අජිත් පැරකුම් ජයසිංහ (2019 අගොස්තු 4දා ලංකා පුවත්පතේ ද පළ වේ)

ශ්‍රී ලංකාවේ වසරකට 360,000ක් පමණ කාන්තාවන් ගර්භණීභාවයට පත් වනවා. එයින් තුනෙන් එකක ප්‍රමාණයක් සැලසුම් නොකළ පිළිසිඳගැනීම් බවට ඇස්තමේන්තු කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. ඒ කියන්නේ බලාපොරොත්තු නැති මොහොතක ඇති වන ගැබ්ගැනීම්.

(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
Sinhala Tamil English Translations and Content Writing

ගැබ්ගැනීමක් කියන්නේ විශේෂයෙන් ම ගර්භණී වන කාන්තාවගේ ජීවිතය මුළුමනින් ම වෙනස් කරන අවස්ථාවක්. බාල වයස්කාර ළමයකු ගැබ්ගැනීම කියන්නෙ අප කවුරුත් දන්නා දරුණු අර්බුදයක්. හැබැයි, විවාපත්, වැඩිහිටි දරුවන් සිටින මවක ගැබ්ගැනීම වුණත් එම පවුලට වගේ ම මවටත් ප්‍ර‍ශ්නයක් වෙන්නට පුළුවන්. අනවශ්‍ය ගැබ්ගැනීම් අදාළ කාන්තාවටත්, බිහි වීමට සිටින දරුවාටත්, අනෙකුත් දරුවනටත්, සමස්ත පවුලටත්, සෞඛ්‍ය පද්ධතියටත්, සමස්ත සමාජයටත් ගැටලුකාරී වන බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේත්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේත් අනුග්‍රහයෙන් 2019 ජුලි 27දා කොළඹදී පවත්වන ලද ‘සැලසුම් නොකළ පිළිසිඳගැනීම්; විසඳිය යුතු ගැටලු’ මැයෙන් පවත්වන ලද සම්මන්ත්‍රණයකදී මෙම කරුණු හෙළිදරව් වුණා.

සෑම වසරක ම කාන්තාවන් 360,000ක් පමණ ගැබ්ගන්නා බව ද, එම ගැබ්ගැනීම් අතරින් තුනෙන් එකක් ම සැලසුම් නොකළ ගැබ්ගැනීම් බව ද, සැලසුම් නොකළ ගැබ්ගැනීම් හේතුවෙන් කාන්තාවන්ට හා පවුල්වලට මානසික ආතතියට හා අධික පිරිවැයකට මුහුණ දෙන්නට සිදුවෙන බව ද පෙන්වා දුන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් හා ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මේ සඳහා විසඳුම වන්නේ ඵලදායී පවුල් සැලසුම්කරණය බව පැවසී ය.

පවුල් සැලසුම පිළිබඳ කතා කරමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පවුල් සැලසුම් වැඩසටහන් කළමනාකාර වෛද්‍ය සංජීව ගොඩකන්ද පෙන්වා දුන් කරුණක් වූයේ ශ්‍රී ලංකාවේ ගැබ්ගැනීම් අතරින් තවත් 10%ක් පමණ අනිසි කාලීන ගැබ්ගැනීම් බවයි. “වැඩි වයස් කාන්තාවන්, නව යොවුන් වියේ ගැහැණු ළමයින්, දූෂණයට ලක් වූ කාන්තාවන් ආදිය මෙම ප්‍රවර්ගයට අයත් වෙනවා. අනිසි කාලීන ගැබ්ගැනීම් ද අනවශ්‍ය ගැබ්ගැනීම් ලෙස සැලකිය හැකියි. මෙවැනි ගැබ්ගැනීම් ගබ්සාවන්ට හේතු වෙනවා. අනවශ්‍ය ගැබ්ගැනීම් සිදු වූ කාන්තාවන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ලක් වීමේ ඉඩකුත් තිබෙනවා. සෑම අනවශ්‍ය ගැබ්ගැනීමක් ම ගබ්සා නොකළත්, දරුවන් මරාදැමීම, දරුවන් අතහැර දැමීම, නොතකා හැරීම, අවශ්‍ය ආදරය සහ පෝෂණය වැනි දේ නොලැබීම වැනි තවත් ප්‍රශ්න රැසක් ඇති විය හැකියි.”

අනිසි කාලීන, සැලසුම් නොකළ සහ අනවශ්‍ය ගැබ්ගැනීම් වෙනුවට නිසි ගැබ්ගැනීම් ඇති කරගැනීම සඳහා වෛද්‍ය නිර්දේශ ද වෛද්‍ය සංජීව ගොඩකන්ද පෙන්වා දුන්නා. ගැබ්ගැනීම් සඳහා ප්‍රශස්ථ වයස වන්නේ අවුරුදු 20-35 අතර කාලයයි. දරුවන් අතර අවුරුදු තුනක පරතරයක් තබාගත යුතුයි. දරුවන් සිව්දෙනෙකුට වඩා හැදීම භයානකයි. එසේම, උපත් පාලනයකින් තොරව වසරක් ලිංගික කටයුතුවල සක්‍රියව යෙදීමෙන් පසුවත් දරුවකු පිළිසිඳ නොගන්නේ නම් මඳසරුභාවය සඳහා ප්‍රතිකාර ලබාගත යුතුයි.

