අජිත් පැරකුම් ජයසිංහ (2019 ජුලි 14 ලංකා පුවත්පතේ ද පළ විය)

ජුලි 11 දිනට යෙදෙන ලෝක ජනගහන දිනය නිමිති කරගෙන අපට ලංකාවේ ජනගහන ප්‍ර‍වණතා පිළිබඳ සාකච්ඡා කළ හැකියි. ශ්‍රී ලංකාවේ ජනගහනය පිළිබඳ සැලකිල්ලට ගන්නා විට දැකිය හැකි ප්‍ර‍ධාන ලක්ෂණයක් වන්නේ ජනගහන වියපත් වීමයි. වෙනත් වචනවලින් කිවහොත්, ජනගහනයේ වැඩිහිටියන් ප්‍ර‍තිශතය වැඩි වීමයි. වැඩිහිටියකු ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 60ට වැඩි අයයි.

(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
Sinhala Tamil English Translations and Content Writing

වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පහෙන් එකක් වයස අවුරුදු 60ට වැඩි වන අතර එම ප්‍ර‍තිශතය දකුණු ආසියාවේ ඉහළම මට්ටම වෙනවා. මෙම ශීඝ්‍ර‍ ජනවිකාස පරිවර්තනයට රට සූදානම් ද?

සක්‍රිය වැඩිහිටි ජනගහනයක් විසින් සමාජයට ලබා දිය හැකි දායකත්වය සීමා රහිත යි. වැඩිහිටි පුද්ගලයන් බොහෝ විට සැලකෙනුයේ සත්කාර සපයන්නන් සේ  වුණත්, බොහෝ දෙනෙකුගේ ආශාවන් හා රුචිකත්වයන් මෙකී සම්ප්‍ර‍දායික භූමිකාවන්ගෙන් ඔබ්බට විහිදිය හැකියි. ආර්ථික සංවර්ධනයේදී, දේශපාලන සහභාගිත්වයේදී සහ සමාජ ප්‍රාග්ධනයේදී වැඩිහිටි පුද්ගලයන්ට සිදු කළ හැකි වැදගත් දායකත්වය හඳුනාගැනීම අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් අවස්ථා උදාකර දීම සමාජ සංවර්ධනයට ඉවහල් වෙනවා.

ශ්‍රී ලාංකික කාන්තාවකගේ උපතේදී ආයු අපේක්ෂාව වසර 79කි. පිරිමියකුගේ උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 72කි. එයින් අදහස් වන පරිදි වයස අවුරුදු 60 සපිරෙන විට ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඉදිරියේ තවත් අවුරුදු 19ක් තිබියදී පිරිමින් ඉදිරියේ අවුරුදු 12ක කාලයක් තිබේ. ශ්‍රී ලංකාවේ අප තවමත් සැලකිල්ලට ගන්නේ උපතේදී ආයු අපේක්ෂාව පමණක් වුණත්, ජපානය වැනි රටවල් උපතේදී නීරෝගී ආයු අපේක්ෂාව ද සැලකිල්ලට ගන්නවා. ඒ කියන්නේ බෝ නොවන රෝග වැනි තත්වයන්ට ගොදුරු නොවී, නීරෝගීව ජීවත් විය හැකි ආයු කාලයයි. ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සැලකිය යුතු ප්‍ර‍තිශතයක් බහුවිධ රෝගී තත්වයන්ගෙන් පෙළෙන තත්වයක සිටීම බරපතල ගැටලුවක්. උපතේදී නීරෝගී ආයු අපේක්ෂාව වර්ධනය කරගැනීමට ලංකාව තව බොහෝ දුර යා යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව සමස්ත මරණ සංඛ්‍යාවෙන් 71%ක් ම සිදුවන්නේ බෝ නොවන රෝග නිසායි.

ශ්‍රී ලංකාවේ වියපත් වන ජනගහනයේ බහුතරය කාන්තාවන් වන අතර, එම ප්‍ර‍වණතාව වියපත් වීමේ ස්ත්‍රීකරණය ලෙස හඳුන්වනු ලබනවා. එය විසින් රට සූදානම් විය යුතු සුවිශේෂ අභියෝග සහ අවස්ථා රැසක් උදා කර දී තිබෙන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසනවා. මේ අභියෝග මොනවා ද?

වැඩිහිටි කාන්තාවන් වැන්දඹුවන් ලෙස දිගුකලක් ජීවත් වීම, ඔවුන්ට ස්වාධීනත්වය හා රැකවරණය අහිමි වීම, දරුවන්ගෙන් යැපෙන්නන් බවට පත් වීම, වැටුප් නොගෙවන කටයුතුවල යෙදෙන්නට සිදුවීම, දිළිඳුකම, සෞඛ්‍ය ප්‍රශ්න, මානසික ගැටලු, ලිංගික ප්‍රශ්න ආදී ප්‍රශ්න රැසක් එහි තිබේ.

ශ්‍රී ලංකාව 2030 වන විට ලක්ෂ 47ක් වන වැඩිහිටි ජනගහණයට අවශ්‍ය සමාජ ආරක්ෂණය සැපයීම සඳහා අවශ්‍ය පද්ධති ඇති කිරීම පිණිස ඉවහල් වන ප්‍ර‍තිපත්ති දැන් සිට ම සංවර්ධනය කළ යුතු යි.

