Cartoon on ICCPR Act by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පිළිබඳ පනත සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති වී තිබේ. එම පනත යටතේ මෑතදී ගන්නා ලද නීතිමය ක්‍රියාමාර්ග කීපයක් මෙම තත්වයට හේතු වී තිබේ. ෆේස්බුක්හි පළ කරන ලද කෙටිකතාවක් සම්බන්ධයෙන් ලේඛක ශක්තික සත්කුමාර රිමාන්ඩ් කිරීම, හසලක කොළොන්ගොඩ පදිංචි 47හැවිරිදි මුස්ලිම් කාන්තාවක වූ එම්. ආර්. මසහිමා ඇය ඇඳ සිටි ගවුමේ බුදු දහමට අපහාස වන පරිදි ධර්ම චක්‍ර‍යේ රුව ඇතුළත් ගවුමක් ඇඳ සිටියේ ය යන චෝදනාව මත අත්අඩංගුවට ගැනීම, මාධ්‍යවේදී කුසල් පෙරේරා ඩේලි මිරර් පුවත්පතට ලියන ලද “From Islamic terrorism to marauding Sinhala Buddhist violence” හෙවත් “ඉස්ලාම් ත්‍රස්තවාදයේ සිට කොල්ලකාරී බෞද්ධ ප්‍රචණ්ඩත්වය දක්වා” යන ලිපිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ඇරඹීම, දඩබ්බරයා නම් ග්‍රන්ථයේ කර්තෘ දිල්ෂාන් පතිරත්න මාධ්‍යකරුවාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ඇරඹීම ඒ අතර වේ.

1966දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරගන්නා ලද, 1976 මාර්තු මස සිට බලාත්මක වූ  සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යනු විශ්ව මානව හිමිකම් ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇති සන්ධිස්ථානයක් වන්නේ යම් සේ ද, එම පනත ශ්‍රී ලංකාවේදී පුද්ගලයන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට භාවිතා වීම විශ්ව පරිණාමයෙන් ම කළු පැල්ලමකි.

වගන්ති 53කින් සමන්විත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ගණයට හෘදය සාක්‍ෂිය පිළිබඳ අයිතිය, වහල්භාවයෙන්, දාසභාවයෙන් මිදීමට ඇති අයිතිය, කෘර, අමානුෂික, අවමන් සහගත සැලකිලිවලින් මිදී සිටීමේ අයිතිය, සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය, රහස්‍යභාවයට හා ආරක්‍ෂාවට ඇති අයිතිය, තොරතුරු ලබා ගැනීමට ඇති අයිතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව කටයුතු කිරීමේ අයිතිය, මාධ්‍ය භාවිතයට ඇති අයිතිය, කැමැති මතයක් දැරීමට ඇති අයිතිය, ඡන්දදායකයකු හෝ අපේක්‍ෂකයෙකු ලෙස කටයුතු කිරීමට ඇති අයිතිය අන්තර්ගත වන බව දැක්වෙන්නේ රජය විසින් පාසල් සිසුන්ට ලබා දෙන 11 ශ්‍රේණිය පෙළපොතේ ය.

අප ඉහත සඳහන් කරන ලද, මාධ්‍යකරුවන් හා ලේඛකයන් සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙන් මාධ්‍ය භාවිතයට ඇති අයිතිය, කැමැති මතයක් දැරීමට ඇති අයිතිය උල්ලංඝනය වන බව පැහැදිලිව ම පෙනේ. නිදසුනක් ලෙස, ශක්තික සත්කුමාර විසින් ලියන ලද අර්ධ කෙටිකතාවේ ගැටලුව මතු වන්නේ බෞද්ධ සාහිත්‍යයේ ප්‍රධාන චරිත දෙකක ගිහි කල සම්බන්ධයෙන් මතු කරනු ලබන ප්‍රශ්න තුනකිනි. ඒවා නම්, “………. ගිහිගෙය හැරගියේ …….. ඔහුගේ දරුවෙක් නොවන බව දැනගෙන ද? …………ගෙන් මා තෘප්තිමත් නොවූ බව ඔහු දැන සිටියේ ද? ගැහැනියක් තෘප්තිමත් කිරීමේ හැකියාවක් ඔහුට නොතිබූ බව සැබෑවක් නොවේ ද?”