පවුල් සංවිධානයේ වැදගත්කම මතු වන්නේ එහිදීයි. පවුල් සැලසුම් සඳහා නවීන ප්‍රතිසන්ධි විරෝධක භාවිතා වෙනවා. කොන්ඩම්, හෝමෝන ප්‍රතිකාර සහ ගර්භාෂයට ඇතුළු කරන සියුම් උපකරණ මගින් ප්‍රතිසන්ධි වළක්වාගන්නට පුළුවන්. තමන්ට පිළිසිඳගැනීම් ඇති කරගැනීමට අවශ්‍ය විට එම ප්‍රතිසන්ධි විරෝධක භාවිතය නතර කළ හැකියි. පවුල් සැලසුම් ක්‍රම පිළිබඳ උපදෙස් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සෑම කාන්තාවකට ම නොමිළේ සපයනවා. ඒත්, අවිවාහක යුවල, නව යොවුන් වියේ ලිංගික වශයෙන් සක්‍රිය පිරිස් වැනි අය මෙම සේවා ලබාගන්නට ඉදිරිපත් වීමේ මැලිකමක් දක්වනවා. ලංකාවේ සම්පූර්ණ නොකළ පවුල් සැලසුම් අවශ්‍යතා ප්‍රමාණය 20%ක් පමණ වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

වෛද්‍ය කපිල ජයරත්න

වසර 2016 ජනවිකාස සහ සෞඛ්‍ය සමීක්ෂණය අනුව, ශ්‍රී ලංකාවේ විවාහක කාන්තාවන්ගෙන් 35%ක් පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරන්නේ නැත.

ඉහත කී සම්මන්ත්‍රණය සමග පැවැත්වුණ සංවාද සභාවට සහභාගි වූ ආගමික නියෝජිතයන් විසින් පළ කරන ලද අදහස්වලින් ද පැහැදිලි වුණේ ආගම් විසින් පවුල් සැලසුම එතරම් දිරිගන්වන්නේ නැති බවයි. එසේම, ජනවර්ග අනුපාත වෙනස් වීම සම්බන්ධයෙන් ජනවාර්ගික ප්‍රජාවන් අතර තිබෙන යම් යම් ආතති ද මෙම තත්වයට හේතු වෙනවා. නිදසුනක් ලෙස මුස්ලිම් ජනගහන වර්ධන අනුපාතිකය සෙසු ප්‍රජාවන්ගේ ජනගහන වර්ධන අනුපාතිකයට වැඩි බව මෙම සම්මන්ත්‍රණයේදී ජනවිකාස විද්‍යා මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පෙන්වා දුන්නා.

‍සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව, 2017 වසරේදී ගර්භණී වූ කාන්තාවන් 326,000ක් සජීවී දරුවන් බිහි කළා. මෙම කාන්තාවන්ගෙන් 49,000ක් (15%) ම වයස අවුරුදු 35ට වැඩි කාන්තාවන්. නව යොවුන් වියේ ගැබ්ගැනීම් ප්‍රතිශතය 5%කට ආසන්නයි. එම වසරේ මාතෘ මරණ 127ක් වාර්තා වූ අතර ඉන් කාන්තාවන් 28ක් ම අනවශ්‍ය ගැබ්ගැනීම් නිසා මරණයට පත්වුණා. එලෙස ම දරුවන් 1770ක් කුස තුළ ම මිය ගියා.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මෑත සංඛ්‍යාලේඛන විසින් හෙළිදරව් කරන පරිදි මාතෘ මරණ වැඩිවෙමින් තිබෙනවා. සජීවී දරු උපත් ලක්ෂයකට මව්වරුන් 40ක් පමණ මියයති. 2015 වසරේදී සම්පාදනය කරන ලද පශ්චාත් ගබ්සා සත්කාර පිළිබඳ ජාතික මාර්ගෝපදේශ මගින් අවධාරණය කරන ලද පරිදි ශ්‍රී ලංකාවේ මාතෘ මරණවලින් 10 – 13% අතර ප්‍ර‍මාණයකට හේතු වන්නේ අනාරක්ෂිත ගබ්සායි. රටේ දිනකට ගබ්සා 500 – 1000 අතර ප්‍රමාණයක් සිදු වන බවට දළ තක්සේරුවක් තිබෙනවා. දළ වශයෙන් ගණනය කළ විට දරුවන් තිදෙනෙකු ඉපදෙන විට දෙදෙනෙකු පමණ ගබ්සාවට ලක් වන බව පෙනෙනවා.

