Old Double Deck Bus

අජිත් පැරකුම් ජයසිංහ (2013 ජුනි මස ලියූ ලිපියකි)

බස් කියන්නේ ඇත්තෙන් ම මගේ ජීවිතේ ලොකු කො‍ටසක්. දැන් බස්වල යනවා අඩු මෝටර් සයිකලේ නිසායි. ප්‍රයිවෙට් බස්වල යන සිංදු නිසාත් බස් ගමන කම්මැලියි. බස් ගමන එපා ම වුණේ දුෂ්කර සේවා කාලයේ පදවිය හා මතුගම අතර පැය දොළහක් පහළොවක් තිස්සේ ගිය ගමන් නිසායි. නිකම් නොවෙයි, චෙක් පොයින්ට් හය හතක බහිමින්. ඒත්, පුංචි කාලෙ වැඩියෙන් ම ආසා කළ වස්තුවක් වන බස් ගැන මේ සටහන ලියන්න හිතුණේ බස් පිස්සෙකු විසින් කරනු ලබන බස් බ්ලොග් එකක් නිසායි. 

Sinhala Tamil English Translations and Content Writing

මට අවුරුදු හතරක් විතර කාලෙ ෆොටෝ එකක් ගන්න ආච්චි එක්ක බස් එකක මතුගම ටවුමට ගිය හැටි තමයි, මට බස් ගැන තිබෙන මුල් ම මතකය. ඒකත් හීනයක් වගේ. ඒ කාලේ අතරමග හිරිකැටිය පාලම කැඩිලා. මෙහා ගොඩින් සෙනග බස්සලා, පාලම උඩින් හෙමින් ගිහින් එහා ගොඩින් ආපහු සෙනග නංවාගෙන තමයි, බස් එක ගියේ. 

ඊට පස්සෙ එකේ පංතියේ ඉඳන් බස් ‍එකේ ඉස්කෝලෙ ගියා. තුනේ පංතියේ ඉඳලා ගියේ තනියම. යන්න කැමති ම රියදුරු අසුන පිටිපස්සෙ. ඩුයිවර් උන්නැහේ බස් එළවනවා බලන් ඉඳලා ම නිකම් ම බස් එළවිල්ල පුරුදු වුණා. ඒ කාලෙ බස්වල තිබුණු කරකවන රෙදි බෝඩ් අපට මාර මැජික්. ඩ්‍රයිවර් උන්නැහේ බස් බෝඩ් කරකවනකොට අපි බිම ඉඳන් ඒවා කියවනවා. කළු රෙද්ද එති, එතී උඩට යනකොට, කොළඹ, කලුතර ආදී නගර, ගම් නම් වගේ ම ‘පුද්ගලික ගමනක්’, ‘පරීක්ෂණ ගමනක්’ වගේ ඒවාත් පහු‍ වෙනවා. කොන්දොස්තර උන්නැහේ බිම ඉඳන් කියන්න ඕනැ දැන් කරකැවිල්ල නවත්වන්න කියලා. අදාළ ගමනාන්ත නාමය පහු කරමින් එහාට මෙහාට කරකවන එක ටිකක් විහිළුයි. බස බෝඩ් එකක් කරකවන්න දෙන්නෙකු අවශ්‍ය නිසා වෙන්න ඇති මේ බෝඩ් අයින් කළේ. ඒ දවස්වල අපි හීනි කඩදාසි පටියකුයි, ඉරටු කෑලි දෙකකුයි, පාවිච්චි කරලා ගිනි ටේටියකින් මේ වගේ කරකවන බස් බොඩ් හදලා අපේ කාඩ්බෝඩ් බස්වල සවි කර ගන්නවා.