මෙම ප්‍රශ්න කතාව තුළ හමු වන චරිතයක් විසින් ලියන ලද කතා පිටපතක යශෝධරාවගේ මුවට නංවා තිබෙන ප්‍රශ්න තුනකි. මෙම ප්‍රශ්න වනාහි විවිධ දාර්ශනිකයන්, ලේඛකයන්, විශ්ලේෂකයන් හා පොදු ජනතාව විසින් මීට පෙර ද විවිධාකාරයෙන් මතු කර තිබෙන ප්‍රශ්නයි. ඓතිහාසික චරිත පිළිබඳව මෙවැනි වෙනස් කථන මතු කරන කලා කෘති ලෝකයේ අතිශය සුලබ ය. කලාවේ නිදහස යනු පරිකල්පනයේ නිදහසයි. සිතීමේ නිදහසයි. එය මූලික මානව අයිතිවාසිකමකි. එම නිදහස අවුරන ලද සමාජයක නව නිර්මාණ බිහිවන්නේ නැත. බුදුන් යනු එම නිදහසට උපරිම වශයෙන් ගරු කළ ශාස්තෘවරයෙකි. එහෙත්, ලංකාවේ භික්ෂූන් එම නිදහස ඇවිරීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ බුදුන්ගේ නාමය ඉදිරියට දමමින් වීම උත්ප්‍රාසජනක ය.

මෙම පනත යටතේ ගැනෙන වරදකට වරදකරු බව මහාධිකරණ නඩු විභාගයකින් පසු ඔප්පු වුවහොත් වරදකරු අවුරුදු 10කට නොවැඩි දඬුවමකට ලක් කළ හැකි ය.

මෙම පනතෙහි සත් චේතනාවෙන් ඇතුළත් කරන ලද වගන්තියක් අනුව, මෙම පනත යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් නඩු විභාග අවසන් වන තෙක් ඇප ලබාදිය නොහැකි වීමයි. ඇප ලබාදීම කළ හැක්කේ සුවිශේෂ තත්වයන් යටතේ මහාධිකරණය විසින් පමණි. ඇප ලබා ගත නොහැකි ලෙස සිරගත කර පළිගැනීම ලංකාවේ පොලිසිය විසින් ඉතා සුලබව භාවිතා කරනු ලබන උපායමාර්ගයකි. පොදු දේපල පනත යටතේ ද මේ හා සමාන නීතිමය විධිවිධාන තිබේ. එහෙත්, බලවත් පුද්ගලයන්ට එම නීති වලංගු නැත. පොදු දේපල පනත යටතේ වන වරදක් සම්බන්ධයෙන් මහාධිකරණ නඩු විභාගයට පවා ගෝඨාභය රාජපක්ෂ යන්නේ අත්අඩංගුවට ගැනීමකින් තොරව ය.

ලංකාව වර්තමානයේදී පසු කරමින් සිටින සිංහල බෞද්ධ ජාතිකවාදී අන්තවාදයේ නැගීම හා එයට ම සම්බන්ධ ඉස්ලාම් ආගමික අන්තවාදයේ නැගීම අභියස හදිසියේ ලියා දමන ලද පෙනෙන මෙවැනි කෙටිකතාවකින් අර්බුදයක් නිර්මාණය කරගැනීම ගැටලුසහගත ය. කලාත්මක නිදහස වුව භාවිතා කළ යුතුව ඇත්තේ සමාජ සංදර්භයන් පිළිබඳ ගැඹුරු අවබෝධයකිනි. එසේ නොවුවහොත්, විනාශකාරී තත්වයන් නිර්මාණය විය හැකි ය.

ශ්‍රී ලංකාවේ දැන් මතු වී තිබෙන ගැටලුව වන්නේ අධිපතිවාදී, ස්වෝත්තමවාදී බලවේගයක් ලෙස සැලකිය හැකි අන්තවාදී භික්ෂූන් සමග එක්ව පොලිසිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත අවභාවිතා කිරීමයි. මෙම අවභාවිතාවේ ස්වරූපය තේරුම් ගත හැකි උදාහරණයක් පසුගිය සතියේ වාර්තා විය.

කුරුණෑගල රෝහලේ දොස්තර ෂාෆි සම්බන්ධයෙන් සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඥානරතන හිමි විසින් මෙසේ පවසන ලදී: “ඔය වගේ ජාති ද්‍රෝහීන්ට නිදහසේ ඉන්න දෙන්න හොඳ නැහැ. උපාසකම්මලා වගයක් කිව්වා ගල් ගහලා මරන්න ඕනේ කියලා. මම එහෙම කියන්නේ නෑ. නමුත් කළ යුත්තේ ඒක තමයි.”

මුස්ලිම් වෙළඳාම් වර්ජනය කළ යුතු බව කියමින් අස්ගිරි නාහිමි පැවසුවේ “මමත් කියනවා මුස්ලිම් කඩවලට යන්න එපා. ඒ කඩවලින් කන්න බොන්න එපා,” කියා ය.

