Crowded train

ඉතිහාසයේ අසාධාරණ ම දුම්රිය වර්ජනය

මේ වන විට දියත් වී තිබෙන දුම්රිය වැඩවර්ජනය දුම්රිය සේවක වෘත්තීය සමිති පැත්තෙන් ගත් කල ඉතා ම අවෘත්තික ක්‍රියාවක් බව තොරතුරු මත පදනම්ව අපි වාර්තා කරන්නෙමු.

මෙම වර්ජනයට හේතුව වී තිබෙන්නේ එක්තරා තාක්ෂණික ශ්‍රේණි වෘත්තීය සමිතියකට අයත් ක්‍රියාකාරිකයකු සම්බන්ධ පෞද්ගලික ගැටලුවකි. චන්ද්‍රසේන බණ්ඩාර නම් වන මෙම වෘත්තීය සමිති ක්‍රියාකාරිකයා කලින් කලට පවතින ආණ්ඩු සමග ළංවෙමින්, දූෂණවලටත් සම්බන්ධ, පොදු අරගලවලත් සිටින, ඒ අතරවාරයේ පාවාදීම් ද කර තිබෙන සාමාන්‍ය වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකි. දේශපාලනික වශයෙන් හෝ කිසිදු සංකේතාත්මක වැදගත්කමක් ඇති අයෙකු නොවේ.

මෙම පුද්ගලයා සති කීපයකට පෙර රාජකාරි වේලාවේදී මත්පැන් පානය කර සිට අසුවීම නිසා ඔහුගේ ප්‍ර‍කාශ ආදිය ලබාගෙන වැඩ තහනම් කර තිබේ. එම පුද්ගලයාට පරීක්ෂණයට යටත්ව ආපසු වැඩ ලබා දෙන ලෙස ප්‍ර‍වාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දීම මහා ප්‍ර‍ශ්නයක් බවට පත් කරගෙන දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍ර‍නාන්දු ඉල්ලා අස්වන බව දැනුම් දීමෙන් මෙම ප්‍ර‍ශ්නය තීව්‍ර‍ විය.

මෙම ඉල්ලා අස්වීම පරිපාලකයකු ලෙස ඩිලන්ත ප්‍ර‍නාන්දු කෙතරම් අදක්ෂයකු ද යන්න හා ආවේග හා හැඟීම් මත පදනම්ව ක්‍රියා කරන පුද්ගලයකු ද යන්න පෙන්නුම් කරයි. ප්‍ර‍වාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග ඉල්ලා අස්වීමකින් තොරව මෙවැනි සුළු ගැටලුවක් විසඳාගැනීමට බැරි පුද්ගලයකු දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරට ඔබින්නේ ද නැත. අනෙක් කරුණ, ඔහුගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දුම්රිය සේවකයන් වර්ජනය කරන්නට තරම් දුම්රිය දෙපාර්තමේන්තුව දේශපාලන ඇඟිලිගැසීම්වලින් තොර, ඉතා කාර්යක්ෂම මහජන සේවා ආයතනයක් ලෙස ඔහු විසින් පරිපාලනය කර නොමැති බව මේ රටේ කවුරුත් දනිති.

දුම්රිය සේවකයන් හා නිලධාරීන් කීදෙනෙකු රාජකාරි වේලාව තුළ මත්පැන් පානය කරනවා ද, ඔවුන් කොයි තරම් දූෂිත ද, කොයි තරම් රාජකාරි පැහැරහරිනවා ද යන්න දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෝ කවුරුත් දනිති. දුම්රිය දෙපාර්තමේන්තුවේ විනය යනු අතිශය දුර්වල මට්ටමක ඇති දෙයකි. පහත දැක්වෙන්නේ දුම්රිය රියදුරකු තදබද දුම්රියක ගාඩ් පෙට්ටියකට නැගුණු මගීන් පිරිසක් අතරින් පිරිමි පුද්ගලයකු මරා දමන බවට තර්ජනය කරන ආකාරයයි.

https://www.facebook.com/ConsumerRightsSriLanka/videos/559974647757724/

යම් සේවකයකුට චෝදනාවක් එල්ල වූ විට වැඩ තහනම් කිරීම හා විමර්ශනයට යටත්ව ආපසු සේවයට අවස්ථාව දීම රජයේ සේවයේ සාමාන්‍ය තත්වයකි. එසේම, වරද ඔප්පු වූ විට පවා සේවයෙන් පහකිරීම සිදුවන්නේ අවසන් දඬුවම ලෙසයි. ඒ වෙනුවට ඇතැම් විට වැටුප් වර්ධක අවකරණය, ස්ථාන මාරු වැනි වෙනත් දණ්ඩනයන් පනවා නැවත සේවයට අවස්ථාව ලැබේ.

දුම්රිය නිලධාරීන් සහ වර්ජනය කරන දුම්රිය සේවකයන් කිසිවෙකුත් මේ යථාර්ථය නොදන්නා අය නොවේ. මේ කිසිවෙකු කිසිදු වරදක් නොකරන, ඉතා හොඳින් සේවය ලබා දෙන අය ද නොවේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය තත්වය අකාර්යක්ෂමතාවයි. හරියට වැඩ කරන මිනිසුන් වනාහි සුවිශේෂ පිරිසකි.

මේ වර්ජනය වනාහි නීති විරෝධී, පීඩාකාරී, දේශපාලනික වශයෙන් යම් අරමුණු මත පදනම් වූ, එසේම, තමන්ගේ ඉල්ලීම් ඉටුකිරීම රජය ප්‍ර‍තික්ෂේප කිරීම නිසා ඇති වූ කලකිරීම මත පදනම් වූ, මුග්ධ වෘත්තීය සමිති නායකත්වයක් විසින් පොළඹවන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවකි. අපට කීමට තිබෙන්නේ එපමණකි. ප්‍ර‍වාහන ඇමතිට හා රජයට කොන්දක් තිබේ ද නැද්ද යන්න ඔවුන් පෙන්විය යුතු ය.