මෙම සියලු කාරණා සැලකිල්ලට ගත් විට ශ්‍රී ලංකාවේ පවුල් සැලසුමෙහි වැදගත්කම තේරුම්ගත හැකියි. මේ සම්බන්ධයෙන් ඉහත කී සංවාද සභාවට සහභාගි වූ දේශපාලනඥයන් වෙතින් නම් පළ වූයේ සුබවාදී අදහස් ය. එම සංවාද සභාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමති හර්ෂ ද සිල්වා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී සිසිර ජයකොඩි හා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී විජිත හේරත් සහභාගි වුණා. මෙහිදී වඩා එඩිතර අදහස වූයේ මන්ත්‍රී විජිත හේරත් විසින් ඉදිරිපත් කරන ලද අදහසයි.

“මිනිසා පාලිත සමාජයක් බිහිකරගන්නා නිසා. එහි නීති රීති, සමාජ සම්මුති, ආගමික මතවාද, සංස්කෘතික වෙනස්කම් ආදිය තිබෙනවා. පවුල නම් කුටුම්බයට කලින් ප්‍රාථමික සාමූහික සමාජය පසු වුණා. ඒ මාතෘ මූලික සමාජයේ පිරිමි හා කාන්තාවන් පොදුවේ ලිංගිකව හැසිරුණා. වර්තමාන පවුල අනිවාර්යයෙන් සැලසුම් සහගත විය යුතුයි. ආර්ථිකයට, සමාජයට වගේ ම පවුලටත් සැලසුම අත්‍යවශ්‍ය දෙයක්. සැලසුම් සහගතබවක් තිබේ නම් ගබ්සාව පිළිබඳ ප්‍රශ්නය පැනනගින්නේ නැහැ. පවුල් සැලසුම ඔස්සේ අපට ගබ්සාව නම් ප්‍රශ්නය විසඳාගන්නට පුළුවන්. අපේ රට වැනි දුප්පත්කම, සංස්කෘතික දුප්පත්කම, නූගත්කම, ආගමික බලපෑම, ලිංගික අධ්‍යාපනයේ ගැටලු ආදිය ඇති පසුගාමී සමාජයකදී මේ සමාජ ගැටලුවලට පිළිතුරු සපයන්නට ඉහත සියලු ක්ෂේත්‍රවල දුප්පත්කම නැති කළ යුතුයි. සංවර්ධනය කියන්නේ භෞතික සංවර්ධනය විතරක් නෙමෙයි. මානව සංවර්ධනයත් සමග සමාජය පාලිත, දියුණු සමාජයක් බවට පත් වෙනවා. එහිදී අවශ්‍ය නම්, සමාජමය හේතු නිසා සැලසුම් නොකළ පිළිසිඳගැනීම් ඇති වන අවස්ථාවලදී ගබ්සා අවශ්‍යතාව පැනනගිනවා නම් එයට නීත්‍යානුකූලව ඉඩ දිය යුතුයි. අයර්ලන්තයේ ජනමත විචාරණයක් තිබුණා, එහිදී ගබ්සාව අනුමත වුණා. එමගින් නවීන තාක්ෂණය ඔස්සේ විකෘති දරුවන් බිහිවීම වළක්වා ගන්නටත් පුළුවන්. එවැනි දරුවන් බිහිවීම සමාජයට, මව්පියන්ට බරක්. මවට වේදනාවක්. දයාවෙන් පිරුණු ඇත්ත මාතෘත්වයෙන් පිරුණු සමාජයක් බිහිකරන්නට අවශ්‍ය නම්, සැලසුම්සහගත, අවශ්‍ය නම් ගබ්සාවත් නීත්‍යානුකූල කළ තත්වයකට යා යුතු තමයි අපේ දේශපාලන දැක්ම.”

2 thoughts on “සැලසුම් නොකළ ගැබ්ගැනීම් හා ගබ්සාවලට විසඳුම කුමක් ද?

  1. !
    සැලසුම් නොකළ ගැබ්ගැනීම් කියන යෙදුම වැරදියි නේද? මං හිතන්නේ නිවැරදි යෙදුම අනවශ්‍ය ගැබ් ගැනීම් විය යුතුයි. සක්‍රීය ඩිම්බයක් තියෙන ගර්භාෂයක් තුළට ශුක්‍රාණු දැම්මහම ගැබ් ගැනීමක් ඇති වෙනවා කියන එක ස්වභාවික කාරණයක්නේ. ඕකේ සැලසුම් කරන්න දෙයක් නෑ. එලෙස හටගන්නා ගැබ වශ්‍යද නැද්ද කියන එකයි මෙහිදී වැදගත් කාරණය.

  2. Sansargaya saha prajannaya menma pilisinda genma paalanaya pilibandawa badhdra yawwanaye sitama paasal adyaapanayedie niweradiwa igenviya youthuya .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.