හතරෙ, පහේ වගේ පංතියක ඉන්න කාලෙ එක දවසක් නෑබඩ කපිලයි, මායි ඉස්කෝලෙ ඇරිලා එන ගමන් ඩිපෝ එක ඉස්සරහා අගලවත්ත පාරෙ (ඒ කාලෙ මතුගම ඩිපෝ එක තිබුණෙ දැන් පාතාලෙ තිබෙන තැන) පේළියට නවත්වලා තිබුණු බස් ඔක්කොගේ ම පස්ස දොරෙන් නැගලා, ඉස්සරහින් බැහැගෙන ආවා. කපිල ඇහුවා බෝඩ් එක කරකවමු ද කියලා. එයා මුලින් නැගලා කරකැව්වා. මම බිම ඉඳන් කියෙව්වා. ඊට පස්සෙ මම ඩ්‍රයිවර්ගේ සීට් එක උඩ නැගගෙන මාර සතුටකින් බෝඩ් එක කරකවද්දී ඩ්‍රයිවර් උන්නැහේ ඇවිත් මාව අල්ලගෙන ඩිපෝ එකට අරන් ගියා. 

ඒ කාලෙ බස්වල ‘ඔබත් තෙල් පෙත්සම අත්සන් කළා ද?’, ‘ලංකා‍ව මෙට්‍රික් ක්‍රමයට හැරෙයි’ වැනි පාඨ තිබුණු පෝස්ටර් අලවලා තිබුණා. සමහරු අර පස්සෙ කියපු පෝස්ටරේ හැයන්න ඉරුවා. හැබැයි, අපි නම් එහෙම වැඩ කළේ නැහැ. ඒ වුණාට ඩ්‍රයිවර් උන්නැහේ චෝදනා කළේ මම ඒ පෝස්ටර් ඉරුවා කියලායි.

කවුරුද ලොකු මහත්තයකු ගාවට මාව දැම්මා. ඔහු මාව බය කරලා මාව පොලිසියට අල්ලා දෙනවා කියලා ටෙලිෆෝන් එකෙන් කතා කරලා පොලිසියට කිව්වා මාව අරන් යන්න එන්න කියලා. සමහරවිට බොරු කෝල් එකක් වෙන්න ඇති ගන්න ඇත්තේ. ඒත්, මට දැන් චූ යන්න තරමට බයයි. “පොලිසිය එනකල් ඔහොම ඉන්නවා” යි කියලා ඒ අය තමන්ගේ වැඩවල යෙදුණා. මමත් ඔහේ මුල්ලක හිටගෙන හිටියා. ටික වෙලාවකින් මට පෙනුණා, කවුරුවත් මා ගැන අවධානයකින් නැති බව. මම පැන්නා. එතකොට පාසල් බසය ගිහින්. ඊළඟ බස් එකේ ගෙදර යනකොට අපේ අක්කා ගෙදර ගිහින් වැඩේ පත්තු කරලා. මල්ලිව ඩිපෝ එකෙන් අල්ලගෙන යනකොට ඒ දෙස නිකම් බලාගෙන සිටි අක්කාගේ තොරතුරු මත පදනම් වෙලා අපේ ගෙදර මාර සේනාව ලෑස්ති වුණේ මාව හැරෙන තැපෑලෙන් පොලිසියට භාර දෙන්න. 

කොයි හැටි වෙතත් බස් කියන්නේ මාර දෙයක්. ඒ දවස්වල මම අපේ තාත්තාගේ බයිසිකලය හිතින් බස් එකක් ක‍රගෙන ගේ වටේ රූට් එකක් හදාගෙන බස් ඩ්‍රයිවර් කෙනෙක් විධියට වැඩ කළා. මම වැඩ කරපු ඩිපෝ එකේ නම සමනලතැන්න. හෙන කඳුකර පළාතක්. ටොයිලට් එක වටේ, නන්නන් ගහ රවුමේ අතිශය භයානක වංගු පසු කරගෙන තමයි ගමන යන්න තිබුණේ. ලේලන්ඩ් එකක් එළවන දාට එක සද්දයක්. ඕ එම් ටිග්‍රටෝ ෆියට් බස් එළවන්නත් මම කැමතියි. ඒකෙ සද්දෙ වෙනස්. පස්සෙ පස්සෙ ටාටා, ඉසුසු එහෙමත් එළෙව්වා. හැබැයි කටින්. හිටි ගමන් අපේ තාත්තා දෝස් මුරේ දානවා “දැන් ඔය ඇති, ඕක නවත්තලා පොතක් බලා ගනින් කියලා.” ඒ ගොල්ලෝ දන්නවයැ ගමනාන්තයට තව දුර බව. අන්තිමට තාත්තා දෙකක් දුන්නා ම මම හිත හදා ගන්නේ බස් එක පෙරලුණා කියලායි. 