මෙම ජනවිකාස විපර්යාසයේ වාසි නෙළා ගැනීමට නම් පළමුව වියපත් වන ජනතාව සම්බන්ධයෙන් සාධනීය ප්‍රවේශයක් අවශ්‍යයි. වියපත් වීම යනු සමාජයකට අලුත් යථාර්ථයන් හා අලුත් චින්තනයන් ගොඩනගා ගැනීමට අවස්ථාවකි. එහිදී වේගවත් ආර්ථික වර්ධනයක් අපේක්ෂා කිරීම යථාර්ථවාදී දැක්මක් වන්නේ නැහැ. හේතුව, සමාජ වියපත් වීමත් සමග ම සාඵල්‍යතාවේ අඩුවීමක් හා ජනගහණ වර්ධනයේ අඩු වීමක් සිදු වීමයි. එහෙත්, වඩා ධරණීය, සියල්ලන් ඇතුළත් කර ගන්නා සහ සමානාත්මතා සමාජයක් වෙත අවධානය යොමු කරන සංවර්ධන ප්‍රවේශයක් වෙත යොමු වීමට අපට පුළුවන්.

තරුණයන් වෙනුවෙන් ආයෝජනය කිරීම ද මෙහිදී ඉතා වැදගත්. වැඩිහිටි ජනගහනය රැක බලා ගැනීම සඳහා නිරෝගී සහ ඵලදායී තරුණ ජනතාවක් අවශ්‍යයි. වත්මන් තරුණ ජනගහනය වෙනුවෙන් කරනු ලබන ආයෝජන වනාහි අනාගත වැඩිහිටි ජනගහනය වෙනුවෙන් කරනු ලබන ආයෝජන ලෙස ද සැලකිය හැකියි. තරුණ ජනයා සිය සෞඛ්‍යය ආරක්ෂා කරගෙන, විශ්‍රාමික වියට එළඹෙන විට අවශ්‍ය දැනුම, කුසලතා සහ අත්දැකීම් ලබාගෙන සූදානම් වී සිටින්නේ නම්, ඔවුන්ට සමාජයෙන් අවශ්‍ය වන්නේ අඩු සහයෝගයක්. සාමාන්‍යයෙන් වඩා දිගු කලක් ජීවත් වන, දරිද්‍ර‍තාවට ගොදුරු වීමේ අවදානමට ලක් වන කාන්තාවන් වෙනුවෙන් විශේෂ කර සලකමින්, තරුණ පරපුරේ පෞද්ගලික මුල්‍ය කළමනාකරණ කුසලතා සංවර්ධනය කිරීමට ඇතැම් රටවල් ආයෝජනය කරන්නේ එම නිසායි.

ලංකාව මෑත ඉතිහාසයේදී 1971, 1989 සහ 2009 වසරවලදී රටේ දැවැන්ත තරුණ සංහාර සිදු වනු දුටු රටක්. ජනගහන ප්‍ර‍වණතා අනුව බැලූ විට ලංකාවට තවත් එවැනි තරුණ සංහාරයක් දරාගන්නට පුළුවන් ද යන්න සැක සහිතයි.

වැඩියෙන් ම අවදානමට ලක් වී සිටින වියපත් පුද්ගලයන්ගේ අවශ්‍යතා සම්බන්ධ ප්‍ර‍තිපත්ති සහ වැඩසටහන් සංවර්ධනය කිරීම ද ඉතා වැදගත්. වැඩියෙන් ම අවදානමට ලක් වී සිටින ප්‍ර‍වර්ගයට ආබාධ සහිත වැඩිහිටියන්, මානසික අභියෝග ඇති අය, තනිව ජීවත් වන අය හා ගෘහ මූලිකාවන් වන වැඩිහිටි කාන්තාවන් අයත් වෙනවා. වැඩිහිටියන් අතරින් මෙම කොටස් බොහෝ විට විෂමතාවලට හා පීඩාවන්ට ලක් වෙති.  

වෙනත් රටවල අත්දැකීම්වලින් පෙන්නුම් කරන්නේ, අවදානමට ලක් වන වැඩිහිටි ප්‍ර‍ජාවට පහසුවෙන් ලබා ගත හැකි ප්‍ර‍ජා-පාදක සත්කාර හා වැඩිහිටි නිවාස වැනි විකල්ප සත්කාරක සේවා සුලබ වාතාවරණයක් ඇති කිරීම ඉතා වැදගත් බවයි. ආයතන විසින් සපයනු ලබන වැඩිහිටි සත්කාරක සේවා පිළිබඳ සමාජයේ පසුගාමී ආකල්ප දුරලිය යුතු ය. හේතුව, ඇතැම් විට වැඩිහිටියන්ට හා පවුල්වලට තිබෙන එකම හා හොඳම විසඳුම එය වන බැවිනි. වැඩිහිටි නිවාසවලදී සිදු විය හැකි පීඩා සහ නො තකා හැරීම් වළක්වා ගැනීම පිණිස, සත්කාරක සේවාවන්ගේ ගුණාත්මක ප්‍ර‍මිති පවත්වාගෙන යාමට කාර්යක්ෂම නියාමන ක්‍ර‍මවේදයක් අවශ්‍ය බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.  

වසර 2030දී සපුරා ගැනීමට නියමිත තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සලකා බැලීමේදී, 2030 වන විට ශ්‍රී ලංකාවේ සිටින්නේ වියපත් වෙමින් සිටින ජනගහණයක් බව සැලකිල්ලට ගැනීම වැළැක්විය නොහැකියි. එසේම, රජය වියපත් සමාජයක් වෙනුවෙන් සූදානම් වීම සඳහා ප්‍ර‍තිපත්ති සහ වැඩසටහන් සැකසීම ද ඉතා වැදගත්. ජනගහනය වියපත් වීම රටට බරක් නොව, සංවර්ධනයේ ජයග්‍ර‍හණයක් බව අවබෝධ කර ගැනීම ද අත්‍යවශ්‍යයි.  

Leave comment

Your email address will not be published. Required fields are marked with *.