කඩ වසා දමා යළි ආපසු නොඑන්නට ම කොහේදෝ පියාඹා ගියා. බොහෝ අයට රැකියාත් නැති වුණා. එහෙම අයත් ගෝඨාභයට බිය බව කියා නිල් තණ පලස් සොයා බටහිර දේශපාලන රැකවරණ ලබාගත්තා.

ඔය ඔක්කොම මැද්දෙ ලංකාවෙ ඉතුරු වුණ ඒ පරම්පරාව පසුබැස යද්දි, කොළඹ කවවල නූතන හෙවණැලි මතු වෙන්නට පටන් ගත්තා. ඒ අර යුද්ධයට පක්ෂව සිටි, කිරිබත් කාපු ප්‍රජාව අතරින්මයි. 1980 දශකයේ අගදි දයා පතිරණ වැනි අය විසින් ද නැවත සොයාගන්නා ලද රෝදය 2010න් පසු බිහි වූ කොළඹ කව විසින් 2019 වන විටත් නැවත නැවතත් සොයාගනිමින් ඉන්නවා. ඒ අතරවාරයේ බොහෝ අයට අමතක වී ගිය දේ අතර සිලනිගේ හඬත් තියෙනවා.

මාටින් නිමොලර්ගෙ සුප්‍රකට කවිය ඇසුරෙන් නිර්මාණය කළ ‘අරගෙන යන්නට උන් ඇවිදින් – සමාජවාදීන්’, ‘එන්න කඳුකරයට’, බයි ද රිවර්ස් ඔෆ් බැබිලොන් සිංහල පරිවර්තනය වැනි රසවත් නිර්මාණ අත්දැකීම් කීපයක් තවමත් මතකේ තිබෙනවා. මේ ගීවල සංගීත නිර්මාණ කළේ දක්ෂ සංගීතඥයකු වූ, සිලනි වගේ ම සැඟවී ගිය තාරක සූරසිංහ.

අග්නීමා කියන්නෙ පිපෙන්නට පෙර ම පර වී ගිය සුවඳවත් මල් කැකුළක්.

සිලනි ඒ මල් කැකුළෙ සුමුදු මල් පෙත්තක්. ඒ හඬට නැවත මතුවෙන්න ආරාධනා කරමු. සවන් දෙන්න හදවතින්: