අජිත් පැරකුම් ජයසිංහ

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද 13/2019 චක්‍රලේඛය අනුව රජයේ සේවකයන් රාජකාරි කිරීමේදී ඇඳිය යුතු ඇඳුම් නිර්දේශ කර තිබේ. ඒ අනුව පිරිමි නිලධාරීන් කමිස-කලිසම් හෝ ජාතික ඇඳුම ද, ගැහැණු නිලධාරීන් සාරිය හෝ ඔසරිය ද ඇඳිය යුතු ය.

එම චක්‍රලේඛය අනුව, මුස්ලිම් කාන්තාවන්ට හිජාබය වැනි මුහුණ ආවරණය නොවන අරාබි ඇඳුම් පවා තහනම් ය. ඔවුන් ද සාරි ඔසරි ඇඳිය යුතු අතර හිස යම් ආකාරයකින් වසාගැනීමට හැකි ය. වළලුකර දක්වා අත් නිරාවරණය වන එක වළක්වන්නට මොනවා කළ හැකිදැයි මම නොදනිමි.

මෙහිදී තර්කය වන්නේ සම්පූර්ණ සිරුරු වැසෙන, රළු රෙද්දෙන් මැසූ බාජු අරාබි ගවුම තුළ යම් දේ සඟවා ගත හැකි ය යන ආරක්ෂක තර්කය විය හැකි ය. සාරි ඔසරි තුළ හෝ කලිසම්-කමිස තුළ එසේ සඟවන්නට බැරි ද?

සාරිය යනු ඉතා සෙක්සි ඇඳුමක් මිස ශිෂ්ට යයි බොහෝ දෙනා පිළිගන්නා අරුතින් ශිෂ්ට යයි කිව හැකි ඇඳුමක් නොවේ. බොහෝ තරුණ හා මැදිවියේ රාජ්‍ය සේවිකාවන් එය අඳින්නේ උදරය, පෙකණිය, වසාරොද, පිට, පියයුරු ආදිය කාමෝද්දීපනය වන අයුරින් ප්‍රදර්ශනය කළ හැකි ලෙස ය. ඇතැම් අයගේ ඒ කොටස් දැකීමෙන් ඇති වන කාමෝද්දීපනයක් නැතත්, තමන්ට ගැලපෙන විලාසිතා තෝරා ගැනීමට නොදන්නා රැල්ලට යන ගැහැණු ඒ ඒ කාලයේ මෝස්තර අනුව අඳිති. එසේම, බොහෝ අය සාරිය අඳින ආකාරය කාර්යාල මෙන් ම පොදු ප්‍රවාහන සේවා සඳහා ද ගැලපෙන්නේ නැත. ඒ ගැන කාන්තා නිදහසින් තර්ක කිරීමට එන අයට මා කියන්නේ එක දෙයකි. රජයේ කාර්යාල හෝ පොදු ප්‍රවාහනය තියෙන්නේ අඟපසඟ ප්‍රදර්ශනය කිරීමට නොවේ. අඟපසඟ නැරඹීම පිරිමින්ගේ ගැටලුවක් ලෙස ඉස්මතු කරන්නේ නම්, එම තත්වය දැන දැන ම අඟපසඟ ප්‍රදර්ශනය කිරීම ගැහැණුන්ගේ ගැටලුවකි.

රජයේ කාර්යාලවල දැනටමත් වැඩිදෙනෙකු අඳින්නේ කලිසම්-කමිස හා සාරි ය. එහි කිසියම් අප්‍රකාශිත ඩ්‍රෙස් කෝඩයක් හෙවත් ඇඳුම් අඳින පිළිවෙලක් ඇත. එහෙත්, සියලු දෙනාට එසේ සාරි පටලවාගෙන වැඩ කරන්නට බැරි ය. විශේෂයෙන් ම කම්කරු කාන්තාවන්ට සාරි අඳින්නැයි කීම විකාරයකි. සියලු කම්කරු කාන්තාවන්ට නිල ඇඳුම් ලබාදෙන්නේ ද නැත.

