A Sri Lankan roman catholic woman prays during a three minute nationwide silence observe to pay homage to the victims of Easter Sunday's blasts outside St. Anthony's Shrine in Colombo, Sri Lanka, Tuesday, April 23, 2019. A state of emergency has taken effect giving the Sri Lankan military war-time powers not used since civil war ended in 2009. Police arrested 40 suspects, including the driver of a van allegedly used by suicide bombers involved in deadly Easter bombings. (AP Photo/Eranga Jayawardena)

තව්හීද් ජමාත් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය හා සම්ප්‍රදායික මුසල්මානුවා

අජිත් පැරකුම් ජයසිංහ

අරාබි බසින් තව්හිද් යන්නෙන් අදහස් වන්නේ දෙවියන්ගේ ඒකත්වයයි. එනම්, දෙවියන් යනු තමන් අදහන දෙවියන් පමණක් බවයි. ජමාත් යනු සභාවයි. ජාතික තව්හිද් සභාව නම් සංවිධානය ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාවට වගකිව යුතු බව මේ වන විට හෙළිදරව් වී තිබේ. එසේම, එහි නායකයා ද තවත් නායකයන් පිරිසක් ද සියදිවි නසාගන්නා බෝම්බකරුවන් ලෙස ක්‍රියාත්මක වී තිබේ. (ලිපිය දැන්වීමෙන් පසු දිගට කියවන්න)

Media and Social Entrepreneur

ශ්‍රී ලංකාවේ ප්‍රහාර මාලාව පසුපස ශක්තිමත් ජාත්‍යන්තර ජාලයක් ක්‍රියාත්මක වීමට වඩා සිදුවන්නේ දේශීය ජාලයක ක්‍රියාත්මක වීමකි. දැනට අප දන්නා තොරතුරු අනුව මෙම ප්‍රහාර මාලාව සිදු කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානය සමග සම්බන්ධ ඇතැම් පුද්ගලයන් අපනයන ව්‍යාපාර හා සම්බන්ධ ඉතා ධනවත් අයයි. නිදසුනක් ලෙස දෙමටගොඩ මහවිල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත්, 2015 මහ මැතිවරණයේ ජවිපෙ ජාතික ලැයිස්තුවේ සාමාජිකයකු වූ ඊබ්‍රාහිම් නමැත්තා වටිනාකම් එකතු කළ තඹ අපනයන ව්‍යාපාරිකයෙකුගේ පියා බව වාර්තා වේ. එම ව්‍යාපාරය අති විශාල ලාභ ලබන ව්‍යාපාරයකි. මෙම පුද්ගලයාගේ පුතුන් දෙදෙනෙකු මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස ක්‍රියා කර තිබෙන අතර, එම නිවසේ පිපිරවීමෙන් මිය ගිය අය ද එම පවුලේ අයයි. එකී තඹ ව්‍යාපාරිකයා ද සියදිවි නසාගැනීමේ බෝම්බකරුවකු වන්නට ඇත්දැයි සැකයක් තිබේ. මෙම පිරිස් ඉතා ධනවත් පමණක් නොව, පුළුල් සම්බන්ධතා ජාලයක් ද නඩත්තු කළ අයයි.

ශ්‍රී ලංකා තව්හිද් සභාව නමින් තවත් මෙවැනි ම අන්තවාදී මුස්ලිම් සංවිධානයක් තිබේ. තවත් මෙවැනි අන්තවාදී ආගමික කල්ලි ද තිබේ. මෙවැනි ආගමික කල්ලි හතු පිපෙන්නාක් සේ බිහිවන්නට සවුදි අරාබියෙන් ඔවුන්ට ලැබෙන ආධාර ද හේතු වේ. මෙම කල්ලි විසින් ශුද්ධ වූ කුරානයේ පාඨ විවිධාකාරයෙන් අර්ථ නිරූපණය කරනු දැකිය හැකි ය.