අපේ ගෙය කිට්ටුව වෝගන් පල්ලමේදී එක්දාස් නමසිය හැත්තෑ ගණන් අග භාගයේදී බස් එකක් උඩුකුරුව පෙරළුණා. ඒක ගැනත් මාර කතා තිබුණා. ඒ කිට්ටුව කිතුල් ගහක හිටපු ජූලිස් අයියා කිව්වා මිනිහා ගහ උඩ ඉඳන් දැක්කා ය බස් එකේ ක්ලච් එක පනිනවා. බස් එකේ ආපු අය කිව්වා මුස්ලිම් මිනිහෙක් වන රියදුරා ‘අල්ලා’ කියා කෑ ගැහුවාම ඒගොල්ලන් පොලු අල්ල ගත්ත නිසා පණ බේරුණා ය කියලා. දොඹකර දෙකක් ගෙනත් බස් එක ගොඩ ගන්න දවස් දෙකක් ගියා. ඒ දවස්වල ගමේ කේන්ද්‍රය වුණේ බස් එක. බස් එක පෙරළිච්ච එක ගැන මිනිස්සු සෑහෙන කාලයක් කතා කළා. 

ඉස්කෝලෙදි අපේ පංතිවල ඩෙස් සැරසුවෙත් බස් රූප. ඩෙස් එක බ්ලේඩ් තලෙන් හූරලා ඔප කරගෙන බෝල්පොයින්ට් පෑනෙන් ඒවා ඇන්දෙත් අපිමයි. වැඩිපුරම ඇන්ද බස් එක 23 ශ්‍රී 3212. ඒකෙ මතුගම කොමළි කියලා ඉස්සරහ ලියලා තිබුණා. විනෝද චාරිකා යාම සඳහා වෙන් කරලා තිබුණු මේ ලේලන්ඩ් පවර්ප්ලස් බස් එක තනිකර කලාගාරයක්. ඒ කාලෙ බස් ඩිපෝවල චිත්‍ර ශිල්පියෝත් හිටියා. සමහරු ලැකර් හෙවත් ‍එනැමල් තීන්තවලින් ලස්සන නිර්මාණ කළා. මම මුලින් ම දැකපු භූමි දර්ශන චිත්‍ර ඇන්දේ මේ බස් කලාකාරයෝ. ඒවායේ ‍පොකුණු, ගස් වැල්, පාරවල්, අහස ඇරුණා ම බොහෝ විට තිබුණේ ඒ බස් එක ම තමයි. මට මතකයි එක කාලෙක තීන්ත ආලේප කරලා වේලෙන්න කලින් කුප්පි ලාම්පු දැල්ල අල්ලලා මාර ලස්සන බතික් වගේ මෝස්තරයක් මේ කලාකරුවෝ නිර්මානය කළා. බස්වල ලැකර් තින්ත සුවඳ තවමත් නහයට දැනෙනවා වගේ. 

අපේපංතියේ හිටිය දුල්මිණි බංඩාරගේ (දැන් නීතිඥ) තාත්තා මතුගම ඩිපෝවෙ පරීක්ෂක කෙනෙක්. ඒ නිසා එයා සැරින් සැරේ කවකටු පෙට්ටියට එක එක පේන්ට් පාරවල් අල්ලාගෙන ආවා. එක වතාවක් මගෙත් කවකටු පෙට්ටිය පාට කරවලා දුන්නා. 

