Cartoon on Shakthika Sathkumara by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ (2019-04-07 ලංකා පුවත්පතේ ද පළ වේ)

කෙටිකතාවකට එරෙහිව පැනනැගුණු ආගමික විරෝධයක් හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලද ලේඛකයකු වන ශක්තික සත්කුමාරගේ මතභේදයට තුඩු දුන් ‘අර්ධ’ කෙටිකතාව කියැවූයෙමි. එය හොඳ කෙටිකතාවකි. එතරම් විවේකී මනසකින් තොරව හදිසියේ ලියූ ගතියක් මට දැනුණත්, එය ශක්තිකගේ ශෛලිය වන්නට පුළුවන. එය සංවාදයට බඳුන් කළ හැකි අන්තර්ගතයකින් යුත් කෙටිකතාවකි.

එහි ඇත්තේ ජවනිකා කීපයක් වේගයෙන් හැසිරවීමකි. ප්‍ර‍ධාන චරිත දෙකක් ඇසුරෙන් එහි ප්‍ර‍කාශනය ගොඩනැගේ. ඒ කසාන් හා ලොයිඩ් ය. කසාන් සිවුරු හළ භික්ෂුවකි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. ලොයිඩ් රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිකයෙකි.

කසාන් සිංහල බෞද්ධ අන්තවාදී පරිසරයකින් වේගයෙන් මිදෙමින් සිටියි. ඔහු බුදුන්ගේ රස්තියාදුව නම් මෑතදී දැඩි මතභේදයකට තුඩු දුන් පොතක් ද කියවා අනුප්‍රාණය ලබා තිබේ.

Sinhala Tamil English Translations and Content Writing

සිවුරු හරින ඔහුට රැකවරණය සලසන්නේ ඔහුගෙන් මින් පෙර හිංසාවට පවා ලක් වූ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයෙකි. මතභේදයට වැඩිපුර ම තුඩු දෙන්නට ඇත්තේ ඔහු විසින් රචනා කර තිබෙන කතාවක කොටසකි. බුද්ධ චරිතය හා සම්බන්ධ සංකේතීය වැදගත්කමක් තිබෙන චරිත කීපයක් අතර සම්බන්ධය ලිංගික හා ප්‍ර‍ජනන දෘෂ්ටි කෝණයකින් පැතලි ලෙස විමසීමේ උත්සාහයක් එහි තිබේ. එහෙත්, එය කතාව තුළ කතාවකි. ශක්තිකගේ කතාව නොවේ. ශක්තික විවරණය කරන්නට උත්සාහ කරන්නේ එවැනි කතා බිහි වන සමාජ ගැටුම් හා අන්තර් සම්බන්ධතා ය.

කසාන් එම කතාවට එරෙහි වෙයි. එහෙත්, ලොයිඩ් තර්ක කරන්නේ එය මහායාන සංකල්පයකට අනුගත බවයි. ඔහු රැඩිකල් ලිබරල්වාදියෙකි. කසාන් මධ්‍යස්ථ ය.

එදා රෑ කසාන් සිහිනයක් දකියි. එහිදී ඔහු දකින්නේ ඔහුගේ අපවත් වූ ගුරු හිමියන්ගේ ලිංගය කපා දමා රුධිරය වැගිරෙමින් ඇති ආකාරයයි. “කවුද මේ අපරාදෙ කරේ?” යි කසාන් අසයි.

ඉන් අනතුරුව ලොයිඩ් හා ඔහු අතර ඇතිවෙන්නට යන සමලිංගික සම්බන්ධයක් ඔස්සේ ගුරු හිමියන් හා ඔහු අතර තිබූ සමලිංගික සම්බන්ධය ද සිහිපත් කෙරේ.

උපැවිදි වූ භික්ෂුව විසින් භික්ෂු ජීවිතය පිළිබඳ හෙළිදරව් කිරීමක් කරන්නේ යයි ද කෙනෙකුට සිතිය හැකි ය. එය ද ආගමික සංවිධාන කුපිත කිරීමට හේතු වී තිබේ.

2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත යටතේ ශක්තික සත්කුමාරට එරෙහිව නඩු පවරා ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. 1980 ජූනි 11 වෙනි දින සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ශ‍්‍රි ලංකාව විසින් පිළිගන්නා ලදී. “සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සහතික කිරීම සඳහා ව්‍යවස්ථාමය සහ ජාත්‍යන්තර බැඳීම් පිළිගැනීම හැරණු විට, ශ‍්‍රි ලංකාව නිශ්චිත කේන්ද්‍රීය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සනාථ කිරිම සඳහා නීති සම්පාදනය කර ඇත. 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත බලාත්මක අතර, ඉන් ආණ්ඩුක‍්‍ර‍ම ව්‍යවස්ථාව මගින් දැනට ප‍්‍ර‍කාශිතව සහ ගම්‍යාර්ථව පිළි නොගත් ඉහත නම් සදහන් කළ පනතෙහි විශේෂ විධිවිධාන නීතිගත කෙරේ,” යි ශ්‍රී ලංකා මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍ර‍වර්ධනය සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2017-2021හි දැක්වේ.

