වෛද්‍ය පබාසරී ගිනිගේ

වෛද්‍ය පබාසරී ගිනිගේ, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සහ පේරාදෙනිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ සහ හෙල්ප්ඒජ් ආයතනයේ අනුග්‍රහයෙන් ජුලි 9දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලද වියපත් වීමේ ස්ත්‍රීකරණය පිළිබඳ සම්මන්ත්‍රණයේදී පවත්වන ලද දෙසුමෙහි සංක්ෂිප්ත පරිවර්තනයකි. මුල් කතාවේ ඉංග්‍රීසි පිටපත්කරණය මෙතැනින් කියවන්න Feminization of ageing; impact on female sexual and reproductive health

(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
Sinhala Tamil English Translations and Content Writing

කාන්තා ලිංගිකත්වය කියන්නේ ඉතා සංවේදී මාතෘකාවක්. එය පිළිබඳ මිථ්‍යාවන් රැසක් පරම්පරා ගණනාවක් තිස්සේ නිර්මාණය වී තිබෙනවා. එකක් පිළිබඳ සඳහන් කරනවා නම්, ක්‍රි.ව. 138දී එවකට සිටි ඉතා වැදගත් වෛද්‍යවරයකු වන ගැලන් පැවසූ පරිදි ප්‍රජනනය සඳහා කාන්තාවන් සුරතාන්තයට පත් විය යුතුයි.

මට කතා කරන්නට ලැබුණු මාතෘකාව වන්නේ වියපත් වන කාන්තාවන්ගේ ලිංගිකත්වයයි. වියපත් වීම පිළිබඳ ඒකාකෘති බොහොමයක් තිබෙනවා. කාන්තාවන් වියපත් වීම පිළිබඳවත් මිථ්‍යා රැසක් තිබෙනවා. ලිංගිකත්වය සමග සම්බන්ධ මෙම මිථ්‍යා පරම්පරාවෙන් පරම්පරාවට යනවා. ඒවා සමාජ, දේශපාලනික, ආගමික, සංස්කෘතික කාරණා තුළට කිඳා බැස තිබෙනවා. මාධ්‍ය මගින් කාන්තාවන්ගේ පසු යුගයේ ලිංගිකත්වය නිරූපණය කරනු ලබන ආකාරය ඔවුන්ගේ ලිංගිකත්වයට හා සදාචාරාත්මක වටිනාකම්වලට බලපානවා. සෑම ටෙලිනාට්‍යයක ම වගේ වියපත් වන කාන්තාවන් නිරූපණය කරන එක ම ස්වරූපයක් තිබෙනවා.

මෙය අවදානම් සහගත තත්වයක්. වයසත් එක්ක ලිංගික අකර්මණ්‍යභාවය ඉහළ යනවා. කාන්තාවන් සම්බන්ධයෙන් එය වැඩියි. තාර්කිකව කතා කළොත්, ආර්තවහරණයත් සමග ඇති වන ශාරීරික වෙනස්කම් ලිංගික ප්‍රතිචාරවලටත් බලපානවා. එහෙම වුණත්, වයසත් සමග කාන්තාවන්ගේ ලිංගික තෘප්තියේ සැලකිය යුතු අඩුවීමක් වෙන්නේ නැහැ. විවිධ සංස්කෘතීන් අතර කරන ලද සමීක්ෂණවලින් පෙන්වා දී තිබෙන පරිදි වයස 60ට වැඩි ජනගහනය තුළ ද සම්බන්ධතාවලදී ලිංගික ක්‍රියාකාරිත්වය වැදගත් භූමිකාවක් කරනවා.

පර්යේෂණවලදී සොයාගන්නා ලද ගැටලුකාරී ප්‍රතිඵල කීපයක් මා ඔබ හමුවේ තබන්නම්. විශ්වාස කරන්න, පිරිමින්ගේත්, ගැහැණුන්ගේත් ලිංගික ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත් වන වෛද්‍යවරයකු ලෙස මා දැක තිබෙනවා මෙම පර්යේෂණ ප්‍රතිඵල මගේ එදිනෙදා කටයුතුවලදී ඔප්පු වන ආකාරය. එක සහකරුවකු / සහකාරියක සමග ගෙවන විවාහ දිවියේ කාලය වැඩි වන විට ලිංගික ආශාවේ අඩුවීමක් දකින්නට ලැබෙනවා. එක ම පිරිමියකු සමග එකතු වන කාන්තාවන්ගේ ලිංගික ආශාවන් එවැනි පිරිමින්ගේ ලිංගික ආශාවන් පහත වැටෙනවාට වඩා වේගයෙන් පහත වැටෙනවා. ආර්තවහරණයේ හෝමෝන වෙනස්කම්වල බලපෑම පවා වෙනත් සහකරුවකුගේ ඇසුර සමග යටපත් වන්නට පුළුවන්.

