අන්තවාදී බලවේග නැවත කළඑළි බසින්නේ කළු ජූලියක් ඇති කරන්න ද?

මේ වෙනකොට ඉස්ලාම් අන්තවාදයට එරෙහි වීමේ මුවාවෙන් වෙනත් ආගම්වල අන්තවාදී සංවිධාන ද සිය දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරියට දමමින් සිටින බව නිරීක්ෂණය කළ හැකි ය. මේ මොහොතේ දිවයිනේ බොහෝ තැන්වල අන්තවාදී සංවිධාන රැස්වීම් යම් යම් මට්ටම්වලින් සිදු වන බව අපගේ විශ්වාසයයි. ඒවා එක් ආගමකට පමණක් සීමා වී ද නැත.

එවැනි සංවිධානවලට රැස්වීම්, සාකච්ඡා, උද්ඝෝෂණ ආදිය පවත්වන්නට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තිබෙන මුත්, ජාතික ආරක්ෂාවේ නාමයෙන් ඒවායේ සීමාව පැහැදිලිව සලකුණු කළ යුතු ය.

නිදසුනක් ලෙස මහසෝන් බලකාය මැයි 11 සෙනසුරාදා දවල් 1ට පල්ලෙකැලේදී උද්ඝෝෂණයක් සංවිධානය කර, මහසොහොන් බලකායේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක බව කියන අමිත් වීරසිංහගේ නමින් සහ විමලජෝති නම් භික්ෂුවකගේ අත්සනින් ලියුමක් බෙදාහරිමින් තිබේ.

පෙනෙන පරිදි, එය ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයකි. එකම රටක්, එකම නීතියක් වෙනුවෙන් උද්ඝෝෂණය කිරීමේ කිසිදු වරදක් අපි නොදකිමු. එහෙත්, සුපුරුදු පරිදි වාර්ගික ප්‍රචණ්ඩත්වයන් ඇති කරන්නට ඔවුන්ට ඉඩ නොදිය යුතු ය.

ඉස්ලාම් අන්තවාදය මර්දනය කිරීමේ කර්තව්‍යය අන්තවාදීන්ගේ සහයෝගය නොමැතිව ආරක්ෂක අංශ විසින් ඉතා හොඳින් කරන ලදී. එසේම, ඉතා හොඳ වෘත්තිකභාවයක් ද එහිදී දක්නට ලැබිණි. කිසිවකු අසාධාරණ අන්දමින් ඝාතනයට ලක් වුණේ නැත. අතුරුදහන්කිරීම් නැත. සිවිල් වැසියන් හිරිහැරයට පත් වීම අවම මට්ටමක තිබිණි. සියල්ල පරිපූර්ණ නැති වුණත්, එය ඉතා දක්ෂ අන්දමින් කරන ලද සාර්ථක ප්‍රති මෙහෙයුමකි.

එසේම, වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන යාම ද ඉක්මණින් සිදු වේ. ඇතැම් සැකකරුවන් බලාපොරොත්තු වූවාටත් වඩා ඉක්මණින් නිදහස් කරන අයුරු ද දක්නට ලැබිණි. ඊබ්‍රාහිම් පවුලේ තඹ කර්මාන්තශාලාව බෝම්බ හැදූ තැන ලෙස ඇඟවෙන ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්නට ඉඩ දුන් පොලිසිය විසින් ම, ඉන් පසු එම සැකකරුවන්ට පහසුවෙන් ඇප ලැබෙන අන්දමින් ක්‍රියා කර තිබේ. එසේ වූයේ කොහොමදැයි පැහැදිලි කර නැත.

ඒ අතරවාරයේ රටේ වෙනත් මෙහෙයුමක් සිදුවෙමින් තිබේ. ඒ වනාහි රට අනාරක්ෂිතබව ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරය කිරීමේ මෙහෙයුමයි. මෙයට මාධ්‍ය පමණක් නොව ඇතැම් ප්‍රභූන් ද දැන හෝ නොදැන සම්බන්ධ ය. එමගින් එක පැත්තකින් භීෂණය අඛණ්ඩව පවත්වාගෙන යාමට උත්සාහ කරන අතර, එයින් රටේ ආර්ථිකයට හා ජනජීවිතයට දැඩි හානියක් සිදු වේ.

මව්පියන් දරුවන් පාසල් නොයැවීම මෙම ව්‍යාපාරයේ සාර්ථකත්වය පෙන්වන ජවනිකාවකි. රජයට මහජනයා අතර විශ්වාසයක් ඇති කරගැනීමට නොහැකි වීම වෙනම කාරණයකි. එහෙත්, සාමාන්‍ය ජන ජීවිතය ඇති වීම වැළැක්වීමේ අන්තවාදී ව්‍යාපෘතිවලට මේ අන්දමින් හසුවීම කණගාටුදායක තත්වයකි.

ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය අන්තවාදී දේශපාලන ව්‍යාපෘති සඳහා තෝතැන්නකි. එසේ ම, මෙම අන්තවාදී කොටස් විවිධ දේශපාලන බලවේග විසින් පාවිච්චි කරනවා ද විය හැකි ය. අන්තවාදීන්ගේ අරමුණ නැවත කළු ජූලියක් ඇති කිරීම වන්නට ද පුළුවන. ඔවුහු කිහිප වරක් එයට උත්සාහ කළ හ. රටම අවදියෙන් සිටිය යුත්තේ ඒ නිසා ය.