මෙහිදී යොදාගනු ලබන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත අනුව, ‘වෙනස් ලෙස සැලකීම, එදිරිවාදීත්වය ‍හෝ ප්‍රචණ්ඩත්වයට පොළඹවන්නා වූ ජාතික, වාර්ගික හෝ ආගමික ද්වේශයට පක්ෂව කටයුතු කිරීම’ යන චෝදනාවයි. ආගමික ප්‍ර‍චණ්ඩත්වයට එරෙහිව මෙන් ම ද්වේෂ සහගත කතාවලට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කිරීමට මෙම පනත යොදාගත හැකි ය. ඒ යටතේ කිසියම් පිරිසක් පැමිණිලි කිරීම හා නීතිය ක්‍රියාත්මක කරවා ගැනීම අභියෝගයට ලක් කළ නොහැකි අයිතිවාසිකමකි. කළ යුතුව තිබෙන්නේ අධිකරණයේදී ප්‍ර‍කාශනයේ නිදහස වෙනුවෙන් අරගලය ඉදිරියට ගෙන යාමයි.

මෙම ක්‍රියාමාර්ගය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි 19වන වගන්තියෙන් තහවුරු කර තිබෙන හිිමිකම්ව සමග ගැටෙන බව පෙනේ. ඒ අනුව,

  1. බාධාවකින් තොරව ස්වකීය මතය දැරීමට සෑම කෙනෙකුට ම අයිතිවාසිකම් ඇත්තේ ය.
  2. සෑම කෙනෙකුට ම අදහස් ප්‍ර‍කාශ කිරීමේ නිදහස ඇත්තේ ය.

එහෙත්, ඕනෑම නිදහසක් භුක්ති විඳිය හැක්කේ තවත් කෙනෙකුගේ නිදහසකට බාධා නොවන පරිදි ය. මෙම ප්‍ර‍කාශනය ආගමික ද්වේෂයකට තුඩු දේ ද යන්න සංවාදයට භාජනය කිරීම පහසු නැත. එය හුදෙක් නීතියට පමණක් සීමා වූ කාරණයක් නොවේ. එය සාහිත්‍යය සමග ද සම්බන්ධ සංවාදයකි.

මීට වඩා බරපතල වෛරී ප්‍ර‍කාශ හා ආගමික ප්‍ර‍චණ්ඩත්වයන් සම්බන්ධයෙන් මෙකී පනත යටතේ කටයුතු කරන්නට පොලිසියට මගහැරුණු අවස්ථා එමට ය. එහෙත්, වෙනත් කාරණා සම්බන්ධයෙන් මෙම පනත යටතේ කටයුතු කිරීමට පොලිසිය පොළඹවා ගන්නට බැරි වීම මෙම නඩුවෙහිදී අදාළ නැත. එසේ බැරි වී නම් එ් සඳහා වගකිවයයුුතු පිරිස් අතර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ උද්දේශනය කිරීම සඳහා අරමුදල් ලබාගන්නා ලොයිඩ්ලාගේ සංවිධාන ඉදිරියෙන් ම සිටිති. කෙසේ වෙතත්, පොලිසිය එසේ ක්‍රියාත්මක නොවන්නේ පක්ෂපාතිත්වයන් නිසා ය කියා ද තර්ක කළ හැකි ය.

ආගමික ප්‍ර‍ජාවන්ගේ විශ්වාසයන් භක්තිය පදනම් වන අතර එය තර්කයෙන් විමසීම තේරුමක් නැති ක්‍රියාවක් වන අතර, එයින් ඇති වන්නේ කුපිත කිරීම් විය හැකි ය. කුපිත වීම සාධාරණ නැති වුණත්, කුපිත කිරීම ද සාධාරණ නැත.

එහෙත්, කලාකරුවන් සිය නිර්මාණ කාර්යයන් සඳහා එවැනි ක්‍රියා යොදාගැනීම කලාත්මක ප්‍ර‍කාශනයේ නිදහස හා නීතිය අතර ඉතා සියුම් ගැටුමක් නිර්මාණය කරන අවස්ථාවකි.

මෙවැනි ගැටලු නීතියෙන් බේරාගැනීමට යාමට වඩා මේවා විසඳාගැනීමට උත්සාහ කළ යුත්තේ සංවාදයෙනි: සාකච්ඡාවෙනි. සමාජයක් ලෙස අපට එසේ කරන්නට බැරි නම්, එහි බරපතල ගැටලුවක් ඇති බව පැහැදිලි ය.