ඒ කාලෙ අපි ඩිපෝ තාප්පෙ අයිනෙ පාර දිගේ යන්නෙ ඇතුළෙ තිබෙන බස් ගැන හීන මව මව. මතුගං කන්ද උඩට නැගලා ඩිපෝ එකේ දර්ශනයක් අල්ල ගන්න අපි උත්සාහ කළා. හැබැයි වටේ තාප්පෙ නිසා එහෙමට දෙයක් දකින්න ලැබුණෙ නැහැ. ඩිපෝ එක පිටිපස්සෙ උප දිසාපති කාර්යාල වත්ත කෙළවරේ කළු තෙල් වල බලන්නත් අපි යනවා. සමහරු කිව්වේ ඒ තෙල් වල පතුලක් නැති තරම් ගැඹුරුයි කියලා. 

3212 බීට් එකට ගහන්න බීට් එකක් තවම මම බස් එකකින් අහලා නැහැ. ඒක හරියට මිහිරි ගීතයක් වගේ. ඒක ඇතුළෙ චිත්‍ර, ලයිට් මදිවාට නිවෙන පත්තු වන බල්බ් සහිත බුද්ධ හා දේව රූප පෙට්ටියකුත් රියදුරු අසුන ඉදිරිපිට තිබුණා. ඒ පෙට්ටිය ඇතුළේ රූප ළඟ වළාකුළු වගේ තිබුණේ පුළුන්.එහි ලයිට් නිවුණේ පත්තු වුණේ සිග්නල්, බ්‍රේක් එහෙම වැඩ කරන විදියටයි. බ්‍රේක් ගහන කොට බුදු හාමුදුරුවන් ගාව රතු බල්බ් එකක් පත්තු වුණා.

එක වතාවක් අපි 3212 බස් එකේ ට්‍රිප් එකක් ගියා. ඒකෙ බැට්‍රි පෙට්ටිය උඩ යන්න ලැබිච්ච එක තමයි ට්‍රිප් එකේ ලොකු ම සොමිය. හැත්තැ හතේ එජාපය බලයට අවාට පසුව 3212ත් වෙන්දේසි කරලා දැම්මා. ඒක ඒ දිනවල අපේ හද කම්පා කරපු සිද්ධියක්. අපේ පංතියේ කොල්ලෙක් කිව්වා දොඹකරේකින් 3212 ඇදගෙන යනවා දැක්කා ය කියලා. ඒක ගත්තු අය මම හිතන්නේ බස් එක මස් කළා. නැතිනම් කොහේදි හරි පසුව දකින්න ලැබෙනවා. ඒ කාලෙ මතුගම පැත්තේ වතු පාරවල්වල දුවපු ෆියට් බස් අතරින් 23 ශ්‍රී 1764 මම මේ ළඟදිත් පාරක දැක්කා. දැන් ඒවා තියෙන්නේ හද්දා පිටිසර පැතිවල. 

පුංචි දරුවන්ගේ ෆීඩිං කප් දැක්කා ම මට තවමත් පරණ බස් මතක් වෙනවා. ඒවායේ රියදුරාගේ දකුණු අත පැත්තෙන් ෆීඩිං කප් එකක් වගේ රතු පාට කෝප්පයක් තිබුණා. ඒකෙන් තමයි, සිග්නල් දැම්මේ. ඒක ඇතුළේ කණාමාදිරි එළියක් නිවි නිවී පත්තු වුණා.  

හුඟක් බස්වලට යතුරු නැහැ. වයර් කෑලි දෙකක් මූට්ටු කරලා තමයි ස්ටාට් කළේ. සමහර බස්වල ස්ටාටර් මෝටරේ හිර වෙනවා. ඒවායේ තිබුණා දිග රීප්ප පටියක්. කොන්දොස්තර ඉස්සරහින් ගිහින් මෝටරේට දෙකක් ඇන්නා ම එන්ජිම පණ ගැන්වෙනවා. බස් තල්ලු කරන එකත් හරි ජොලි වැඩේ. කට්ටිය බැහැලා එක සැරේ කතා කරලා පොඩ්ඩක් හෙල්ලුවා ම පණ ගැන්වෙනවා. පුංචි අපට තල්ලුවක් දාන්න ඉඩක් හොයා ගන්න එක වුණත් අමාරුයි.  

