Hambanthota criminals including Eraj Fernando

එරාජ්ටයි පත්තක්කා සෝමෙටයි හිරේ යන්න වුණේ ඇයි?

හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුට සහ ඔහු සමග අපරාධ ක්‍රියාවලට සම්බන්ධ වූ ප්‍රේමසිරි පරණමාන හෙවත් පත්තක්කා සෝමෙ යන අයට හම්බන්තොට මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත පස් අවුරුදු සිරදඬුවමක් සහ දඩ පනවා ඇති බව මේ වන විට වාර්තා වී හමාර ය.

(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
Sinhala Tamil English Translations and Content Writing

ඔවුන් වැරදිකරුවන් බවට පත් වුණේ 2014 අප්‍රේල් මස එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටියදී ඔවුන්ට පහර දී අඩන්තේට්ටම් කිරීම හා මරණ තර්ජන සිදුකිරීම සම්බන්ධයෙනි.

මේ හා සම්බන්ධ පොලිස් විමර්ශන සිදු වූයේ කෙතරම් සෙමින් ද යත්, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ සිද්ධියෙන් මාසයකට පමණ පසුව ය.

එරාජ් ප්‍රනාන්දු මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙලිඅත්ත සංවිධායකවරයා ය. එක්සත් ජාතික පක්ෂයට බලය හිමි වූ හම්බන්තොට නගර සභාවේ සභාපති ධුරයට එරාජ් ප්‍රනාන්දු පත්කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව ඡන්දය ප්‍රකාශ කළ හ. හම්බන්තොට නරග සභාවේ බලය හිමි වුණේ එක්සත් ජාතික පක්ෂයටයි. එහි ආසන බෙදී ගියේ එජාප -9, පොදු ජන පෙරමුණ – 7, එජනිස – 4 හා ජවිපෙ – 1 වශයෙනි.

එරාජ් ප්‍රනාන්දු රාජපක්ෂ පවුල අතහැර දමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සමීප වූයේ අධිකරණයෙන් සහනයක් ලබාගැනීම සඳහා බව බොහෝ අය අනුමාන කළ හ. කෙසේ වෙතත්, දේශපාලන බලපෑමකින් තොරව නඩු විභාගය සිදු වූ අතර, එදින ප්‍රහාරයට ලක් වූ මන්ත්‍රීවරු ද මෙම නඩුවෙහිදී සාක්ෂි දුන් හ.

එරාජ් ප්‍රනාන්දු මන්ත්‍රීවරුන්ට පහර දීම සඳහා ලුහුබැඳ පැමිණි අවස්ථාවේ ඔහු අත තිබුණේ ප්ලාස්ටික් පිස්තෝලයක් බවට විත්තිකරුවන් කළ ප්‍රකාශ පොලිසිය විසින් පිළිගන්නා ලද මුත්, එය සැබෑ පිස්තෝලයක් බව සාක්කි දුන් මන්ත්‍රීවරු පැවසූ හ. මෙම නඩුවෙහි නඩු භාණ්ඩයක් ලෙස සැබෑ පිස්තෝලයක් ඉදිරිපත් කරනු ලැබුවේ නැත.

මෙම පහරදීම සිදු වූ අවස්ථාවේ හම්බන්තොට සහකාර පොලිස් අධිකාරිවරයා සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සිනාසෙමින් එය නරඹමින් සිටි බව ද ක්‍රියාමාර්ගයක් නොගත් බව ද මන්ත්‍රී අජිත් පී. පෙරේරා සිය සාක්ෂියේදී පැවසී ය.

මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සමයේ සිවිල් සමාජ සංවිධාන සමග එක්ව ‘වීදියේ විරෝධය’ ප්‍රසංගය හම්බන්තොට නගරයේ පැවැත්වූ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු හා ගායකයකු වන ජයතිලක බණ්ඩාරට ද 2014 දෙසැම්බර් මාසයේදී එරාජ් ප්‍රනාන්දු විසින් පහර දී, අඩන්තේට්ටම් කරන ලදී.

පසුව, එරාජ් ප්‍රනාන්දු ජයතිලක බණ්ඩාරගෙන් සමාව ඉල්ලා සිටි අතර ඔහු විසින් සමාව ලබාදෙන ලදී.

මේ වන විට අධිකරණ ස්වාධීනත්වය බොහෝ දුරට තහවුරු වී තිබෙන බවට මෙම නඩුවේ තීන්දුව සාක්ෂියකි. එහෙත්, තවමත් රාජපක්ෂ පවුලේ අයට අධිකරණයෙන් තමන්ට පක්ෂපාතී තීන්දු ලබාගැනීමේ හැකියාව තිබෙන බව දිගින් දිගට ම පෙනෙන්නට තිබිණි. ඔවුන් නැවත බලයට පැමිණියහොත් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් ඇති විය හැකි බව බොහෝ දෙනා සැක කරති.