‘ශරියා විශ්වවිද්‍යාලය’ හා ලංකාවේ ආගමික විශ්වවිද්‍යාල

මේ දිනවල ශරියා විශ්වවිද්‍යාලයක් පිළිබඳ සමාජයේ කතාබහට ලක් වෙලා. නැගෙනහිර පළාතේ පුනානිහි පිහිටි, විදේශ ණයකින් ඉදි කරන ලද බව කියන, අරාබි ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත, තතවම විවෘත කර නැති පෞද්ගලික විශ්වවිද්‍යාලය ශරියා විශ්වවිද්‍යාලයකැයි චෝදනාවක් එල්ල වෙනවා. එහි වෙනත් උපාධි අතර ශරියා නීති ඉගැන්වීමේ උපාධි පාඨමාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබුණ බව පැවසෙනවා. කෙසේ වෙතත්, මේ වන විට එම විශ්වවිද්‍යාලයට එරෙහිව දැවැන්ත විරෝධයක් සමාජයෙන් මතු වෙමින් තිබේ. යුනිවසිටි කොලේජ් බැටිකලෝ ලෙස ලියාපදිංචි කර තිබෙන මෙම ආයතනය තවමත් රජය විසින් විශ්වවිද්‍යාලයක් ලෙස පිළිගෙන නැත.

එම විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යනු ලබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ සයින්දමරුදුහිදී පැවසී ය.

ශ්‍රී ලංකාව ආගමික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති රටක්. අනුරාධපුර යුගයට අයත් මහා විහාරය හා අභයගිරිය එවැනි ආරම්භක විශ්වවිද්‍යාල දෙකකි. උත්තර මූලය, වහදු මූලය, කපාරා මූලය, මහනෙත්පා මූලය ලෙස විද්‍යාල සතරකින් සැදුම් ලද, අභයගිරිය භික්ෂූන් 5000ක් පමණ එකවර ඉගෙන ගත් මහා විශ්වවිද්‍යාලයකි. මහායාන විශ්වවිද්‍යාලයක් වූ එහි බොහෝ ලෞකික විෂයන් උගන්වා තිබේ. අභයගිරියේ ගෘහ නිර්මාණ ශිල්පීය විශිෂ්ටත්වයේ නටබුන් අදත් දැකිය හැකි ය.

මේවා හැඳින්වුණේ පිරිවෙන් ලෙස වුව ද, ඒවායේ නූතන විශ්වවිද්‍යාලවල බොහෝ ලක්ෂණ ගැබ් වේ. කෝට්ටේ යුගයට එන විට කෑරගල පද්මාවතී පිරිවෙන, තොටගමුවේ විජයබා පිරිවෙන, වීදාගම ශ්‍රී ඝණානන්ද පිරිවෙන හා පැපිලියානේ සුනේත්‍රාදේවී පිරිවෙන වැනි පිරිවෙන් පිළිබඳව ද ඉතිහාසයේ ද සඳහන් වේ. විද්‍යෝදය හා විද්‍යාලංකාර විශ්වවිද්‍යාල බිහි වුණේ ඒ නමින් වූ පැරණි පිරිවෙන් පාදක කරගෙනයි. දැන් ඒවා පිළිවෙලින් ශ්‍රී ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාල ලෙස හැඳින්වේ.

හෝමාගම පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයත්, අනුරාධපුර බුද්ධශ‍්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයත් සුවිශේෂ වන්නේ ඒවා පාලි, සංස්කෘත වැනි පැරණි භාෂා සහ බුද්ධ ධර්මය හා දර්ශනය ඉගැන්වීම පිණිස ම ඇපකැප වූ විශ්වවිද්‍යාල නිසායි. ඒවායේ වැඩිපුර ඉගෙන ගන්නේ ද භික්ෂූන් ය. එමගින් පිරිනමනු ලබන ශාස්ත්‍රවේදී උපාධි සඳහා පාලි, සංස්කෘත, සිංහල, ඉංග්‍රීසි මෙන් ම, දර්ශනය, බෞද්ධ දර්ශනය, අධ්‍යාපන විද්‍යාව, සමාජ විද්‍යාව වැනි විෂයන් ද උගන්වනු ලැබේ.