ශ්‍රී ලංකාවේ වියපත් වන කාන්තාවන්ට මෙම පර්යේෂණ සොයාගැනීම්වලින් වාසියක් සිදු වේ ද යන්න පිළිබඳ සාකච්ඡාවක් පවතිනවා. ලිංගික ප්‍රතිචාර චක්‍රයේ ප්‍රධාන අංගය වන්නේ භාවමය සමීපභාවයයි. වයස මෙන් ම ඇතැම් ලිංගික අවයව තරුණ කාලයේදී තරම් ක්‍රියාකාරී නොවද්දීත් වයස අවුරුදු 65, 75 වැනි කාලයේදී පවා මෙම භාවමය සම්බන්ධය ඉතා ප්‍රබලයි.

පිරිමි සහකරුවාගේ ලිංගිකාශාව නැති වීම, ශිශ්නය ප්‍රාණවත් වීම පිළිබඳ ගැටලු ආදිය නිසා හෝ සහකරුවකු නැතිකම නිසා බොහෝ කාන්තාවන් ද ලිංගික වශයෙන් අක්‍රිය වෙනවා. විශේෂයෙන් ම අපේ රටේ තිස් අවුරුදු යුද්ධය විසින් බොහෝ වැන්දඹුවන් නිර්මාණය කළා. කාන්තාවගේ හෝ සහකරුවාගේ හෝ අසනීප තත්වයන්හිදීත්, සම්බන්ධතාවන්ගේ භාවමය තුලනය වෙනස් වෙනවා. කාන්තාවන් ගැබ්ගෙල පිළිකා සහ පියයුරු පිළිකා ගැන සැලකිලිමත් වීමත් ඉතා වැදගත් වන්නේ ඒ නිසායි.

ආර්තවහරණය සහ සෞඛ්‍යයට, ස්වයං ප්‍රතිරූපයට සහ ලිංගිකත්වයට එහි තිබෙන බලපෑම සම්බන්ධ කාන්තාවන්ගේ අදහස් විෂයෙහි සංස්කෘතික බලපෑම් තිබෙනවා. සභාවේ සිටින ඔබ පවුරු වළලු චිත්‍රපටය නරඹා ඇති. මා එහි කතාව කියන්නේ නැහැ. ඔබ ම නරඹන්න.

අලුත් මිතුරු සම්බන්ධතා, සමීපත්වයන්, ලිංගික සම්බන්ධකම් සහ සමාජ ගනුදෙනු ඇති කරගැනීමට අවස්ථා සොයා යාමේදී අපේ වියපත් වන කාන්තාවන් පසුබටයි. අපේ වියපත් වන කාන්තාවන් දන්නවා ද සම්බන්ධතා සොයාගන්නා හැටි. ඔවුන් දන්නවා ද ඒ සඳහා තිබෙන ඇප් පිළිබඳව. ඇතැමෙකු අන්තර්ජාලයට පිවිසෙන්නට දන්නේ හෝ නැහැ.