මෙම ප්‍රකාශ ඉතා පැහැදිලිව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ගැනෙන වැරදි යටතට වැටේ. මෙම පනත අනුව, කිසිදු පුද්ගලයකු යුද්ධය හෝ ජාතික, වාර්ගික, ආගමික වෛරය හෝ වෙනස්කම් කිරීමකට, එදිරිවාදිත්වයට හෝ ප්‍රචණ්ඩත්වයට පෙළඹවීමක් ඇති වන පරිදි ප්‍රචාරය නොකළ යුතු ය. අස්ගිරි මහනායක හිමි වැනි කෝටි සංඛ්‍යාත බෞද්ධ ප්‍රජාවක නායකයකු මෙවැනි ප්‍රකාශයක් කිරීම ශක්තික සත්කුමාර නම් ලේඛකයකු කෙටිකතාවක් ලිවීම වැනි දෙයක් නොවේ.

එහෙත්, පොලිසිය ඒ සම්බන්ධයෙන් නිහඬ ය. එයින් පෙන්නුම් කරන්නේ මෙම නීතිය භාවිතාවට ගැනීම හා සම්බන්ධ බරපතල විෂමතා ඇති බවයි. එය භාවිතා කර තිබෙන්නේ ම අධිපතිවාදී, ස්වෝත්තමවාදී මෙන් ම ෆැසිස්ට් දේශපාලන උවමනාවක් වෙනුවෙන් බව පෙනේ. මෙම තත්වය පරාජය කළ යුතු ය. රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද බොහෝ විට කතා කරන්නේ මානව හිමිකම් විරෝධියකු ලෙස ය. ටජිකිස්ථානයේ, දුෂාන්බේ Navruz සම්මන්ත‍්‍රණ ශාලවේ දී මුළු දුන් ආසියාවේ අන්තර් කි‍්‍රයාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුළුව අමතමින් ඔහු කළ කතාවේ පවා මානව හිමිකම් විරෝධය තැවරී තිබිණි. ආණ්ඩුවේ අනෙක් පාර්ශ්වය වන එක්සත් ජාතික පක්ෂය පවා මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරනු දැකිය නොහැකි ය.

මෙම සංදර්භය තුළ ශ්‍රී ලංකාව තුළ මෙම ගැටලුව විසඳාගත නොහැකි ය. එය එක්සත් ජාතීන්ගේ මට්ටමේදී ම නැවත සාකච්ඡාවට භාජනය විය යුතු ය.

1 thought on “සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කරන ICCPR ශ්‍රී ලංකා පිටපත

  1. මෙම ලිපිය ලියූ තැනැත්තා මෙසේ කියයි : “මෙම ප්‍රශ්න වනාහි විවිධ දාර්ශනිකයන්, ලේඛකයන්, විශ්ලේෂකයන් හා පොදු ජනතාව විසින් මීට පෙර ද විවිධාකාරයෙන් මතු කර තිබෙන ප්‍රශ්නයි”. ඒවා නම්, “………. ගිහිගෙය හැරගියේ …….. ඔහුගේ දරුවෙක් නොවන බව දැනගෙන ද? …………ගෙන් මා තෘප්තිමත් නොවූ බව ඔහු දැන සිටියේ ද? ගැහැනියක් තෘප්තිමත් කිරීමේ හැකියාවක් ඔහුට නොතිබූ බව සැබෑවක් නොවේ ද?” මෙම ප්‍රශ්ණ මතුකර ඇත්තේ කුමන දාර්ශණිකයින්, ලේඛකයන්, විශ්ලේෂකයන් හා පොදු ජනතාව විසින් ද? මෙකී මූලාශ්‍ර එකක්වත් සඳහන් කොට නැහ. පොදු ජනතාව සිදුහත් විවේචනය කලේ කෝපිකඩේදීද ? මේ මෝඩ වාමන්ශිකයින්ට හියෙන ප්‍රශ්ණය බුදුන්ට අපහාස කිරීමට අති අයිතිය නැතිවෙයි කියා තියෙන බියය. මොවුන්ට ආගම අබින්ය. මොවුන්ගේ එකම ආගම කාපල්ලා බීපල්ලා ජොලිකරපල්ලා යන්නය. ඔය ශක්තික නමැත්තා මුලදී නව සමසමාජයේ කෙරුමෙකි. දැන් කම්කරු මාවත පක්ශයට එකතු වී සිටී. ඔවුන් දෙමල හා මුස්ලිම් අන්තවාදීන්ට උඩගෙඩි දෙන එන්ජීඕ කාරයින්ය. දනටම එන්ජීඕ 02 ක් ශක්තික වෙනුවෙන් පෙනීසිටී. ඒකියන්නේ ඩොලර්ය. මොවුන්ට ඕනෑ ලන්කාව අස්තාවර කිරීමය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.