ශ්‍රී ලාංකික භික්‍ෂූන්ට තම අනන්‍යතාව තහවුරු කොට ගෙන උසස් අධ්‍යාපනය ලැබීමට ආයතනයක් නොතිබූ බැවින්, අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල අධ්‍යාපන ඇමති සමයේ 1968 අංක 16 දරන බුද්ධශ්‍රාවක ධර්ම පීඨ පනතින් මහා විහාර භූමියේ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය පිහිටුවන ලදී. එය 1996 අංක 26 දරන පනතින් බුද්ධ ශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලය ලෙසත්, 2012 අංක 08 දරන සංශෝධිත පනතින් ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය ලෙසත් අංග සම්පූර්ණ ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කෙරිණි.

බෞද්ධ අධ්‍යාපනය පුනර්ජීවනය කිරීම හා ථෙරවාදී බුදුදහම පිළිබඳ අධ්‍යයනය කිරීම, පර්යේෂණ පැවැත්වීම හා ලෝකය පුරා ව්‍යාප්ත කරලීම, බෞද්ධ සංස්කෘතිය හා එහි අංගයන් ප්‍රවර්ධනය කරලීම මෙම විශ්වවිද්‍යාලයේ අරමුණ ලෙස දැක්වේ.

මේ අතර, මුදල් අය කර පාඨමාලා පවත්වන කැලණිය, බොල්ලෑගල, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය වැනි ආයතන ඉල්ලුමක් තිබෙන නව පාඨමාලා සංවර්ධනය කරගැනීමට සමත් වී තිබේ. බෞද්ධායුර්වේද මනෝකායික චිකිත්සාව, උපදේශනය, බෞද්ධ සංස්කෘතිය හා පාරම්පරික විද්‍යාවන්, බෞද්ධායුර්වේදීය වෘද්ධත්ව කළමනාකරණය, ආයුර්වේද ශාස්ත්‍රය වැනි විෂයන් දේශීය හා ජාත්‍යන්තර සිසුන්ට එහිදී හැදෑරිය හැකියි. ආචාර්ය බෝදාගම චන්දිම හිමි අනුශාසකත්වය හොබවන මෙම විශ්වවිද්‍යාලයට රාජ්‍ය අනුග්‍ර‍ය ද ලැබෙනවා.

ශ්‍රී දළදා මාළිගාව විසින් ද උසස් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කර තිබේ. එහි නම ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විද්‍යායතනය හෙවත් සිබා කැම්පස් යන්නයි. එමගින් තොරතුරු තාක්ෂණය පිළිබඳ ටොප් අප් උපාධියක් පවා පිරිනමනු ලැබේ. දළදා මාළිගාවෙන් පටන් ගත් විශ්වවිද්‍යාලයක් වුණත්, එය ද අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයට අනුව ‘උපාධි කඩයක්.’ 

ඇක්වයිනාස් විශ්වවිද්‍යාලය දීර්ඝ ඉතිහාසයක් සහිත අධ්‍යාපන ආයතනයකි. (එය විශ්වවිද්‍යාල තත්වයට උසස් කරනු ලැබුවේ මෑතදී ය.) එය අයත් වන්නේ කතෝලික සභාවටයි. කෘෂිකර්මාන්ත කළමනාකරණය, මනෝ විද්‍යාව හා උපදේශනය යන විද්‍යා උපාධිත්, කලා සහ සාමයික අධ්‍යයනය, කලා හා මානව විද්‍යා උපාධියත්, තොරතුරු තාක්ෂණ උපාධියකුත් එමගින් පිරිනමනු ලබනවා.