ලෝක ජනගහනය වියපත් වෙමින් සිටිනවා. වියපත් වීමේ ස්ත්‍රීකරණයක් ද තිබෙනවා. (ඒ පිළිබඳ මෙතැනින් කියවන්න – සංස්කාරක, ජනගහන වියපත් වීමේ ස්ත්‍රීකරණය යනු කුමක් ද? ) වයස් පිරමීඩය හතරැස් වෙමින් තිබෙනවා. කාන්තාවන් කරන්නට යන්නේ අධ්‍යාත්මික කටයුතු පමණක් ද? අපේ ජීවිතවලට සිදුවන්නේ කුමක් ද? ටිකක් නරක් වුණොත් මොකද? එය අපට ගැලපෙන පරිදි කරගත යුතුයි. මා දන්නවා වැඩිහිටි වියේදී භාවනා කරන්නට කැමති බොහෝ කාන්තාවන්. ජනගහනය වෙනස් වෙනවා. රට වෙනස් වෙනවා. අපේ කාන්තාවන්ට ස්ථිරව ව්‍යායාම කිරීම හා සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ගැන සංකල්පනා තිබෙනවා ද? පොදු ජනතාව අතර මේ වන විට නීරෝගීව ජීවත් වීම පිළිබඳ ප්‍රවර්ධනයන් සිදුවෙනවා. ඒවා ඉතා හොඳ බව තමයි අපටත් දෙන්නට තියෙන පණිවුඩය. හෝමෝන ලබා දීමේ ප්‍රතිකාර ක්‍රම හා රූපලාවන්‍ය ශල්‍යකර්ම තිබෙනවා. ඒවා ගැන දැනගත්තත්, වැඩිහිටි කාන්තාවන් කීදෙනෙකුට ඒවා ලබාගැනීමේ හැකියාව තිබෙනවා ද? අපි මෙවැනි ප්‍රශ්න ගැන සාකච්ඡා කළ යුතුයි.

මා වැඩ කරන රෝහලේදී මා හමුවන්නට එන කාන්තාවන්ගෙන් මා කරුණු විමසනවා. වයස අවුරුදු 60ට වැඩි කාන්තාවන් අතර කරන ලද කුඩා සමීක්ෂණයකින් හෙළි වූ පරිදි ඔවුන්ගෙන් 20%ක් පමණයි ලිංගික වශයෙන් සක්‍රිය. 80%ක් ම ලිංගික වශයෙන් අක්‍රියයි. එසේ වන්නට හේතුව සැමියාගේ මරණය, ආශාවන් නැතිකම සහ තමන්ගේ වයසට ලිංගික ක්‍රියා අකැප යයි බොහෝ දෙනෙකු සිතීම.

අපි සංස්කෘතිය ගැනත් සංවේදී විය යුතුයි. අපට එයින් පිට පනින්නට බැහැ. සම්බන්ධතාවන්ගේ ගුණය හා ලිංගික ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වියපත් වීමෙහි විශාල බලපෑමක් තිබෙනවා. වියපත් වන ජනගහනයේ ලිංගික හා සංස්කෘතික කාරණා පිළිබඳ සංවාදයක් ආරම්භ කරන්න. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගුරුවරියක ලෙස මට කිව හැකි කරුණක් වන්නේ අප මේ වන විට සෑම විශ්වවිද්‍යාලයක ම තරුණ වෛද්‍ය උපාධි අපේක්ෂකයන්ට අපි වැඩිහිටි වියේ මනෝ වෛද්‍ය විද්‍යාව උගන්වනවා. වියපත් වන කාන්තාවන්ගේ ලිංගිකත්වය පිළිබඳ සංවාදයක් ආරම්භ කිරීමට අපි ඔවුන් උනන්දු කළ යුතුයි.

සමීක්ෂණ සඳහා දත්ත එකතු කරන්නට ක්ෂේත්‍රයට ගිය විට, වයස අවුරුදු 60ට වැඩි බොහෝ කාන්තාවන් කියන්නේ ‘අනේ අපේ මේ වයසට මොන ලිංගික ක්‍රියා ද?’ කියායි. ඒ තමයි අපේ සංස්කෘතියේ හැටි. වෛද්‍යවරුන් වන අපටත්, ප්‍රතිපත්ති සම්පාදකයන්ටත් මෙය ඉතා සංවේදී ප්‍රශ්නයක් බව නොතකා හරින්නට බැහැ. වෛද්‍යවරුන් සංස්කෘතික වශයෙන් කාර්යක්ෂම විය යුතුයි. ඉහළ මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනයේදී, වියපත් වන කාන්තාවන්ගේ ලිංගික කාරණා පිළිබඳ අප නැවත සිතා අර්ථ නිරූපණ කළ යුතුයි. ඒ නිසා ඒ ගැන සංවාදයකට මා සංසදය විවෘත කරනවා.

පරිවර්තනය: අජිත් පැරකුම් ජයසිංහ

Leave comment

Your email address will not be published. Required fields are marked with *.