හැත්තෑ ගණන්වල අග හරියෙදි ඉන්දියාවෙන් අශෝක් ලේලන්ඩ් ආවා. ඒවායේ තමයි මුලින් ම ඉදිරිපස දොරටුව රියදුරා ළඟ තිබුණේ. ඩ්‍රයිවර් මහත්තයාට අරින්න පුළුවන් සරළ ලීවර යාන්ත්‍රණයක් තිබුණු දොරකුත් ඒ බස්වල තිබ්බා. ඒ බස්වල තමයි, මට මතක විධියට මුලින් ම තහඩු බෝඩ් ආවෙ.

හොරණ ඩිපෝ එකේ 22 ශ්‍රී බ්‍රිටිෂ් ලේලන්ඩ් පාන් ගෙඩි බස් එකක් අපේ පාරේ සෑහෙන කාලයක් දිව්වා. මේ බස් එකේ එන්ජිම නිකම් දුවනකොට හෙවත් අයිඩ්ලිං තියෙනකොට ආවෙ ‘හොරං – හොරං’ කියලා සද්දයක්. හොරණ ඩිපෝ එකේ බස් එකක් නිසා වෙන්න ඇති කියලායි මම හිතුවේ. ඒ කාලෙ මතුගම පැත්තට බස් ආවෙ ඩිපෝ කීපයකින් විතරයි. ඉඳහිට අමුතු ඩිපෝ එකකින් බස් එකක් ආවාම අපි හැමෝ ම ඒකට නැගලා බලනවා. ගෙදරයි, පාසලයි ඇරුණා ම ඉතින් අපට වැදගත් ම තැන වුණේ බස් ස්ටෑන්ඩ් එක. පස්සෙ කාලෙක ගෑනු ළමයි පස්සෙන් ගියෙත්, රස්තියාදු ගැහුවෙත් එතන.

අපේ පැත්තේ තට්ටු දෙකේ බස් තිබුණේ නැහැ.ඒ නිසා තවමත් තට්ටු දෙකේ බස්වල හිතේ හැටියට ගිහින් නැහැ. ඒ කාලෙ අපි කවුරුත් වැඩියෙන් ම ආසා කරපු රස්සාව තමයි බස් ඩ්‍රයිවර්කම. සමහරු කිව්වේ මුලින් පයිලට්ලා, දොස්තරලා වෙලා ඉඳලා පස්සෙ සීටීබී ඩ්‍රයිවර්ලා වෙනවා කියලායි. ඒත්, අපේ පංතියේ හිටපු එකෙකුටවත් ඒ මට්ටමට එන්න බැරි වුණා. සමහරු උඩ ගියා. සමහරු පහළ වැටුණා. 

බස් ඩ්‍රයිවර් අපේ වීරයෙක්. ඒත්, හැම ඩ්‍රයිවර් කෙනෙක් ම හොඳ මිනිස්සු නො වෙයි. බස් ඩ්‍රයිවර්ලා අතරෙ විවිධ චරිත හිටියා. පොල්ලෙ මහත්තයා බයගුල්ලෙක්. පුටු කකුලා අධි වේගයට ප්‍රිය නිසා ඇක්සලේටරයට පුටු කකුලක් බැඳ ගත්තා ය කියනවා. වැඩිපුර පාගන්න. හැබැයි, එ නම කිව්වා  ම මිනිහාට තද වෙනවා. ‍අපේ පංතියේ ගැහැනු ළමයෙකුගේ තාත්තා වුණ ඇල්බට් අයියා අහිංසක මනුස්සයෙක්. ඔහු 29ශ්‍රී5114 එළෙව්වේ හරි පරිස්සමින්. මොකක් හෝ ස්නායු ආබාධයක් නිසා ඔහුගේ කටින් “පැහ්’ කියලා සද්දයක් එනවා. මේක සමහරු කැත විහිළුවක් කර ගත්තා. 

