අජිත් පැරකුම් ජයසිංහ

මේ සමග තිබෙන වීඩියෝවේ ඉන්නේ පයාගල විතානලාගේ සුගතපාල. ඔහු වැඩ කරන්නෙ ගාලු පාරේ මග්ගොන, නිව් මෝනිස් බේකරියේ රථ ගාලේ. ඔහු එහි ආරක්ෂක නිලධාරියා විතරක් නෙමෙයි, ආයතනයේ ප්‍රවර්ධකයෙක්. ඇතැම් විට, 2019 ජාත්‍යන්තර කම්කරු දිනය වන අදත් ඔහු එහි වැඩ කරනවා විය හැකි ය.

මීට කලකට ඉහතදී මට ඔහු හමු වුණේ ඊයේ ගාලු පාරේ යද්දී යි. ඔහු පිළිබඳ මීට කලිනුත් මාධ්‍යවලින් වාර්තා වුණා. මෝනිස්ගේ විස්කෝතු ගැන මාර්ටින් වික්‍රමසිංහ මහතා සිය ජීවිත කතාවේ පවා ලියා තිබේ. පරණ තාලේ බේකරියක් වන එහි සේවය කරන මේ මිනිසා තමන් හඳුන්වන්නේ ප්‍රීතිමත් මිනිසකු ලෙස යි. ඔහු විශාල වැටුපක් ලබන්නකු නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ලොකු වැටුප් ලැබිය හැකි රැකියාවකට යන්නට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය කුසලතා ඔහුට නැතුවා වන්නට ද පුළුවන. එහෙත්, ඔහු තම කාර්යය උපරිමයෙන් ඉටු කරන්නෙකි. ඒ වෙනුවෙන් යම් නිර්මානශීලිත්වයක් ද එකතු කළ අයෙකි. ඔහුට රජයේ රැකියාවල මෙන් සුරක්ෂිතබවක් හා වැඩ කරන්නට බැරි කාලයේ ජීවත් වන්නට විශ්‍රාම වැටුපක් නොලැබෙන බව ද පැහැදිලි ය.

එහෙත්, මෙරට ශ්‍රම වෙළඳපොළේ ස්වාභාවික තත්වයන් හා රාජ්‍ය සේවය අතර ඇත්තේ අහස පොළව වැනි පරතරයකි. අවාසනාව වන්නේ රජයේ සේවක මධ්‍යම පන්තිකයන්ට සුරක්ෂිත ශ්‍රම තත්වයක් නිර්මානය කර දීම සඳහා ඵලදායී වැඩ කරන මැද පෙරදිග ශ්‍රමිකයන්, ඇගලුම් කම්කරුවන්, වැවිලි කම්කරුවන්, කෘෂි කම්කරුවන්, අවිධිමත් අංශයේ කම්කරුවන් ආදීන්ට ශ්‍රම වෙළඳපොළේදී මුහුණ දෙන්නට සිදු වන කටුකත්වයන්ට සහනයක් රජයෙන් හෝ නොලැබීම යි. මෙම තත්වයට විසඳුම සියල්ලන්ට රජයේ රැකියා ලබා දී එකී මධ්‍යම පන්තියට බඳවාගැනීම නොවේ. එහෙම කළ හැකි නම් එය හරියට සියල්ලන් සංඝ සාසනයට බඳවා ගන්නවා වැනි ය. භික්ෂූන්ට දන් දෙන්නට කවුරුවත් නැත.

සුගතපාල සිය ආදායම් සීමාව තුළ සිය අපේක්ෂාවන් සැලසුම් කරගෙන ලද දෙයින් සතුටු වී ජීවත් වෙනවා නම් එහි ඇති වරද කුමක් ද? මෙවැනි කම්කරුවන්ට ලබා දිය හැකි විමුක්තිය කුමක් ද?ඔවුන්ට රැකියා සුලබ විය යුතු ය. අවම වැටුප් හා ශ්‍රම කොන්දේසි සඳහා රජය විසින් ප්‍රමිති නිර්මානය කළ යුතු ය. අසාධාරණ ලෙස රැකියා අහිමි කිරීම් වැළැක්වීමට නියාමනයන් තිබිය යුතු ය. රැකියා කරන අතරතුර, තමන් කැමති නම්, තම වෘත්තීය හා අධ්‍යාපන කුසලතාවන් සංවර්ධනය කර ගැනීම සඳහා අවස්ථා විවෘතව තිබිය යුතු ය. තමන් කැමති නම් රැකියාවෙන් උසස් වන්නට හෝ රැකියාව වෙනස් කරන්නට ද, නැතිනම්, තමන් කරන රැකියාවේ ම ප්‍රවීණත්වය ලබා ගන්නට ද ඔවුන්ට නිදහස තිබිය යුතු ය. රැකියා කරන අතරතුරදී සිදු විය හැකි අනතුරු සඳහා රක්ෂණාවරණයක් තිබිය යුතු ය. වැඩ කරන්නට බැරි කාලයේ ජීවත් වන්නට සමාජාරක්ෂණ ක්‍රම තිබිය යුතු ය.

සුගතපාලලා පතන විමුක්තිය එයයි.

Media and Social Entrepreneur

Leave comment

Your email address will not be published. Required fields are marked with *.