අජිත් පැරකුම් ජයසිංහ

2017 මැයි මාසයේ තායිවාන ව්‍යවස්ථාදායක අධිකරණය විසින් ලබා දෙන ලද ඓතිහාසික තීන්දුවක් අනුව සමකාමී 2019 මැයි 24දා සිට තායිවාන රජය සම ලිංගික විවාහ අයිතිය පිළිගන්නට කටයුතු යොදා තිබෙනවා.

2019 පෙබරවාරි 21 තායිවාන රජය සමකාමී විවාහ නීති ගත කිරීමට නීති කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව, දරුවන් හදා වඩා ගැනීම හා කාලත්‍රයාගේ උරුමය වැනි විෂමකාමී විවාහක යුවලවලට ලැබෙන නීතියේ ආරක්ෂාව විෂම ලිංගික යුවලවලටද ලැබෙනවා.

තායිවානය තමයි සමරිසි විවාහය පිළිගත් ආසියාවේ පළමු රට. 2019 අප්‍රේල් 2 වන විට පහත දැක්වෙන රටවල් සම ලිංගික විවාහ අයිතිය නීතිගත කර තිබෙන බව විකිපීඩියාහි දැක්වෙනවා.

ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, ඕස්ට්‍රියාව, බෙල්ජියම, බ්‍රසීලය, කැනඩාව, කොලොම්බියාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ෆ්‍රන්සය, ජර්මනිය, අයිස්ලන්තය, අයර්ලන්තය, ලක්සම්බර්ග්, මෝල්ටාව, මෙක්සිකෝ, නෙදර්ලන්ත, නව සීලන්තය, නෝර්වේ, පෘතුගාලය, දකුණු අෆ්‍රිකාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, උරුගුවේ.

කොස්ටාරිකාවත් සම ලිංගික විවාහ නීතිගත කිරීමට කටයුතු කරමින් සිටින රටක්.

මේ වන විට ලොව පුරා ම විෂම ලිංගික පමණක් නොවන ප්‍රජාවන් සම ලිංගික විවාහ අයිතිය වෙනුවෙන් අරගල කරනවා.

මේ පිළිබඳ අදහසක් තමයි පහත දැක්වෙන්නේ.

විවාහය කියන්නේ දේපල අයිතිය, පුරුෂාධිපත්‍යය හා ලිංගික කුහකත්වය සමග බැඳුණු මිනිස් සමාජයේ ඊනියා ශිෂ්ටත්වයක්. එය ආදරය පදනම් වූ අව්‍යාජ මිනිස් සම්බන්ධකම්වල අනිවාර්ය සාධකයක් නොවෙයි.

සම ලිංගිකත්වය කියන්නේ ම මෙකී විවාහ කේන්ද්‍රීය විෂම ලිංගික සම්බන්ධතාව මත ගොඩනැගුණු ක්‍රමයට විරුද්ධ දෙයක්. එය ආදරය, ලිංගිකත්වය මත පදනම් වූ දෙයක් මිස දරුවන්, දේපල වැනි දේ සමග අනිවාර්යයෙන් ම සම්බන්ධ විය යුත්තක් නොවෙයි. සම ලිංගික සම්බන්ධකම් ඇත්ත වශයෙන් ම බොහෝ දුරට නිදහස් ලිංගික සම්බන්ධකම්.

උදාහරණයක් ලෙස, විෂම ලිංගික විවාහය විසින් තමයි ලිංගික සම්බන්ධකම් විවාහ සහතිකයේ රාමුව ඇතුළට දැම්මේ. විවාහයෙන් පිට නිර්මාණය විය හැකි ආදරය තහනම් කළේ. නීතිමය කලත්‍රයාගේ ආදර සම්බන්ධතා සහ ලිංගික සතුට තීරණය කිරීමේ හෙවත් එයට උදැල්ල දැමීමේ බලයක් අනෙක් කලත්‍රයාට පැවරුණේ.

ඉතාම අන්තවාදී සංස්කෘතික ලක්ෂණයක් වන එක් පුද්ගලයකුට ආදරය කළ හැක්කේ එක් අයෙකුට පමණක් ය කියන අන්ත පසුගාමී, ව්‍යාජ සංකල්පය ගොඩනැගුණෙ විෂම ලිංගික විවාහයෙන්.

ආදරය කියන්නෙ ඉතාම සරල දෙයක්. එය තිබෙන්නේ චලනයක. ඒ වගේ ම එය ගැඹුරුයි. ආදරය ඉතා පුළුල් මනෝභාවයක්. විවාහය කියන්නේ එය ඉතා කටුක අන්දමින් සීමා කළ රාමුවක්. මිනිස් නිදහස මත නිර්මාණය කළ සංස්කෘතික සම්බාධකයක්.