හොරණ ඩිපෝ එකේ වැඩ කළ මදුරුගොඩ සෝමපාල ගංජා ගහලා හොරණ ඩිපෝ එකේ අලුත් ම අලුත් 29 ශ්‍රී 8072 අශෝක් ලේලන්ඩ් බස් එක අපේ පාරෙ එළෙව්වේ හැටට හැටේ. මිනිහාට පාසල් ළමයින් පෙන්නන්න බැහැ. නෑබඩින් මෙහා බහින ළමයින්ගෙන් බස් එකට ගන්නේ මිනිහාගේ ළමයින්ව විතරයි. ඒ බස් එකේ තමයි, මම දන්න පළමු මිනී මැරුම වුණේ. ඒක දිග කතාවක්.  

ඩ්‍රයිවර් උන්නැහේලාට හෝන් ගහන්නත් එක එක රිද්ම තියෙනවා. මුල් කාලේ හෝන් වැඩ කළේ විදුලියෙන්. එහි ස්විච් එක තිබුණේ කාර්වල වගේ සුක්කානම මැද. පස්සේ හුළං බලෙන් වැඩ කරන ඒවා ආවා. මුලින් ම ආ ඒවායේ ස්විච් එක තිබුණේ පයින් පාගන්න. ඒ කාලෙ සමහර බස්වල ලයිට් ඩිම් කරන ස්විච් එක තිබුණෙත් පයින් පාගන්න. 

ඩ්‍රයිවර් උන්නැහේට තරම් අපි කොන්දොස්තර මහත්තයාට කැමති වුණේ නැහැ. හැබැයි එයා ‘ටිකිස් – ටිකිස්’ කියලා ඇවිත් කරස් ගාලා ටිකට් කඩලා දුන්න ටිකට් මැෂිමට නම් මාර ආසාවක් තිබුණා. ඒකට දාන ටිකට් රෝල‍් කෑල්ලක් එහෙම සතුව තිබුණු සමහර ළමයි කාගෙත් ඉරිසියාවට ලක් වුණා. අපේ තාත්තලා, මාමලා ලංගම වැඩ නො කරපු එක ඒ දිනවල අපට මාර අසහනකාරී ප්‍රශ්නයක්. 

ඒ කාලෙ බස්වල බොඩියේ පාට ගාලා තිබුණෙ නැහැ. තිබුණේ නිල් ඉරකුයි, ඒ මැද ඉලිප්සයක සිංහ රූපය සමග ලංගම කියලා භාෂා තුනෙන් ලියපු ලාංඡනයයි විතරයි. ඒ නිසා අපි සීටීබී කියන අකුරු තුනෙන් කියවුණේ සිලෝන් ටකරං බස් ය කියා කිව්වා. 

ඒ කාලෙ අපට සෙල්ලම් බඩු ගන්න සල්ලි තිබුණෙ නැහැ. බස් ස්ටෑන්ඩ් එකේ සෙල්ලම් බඩු තට්ටුවක තිබුණා තහඩුවලින් හදපු බස්. ඒවායේ රෝද හදලා තිබුණෙ සෙරෙප්පු කෑලිවලින්. ගාන මතක නැහැ. අපි ගෙදර ඇවිත් සපත්තු, විස්කෝතු පෙට්ටිවලින් බස් හැදුවා. බසුයි, අපියි ගැන පොතක් වුණත් ලියන්න තරම් දේ තියෙනවා නේ ද කියලා මේක ලියනකොට හිතුණා.  

ආ, තව එකක් මතක් වුණා. මං මුලින් ම ස්ට්‍රයික් එකක් දැක්කේ සීටීබී එකේ. මතුගම ඩිපෝ එකේ අය බස් ඔක්කොම ස්ටෑන්ඩ් එකේ පාක් කරලා ස්ට්‍රයික් එකක් කළා. ඒවායේ අලවලා තිබුණු පෝස්ටර්වල “අනිල් අපිට – අපි අනිල්ට” කියා ලියලා තිබුණා. ඒ කාලෙ ලංගම සභාපති අනිල් මුණසිංහ. පසුව ඔහු මතුගම මන්ත්‍රීත් වෙලා හිටියා. එතකොට ස්ට්‍රයික් කළේ ඔහුට පක්ෂව වෙන්න ඇති. 

Leave comment

Your email address will not be published. Required fields are marked with *.