නිදසුනක් ලෙස, කුරානයෙන් මුස්ලිම් ජාතික පිරිමින් සහ කාන්තාවන් හට පෙන්වා දෙන්නේ විනීත ලෙස හැඳපැළඳිය යුතු බවයි. ඒ අනුව, පිරිමින් නාභියේ සිට දණහිස දක්වා ප්‍රදේශය ආවරණය කිරීම අනිවාර්ය ය. කාන්තාවන් ඥාති නොවන හෝ විවාපත් නොවූ පිරිමින් ඉදිරියේ සිය මුහුණ, දෑත් හා පාද හැරුනුකොට ශරීරයේ සියලු ප්‍රදේශ ආවරණය කළ යුතු ය. මේ ගැන විවාදයක් පවතී. කාන්තාවන් ඇස් පවා වේලයකින් ආවරණය වන පරිදි බුර්කා නමින් ස්ත්‍රී හිංසක ඇඳුමක් ඇඳිය යුතු ය යන්න ප්‍රවර්ධනය කරන ප්‍රධාන පිරිස මෙවැනි ආගමික කල්ලි ය.
මුහුණ සම්පූර්ණයෙන් ම පවා ආවරණය කරන බුර්කා සහ ඇස් ආවරණය කරන නිකාබ් හැරුණුකොට හිජාබ්, ෂයිලා වැනි විනීත මුස්ලිම් කාන්තා ඇඳුම් තිබේ.

වයස අවුරුදු අටේ පමණ දැරියන් විවාහ කරගැනීමට ඉඩ දෙන හා වයස අවුරුදු 12 පමණ වන දැරියන් සමග ලිංගික සංසර්ගයට ඉඩ දෙන ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය තුළ දස වසරකට වැඩි කාලයක් තිස්සේ තිබෙන සාකච්ඡාව ඉදිරියට යන්නට ඉඩ නොදෙන ප්‍රධාන බලවේග ද මෙකී අන්තවාදීහු ය.

මෙවැනි ඉස්ලාම් අන්තවාදයන් වහාබිවාදයන් ලෙස හැඳින්වේ. වහාබිවාදය මොහොමඩ් ඉබ්න් අබ්ද් අල් වහාබ් විසින් 18වන සියවසේදී ආරම්භ කරන ලද ඔවුන් විසින් වඩාත් ශුද්ධ ලෙස හා මුල් ඉස්ලාමය ලෙස සැලකූ ඉස්ලාම් ප්‍රවණතාවකි. සම්ප්‍රදායික මුස්ලිම්වරුන් කෆීර් හෙවත් ඇදහිලිවන්තයන් නොවන අය ලෙස නම් කිරීමේ අන්තවාදී ප්‍රවණතාව ඔහුගේ සමයේ පටන් ම පැවති එකකි.

වර්තමානය වන විට වහාබිවාදය ලොව පුරා පැතිර තිබේ. පොදු යාඥා මෙහෙයන්ට සහභාගි වීම, රැවුල නොකැපීම හා දුම් නොබීම වහාබිවාදීන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන ඇවතුම් තුනකි. අල් ක්වයිඩා, අයිඑස්, බෝකෝ හරාම් වැනි ලොව ප්‍රචණ්ඩ ම වහාබි කල්ලි අතරට ශ්‍රී ලංකාවේ තව්හිද් ජමාත් ද ඉදිරියේ එකතු වීමට ඉඩ තිබේ. එනි නායකයන් ම සියදිවි නසාගැනීමේ බෝම්බකරුවන් වීමත්, කෆීර් හෙවත් ඉස්ලාම් බැතිමතුන් නොවන සෙසු පිරිස් ඝාතනය කිරීමෙන් ස්වර්ගය වෙත යාමට කටයුතු කළ පුද්ගලයන් පිරිසක් වීමත් හේතුවෙන් වහාබි අන්තවාදීන් අතර ඔවුන් වන්දනීය චරිත බවට පත් වීමේ ඉඩක් තිබේ.

වහාබිවාදය ලොව පුරා මෙතරම් පැතිර යන්නට හේතුව වන්නේ මුස්ලිම් ප්‍රජාව අතර තිබෙන මහා බෙදීමක් වන සුන්නි – ෂියා බෙදීමයි. මෙම බෙදීම මුල්කාලීන බෙදීමකි. ක්‍රිස්තු වර්ෂ හත්වන සියවසේදී මොහොමඩ් නබිතුමාගේ අභාවයත් සමග අලි ඔහුගේ නිල අනුප්‍රාප්තිකයා ලෙස පිළිගත් පිරිස ෂියා මුස්ලිම්වරු වෙති. ෂියා මුස්ලිම්වරුන් බලවත් වන්නේ ඉරානය, ඉරාකය, බහරේන් වැනි රටවලයි. ලොව පුරා බහුතර මුස්ලිම්වරු සුන්නිවරු ය. ශ්‍රී ලංකාවේ අති බහුතරය සුන්නි මුස්ලිම් ය. ෂියා මුස්ලිම්වරුන්ට එරෙහිව කටයුතු කිරීමේදී වඩා සටන්කාමී වන වහාබි නිකායන්ට සවුදි අරාබිය විශාල වශයෙන් ආධාර කරයි. ඒ අන්දමින් ම ඉරානය ද ෂියා කල්ලිවලට ආධාර කරයි.