මෙය ඍජුව ම රාජ්‍ය වාරණයක් ද නොවේ. ජාතිවාදීන් හා ආගම්වාදීන් විසින් රාජ්‍ය යාන්ත්‍ර‍ණය හා පවත්නා නීතිය උපයෝගී කරගෙන කරන වාරණය කිරීමකි. හිට්ලර් ද නූතන සිතුවම් වැනි කලාවන් භ්‍ර‍ෂ්ට කලාවන් හෙවත් ‘එන්ටාටෙටෙ කුන්ස්ට්’ ලෙස සලකා බැහැර කරන ලදී.

මිනිසුන්ගේ මනස සහ ප්‍ර‍කාශනයන් පාලනය කිරීම සඳහා පදනම් කරගනු ලබන්නේ බිය බව ද පාලනයේ මෙවලම් විසින් වැඩිදුරටත් බිය පතුරුවන බව ද, එයින් ස්වයං වාරණය සහ සංස්කෘතික, ආගමික, ලිංගික හා සමාජ අනෙකා සුළුතරයක් වන විට එකී අනෙකා එක් ආකෘතියකින් නිරූපණය කිරීමට යොමු වන බව ද යුනෙස්කෝ සංවිධානය පෙන්වා දෙයි. ‘අපේ සංස්කෘතිය හා ජාතිය ආරක්ෂා කිරීම’ ‘සාරධර්ම’ රැකගැනීම වැනි පණිවුඩ පසුපස ප්‍ර‍කාශනයේ විවිධත්වයට, මතවාදවලට සහ නිර්මාණශීලිත්වයට ඇති බිය තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පවසයි.

“නිදහස් සමාජයක් පදනම් වන්නේ තමන්ට අවශ්‍ය හෝ අනවශ්‍ය කලාව කුමක් ද යන්න තීරණය කිරීමට පුද්ගලයකුට තිබෙන අයිතිය මත ය. පුද්ගලයකු වාරණය කිරීමට ඔබ රජයට ඉඩ දෙන විට, එයට ඔබ කැමති යමක් වාරණය කිරීමට ද බලය ලැබේ. අප සඳහා වන ප්‍ර‍කාශනයේ නිදහසට වෙනත් අයගේ ප්‍ර‍කාශනයේ නිදහස ද ඇතුළත් වන බව අපගේ ස්ථාවරයයි,” යි ඇමරිකානු සිවිල් නිදහස් සංගමය කලා වාරණය ගැන පවසයි.

3 thoughts on “සිවුර, පෑන හා ශක්තිකගේ අර්ධ කෙටිකතාව

  1. චන්න හා යසෝධරා අතර ලිංගික සම්බන්ධයක් හා රාහුලගේ පීතෘත්වය සැක කෙරෙන මහායාන කතාවක් ගැන ඔබ අසා තිබේද? සිල්ලර කාරණා නිසා ගිහිගෙය හැර යන නිෂ්ක්‍රිය මිනිසෙකුගේ නිශ්ක්‍රිය දර්ශනයක් මට්ටමට බුදුන්ගේ දර්ශනය වැටෙන බවක් මේ නිසා ගම්‍ය නොවේද? මගේ හැඟීම නම් කතාවට බලෙන් එබ්බවූ එම කොටස නිසා කෙටිකතාව තුළින් සාකච්ඡාවට භාජනය කරන්නට තැත් කරන සැබෑ සමාජ ප්‍රශ්නය – එනම් පන්සල්වල සාමණේර හිමිවරුන් ලිංගික අතවරයට ලක්වීම හා ඒ වැරදි කා වැදීම නිසා සමලිංගික වීම පිළිබඳ සැබෑ ප්‍රශ්නය ගැන කතිකා වතක් ඇති කරගැනීමේ අවස්ථාව අහිමි ‍වී ඇත – මූලධර්මවාදී භික්ෂූන් කුපිත නොකොට මේ කෙටිකතාව ලිවීමට හැකියාව තිබිණි –

    • ඔබේ අදහස සමග 90%ක් පමණ එකඟ වෙමි. කෙසේවෙතත්, ශක්තිට මතුවන විරෝධය මූලධර්මවාදී භික්ෂූන්ගේ කුපිත වීමක් ලෙස හුවා දැක්වීම වැරදිය. විරෝධය පසු පස සාමාන්‍ය බෞද්ධයින්ගේ සිත් වේදනාව ද ඇත.

  2. සලමන් රුෂ්ඩිගේ Satanic Verses ප්‍රකාශණයේ නිදහස ළෙස අගයකල ඇතැමුන් ශක්තිකගේ අදහස් ප්‍රකාශ කිරීම විවේචනය කරන්නට යෑම කෙතරම් සදාචාරාත්මකද?

Leave a Reply to Suriya Anurapura Cancel reply

Your email address will not be published. Required fields are marked with *.