මිනිස් සමාජය විසින් සොයාගත යුතුව තිබෙන්නේ දේපල මත පදනම් වූ විවාහ මූලික මිනිස් සම්බන්ධතා වෙනුවට ආදරය මත පදනම් වන නිදහස් ලිංගිකත්වයකට මග සලසා ගන්නා හැටියි. එහෙම නැතුව කසාදයේ රාමුවට අයත් නැති මිනිස් සම්බන්ධකමුත් කසාදයේ රාමුවට කොහොම හරි ඔබාගන්නා එක නෙමෙයි.

සම ලිංගික විවාහය නීතියෙන් පිළිගත් සමාජවල දැන් ඉතින් විෂම ලිංගික විවාහයන්ගේ තිබෙන සියලු ලිංගික කුහකත්වයනුත් නීතිගත වන බව මතක තබාගන්න.

සම ලිංගිකත්වය ස්වාභාවික දෙයක් ය කියා තර්ක කරනවා නම් විෂම ලිංගිකත්වයේ කෘත්‍රිම රාමුව තුළට එය ඇද දමන්නට එපා. විෂම ලිංගිකයන් විවාහයෙන් ගැලවෙන මාර්ගයක් සොයා අරගල කරද්දී සම ලිංගිකයන් විවාහ රාමුව තුළට රිංගන්නට හදන එක මට නම් පෙනෙන්නේ විකාරයක් ලෙසයි.

බැලූ බැල්මට හරිම රැඩිකල්, ප්‍රගතිශීලී වගේ පෙනුණත්, මේවා ඉතා පසුගාමී අරගලයි.

(Photo credit: thetimes.co.uk )

2 thoughts on “විෂම ලිංගික විවාහ රාමුව පුපුරුවා හරින්නට අරගල කළ යුතු සමයක සම ලිංගික විවාහ කරළියට ඒම

  1. ඉතාම පසුගාමී වැරදි අදහස් ගොන්නක්.

    විවාහය කියන්නෙ සම්බාධකයක් නෙමේ. එය, විශේෂයෙන් තරුණ වයසේ දී, හැඟීම් වලට පමණක් මුල් තැන දෙන සරල ආදරය, එකිනෙකා ඉවසන, ගරු කරන, තමන්ගේ ජීවිතය අනිත් කෙනාගේ පරිපූර්ණත්වය වෙනුවෙන් පරිත්‍යාග කරන ගැඹුරු ආදරය බවට පරිවර්තනය කරන රාමුවයි.

    රාමුවක් කියූ සැනින් එය නරක දෙයක් වන්නේ නැත. මිනිස් නිදහසට සීමාවක් තිබිය යුතු නැතැයි සිතීම මුලාවකි. සීමාවක් නැති නිදහස වල් බූරු නිදහසකි.

  2. පැරා හිටපු ගමන් මෙහෙම ආතල් දෙනවා. විවාහය කියන්නේ නීතිමය තත්වයක්. එකේදී සීමාවන් වගේම අයිතිවාසිකම් ලැබෙනවා. උදාහරණයක් විදිහට විවාහක තැනැත්තෙකුට හෝ තැනැත්තියකට පමණයි පුද්ගල භාරකාරත්වය ලැබෙන්නේ. රෝහලකදී, පොලිසියකදී, උසාවියකදී නිත්‍යානුකුල භාරකරු වෙන්නන් විවාහකයා ට පුළුවන්. බැංකුවක ණයක් ඉල්ලීමේදී විවාහකයා ගේ තත්වයන් සැලකිල්ලට ගන්නවා. විවාහක පුද්ගලයෙක් මිය ගිය විට ඔහුගේ/ඇයගේ වත්කම් හා වගකීම් විවාහකයාට හිමියි. සම ලිංගික විවාහය නිතයනුකුල නොවුනොත් ඉහත කි දේවල් වල ගැටළුවක් ඔවුන්ට ඇති වෙනවා. ආදරය ලිංගිකත්වය දේවල් හැඟීම්. ඒවාට නීති දාලා නවත්වන්න බැහැ. හැබැයි ක්‍රියාවන් සිමා කරන්න පුළුවන්. ඒක සමාජ හා සංස්කෘතික අංගයන් හා බැඳුනු දෙයක්. සමහර රටවල නීති තියෙනවා විවාහ කිහිපයක් කර ගන්න උනත්. නමුත් ශිෂ්ට සමාජයක සියලු පුරවැසියන්ට සුරක්ෂිත බවක් තියෙන්න ඕනනේ.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.