සිරියාවේ තිබෙන ගැටුම පසුපස ෂියා – සුන්නි බෙදීම තිබෙන ආකාරය නිදසුනකි. ඉරානය, හිස්බුල්ලා සටන්කරුවන් සහ ෂියා අතුරු හමුදා ෂියා මූලික රජයට උපකාර කළ අතර අයිඑස් වැනි සුන්නි ජිහාඩ් කල්ලි ඉලක්ක කළේ ෂියාවරුන් හා ඔවුන්ගේ ආගමික ස්ථානයි.

ශ්‍රී ලංකාවේ වහාබි කල්ලිවලට ද සවුදි අරාබියෙන් දැවැන්ත අරමුදල් ලැබෙන අතර, ඒවායින් විශාල සුබසාධන ව්‍යාපෘති ද දියත් වේ. වහාබි කල්ලි බලවත් වීමට එය ප්‍රධාන හේතුවකි. මෙම කල්ලි අතර පවතින තරගකාරිත්වය වැඩිදුරටත් අන්තවාදය දිරිගන්වයි. මේ අතර, මුස්ලිම්වරුන්ගේ පූජනීය වන්දනා ස්ථානය වන මක්කමෙහි වහාබිවරුන්ට තිබෙන බලය හා සවුදි අරාබි බලය හමුවේ ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික මුස්ලිම් විද්වතුන් පවා පසුබැස තිබේ.

මුල් කාලයේදී වහාබි ආගමික භාවිතාවන් හා අභිචාර හේතුවෙන් මුස්ලිම් පල්ලිවල සම්ප්‍රදායික මුස්ලිම්වරුන් සහ වහාබිවරුන් අතර ගැටුම් පවා ඇති වූ මුත් මේ වන විට වහාබි භාවිතාවන් ප්‍රධාන ධාරාවේ පල්ලිවල ද බාධාවකින් තොරව සිදු වේ. සම්ප්‍රදායික මුස්ලිම් විද්වතුන් නිහඬ කිරීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ සවුදි අරාබිය අමනාප කරගැනීමට හා මක්කම වන්දනා අවස්ථා අහිමි කරගැනීමට තිබෙන බියයි. අනෙක් පැත්තෙන් මේ වන විට වහාබි අන්තවාදීන් විසින් සම්ප්‍රදායික මුස්ලිම් සමාජය ප්‍රාණ ඇපයට ගෙන තිබේ. ඔවුන්ට එරෙහිව කට ඇරීමට පවා මුස්ලිම් විද්වතුන් අතර බියක් පැන නැගී තිබේ.

මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයට මුහුණ දීමේදී සම්ප්‍රදායික මුස්ලිම් භක්තිකයා වෙන් කරගැනීම හා ඔවුන් ආරක්ෂා කරමින් අන්තවාදීන්ට පහර දීම ඉතා වැදගත්. අගක් මුලක් නොදැන තැන තැන මුස්ලිම් මිනිසුන්ට පහර දෙන සෙසු ආගමික අන්තවාදීන් තමයි මේ වෙලාවේ මුස්ලිම් අන්තවාදීන්ට ලොකුම උදව්ව කරන්නේ. ඔවුහු සම්ප්‍රදායික මුස්ලිම් ජනයා අන්තවාදීන් තුරුලට තල්ලු කරති.

වහාබි ත්‍රස්තවාදයට දේශපාලන විසඳුම් දීමේ අවශ්‍යතාවක් නැත. එය වනාහි සෙසු සියලු ආගමිකයන් හා නිරාගමිකයන් කෆීර් හෙවත් දෙවියන් විශ්වාස නොකරන්නන් ලෙස සලකා මරා දමන අන්තවාදයක් නිසා එයට ඇත්තේ ඉතා පැහැදිලිව ම මිලිටරි විසඳුමක් ම පමණි. එහෙත්, මෙය ඉතා පරිස්සමෙන් කළ යුත්තකි.

(සති අග ලංකා පුවත්පතේ ද පළ පළ වීමට නියමිත ලිපියක් බව කරුණාවෙන් සලකන්න.)

(Cover Photo: AP Photo/Eranga Jayawardena)

Sinhala Tamil English Translations and Content Writing