ශ්‍රී ලංකාවේ වින්නඹු සේවිකාවන් අතීතයේදී ඇන්දේ සාරියකි. දැන් ඔවුන් පවුල් සෞඛ්‍ය නිලධාරීන් ය. පසු කලෙක ඔවුන් ගවුමට මාරු වූ අතර, මේ වසරේ සිට අඳින්නේ කලිසමක් හා හැට්ටයකි.

බුර්කා හා නිකාබ් ඇඳුම් තහනම් කිරීම කුමන තත්වයක් යටතේ වුව ද නිවැරදි බව අපේ අදහසයි. ස්ත්‍රී පීඩක මෙම ඇඳුම් ලංකාවේ කාන්තාවන්ට ඇන්දුවේ ද ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් කාන්තාවන්ගේ අදහස් විමසා නොවේ. කොහොමත් සමාජ වෙනස්කම් යනු හැම විට ම ඉතා ප්‍රජාතන්ත්‍රවාදී සුවපහසු ආකාරවලින් සිදු වන ඒවා නොවේ. එහෙත්, මුහුණ ආවරණය නොකරන අරාබි ඇඳුම් ඊට වඩා වෙනස් ය.

ලාංකීය මුස්ලිම් කාන්තාවන් ද අතීතයේදී ගරුසරු ඇති කටයුතුවලදී ඇන්දේ සාරියයි. ඒ නිසා රජයේ සේවයට සාරිය අඳින්නැයි බලකිරීම බරපතල ගැටලුවකැයි මම නොසිතමි. එහෙත් එහි ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවන ගැටලු දෙකක් ඇත. පළමුවැන්න මුස්ලිම් කාන්තාවන්ගේ අරාබි විලාසිතාවේ දිග ගවුම්වලට ඉඩ නොදීමයි. දෙවැන්න, සාය-හැට්ට හා කලිසම්-හැට්ට යුරෝපා විලාසිතාවන් ද පිටුදැකීමයි. එහි ද වරදක් නැතැයි මා සිතමි. මුස්ලිම් කාන්තාවන් මෙහිදී යම් කැපකිරීමක් කළ යුතු නම්, සිංහල හා දෙමළ කාන්තාවන්ට ද එසේ කරන්නට බැරි විය නොහැක.

ලංකාවේ රජය යනු සිංහල මූලික එකකි. එහි බහු වාර්ගික ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. එවැන්නක් ඇති කරනවාට සිංහල ජනතාව කැමති ද නැත. ඒ නිසා රජයේ සේවක කාන්තාවන්ට අරාබි පමණක් නොව යුරෝපා ඇඳුම් ද තහනම් වීම බරපතල ගැටලුවක් නොවේ. සිංහල මූලික රජයේ රාජ්‍ය සේවයේ නියැලෙන අය ඇඳිය යුත්තේ සිංහල ඇඳුම් වීම පුදුමයක් නොවේ.

වත්මන් රජය විසින් පාසල් ගුරුවරියන්ට ගර්භණී සමයේදී ඇඳීමට පහසු ගවුමක් හඳුන්වා දෙන ලදී. එහෙත්, ලංකාවේ ගර්භණී ගුරුවරියන් එය අඳින්නේ නැතිව සාරි හිරකරගෙන ම තවමත් පාසල් යති. සාරිය අධිනිශ්චය වූ සමාජයක හිජාබ් පමණක් නොව කුර්තා, සල්වාර්, පන්ජාබ් හා සාය-හැට්ට ද ගර්හිත ය.

(Photo credit: Sunday Times)

1 thought on “සාරි පොඩිත්තක් ඇඳගෙන යා යුතු රජයේ සේවය

Leave comment

Your email address will not be published. Required fields are marked with *.