අජිත් පැරකුම් ජයසිංහ

මේ වන විට ශ්‍රී ලංකාව තුළ ජාතිවාදය අන් කිසිදු කලකටත් වඩා උපරිම තලයකට පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකි ය. මෙතරම් ජාතිවාදී ප්‍ර‍වණතා තිස් අවුරුදු යුද සමයේ හෝ තිබුණා ද යන්න සැක සහිත ය.

(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
Sinhala Tamil English Translations and Content Writing

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ තිස් අවුරුදු සටන ආරම්භ වූයේ 1980 දශකයේදී පමණ මුත්, එම සටනට හේතු වූ ජාතීන් අතර ගැටුමෙහි ආසන්න ඉතිහාසය තවත් අවුරුදු 30ක් පමණ පසුපසට 1950 දශකය දක්වා දිවේ. එම ප්‍ර‍ශ්නය තවමත් අවසන් වී නැත. එහෙත්, යුද්ධයේ පරාජයත් සමග දෙමළ ජාතිවාදයේ පසුබැස්මක් ද සිදු විය.

අතීතකාමය මිස නූතන ජයග්‍ර‍හණ නැති සිංහල ජාතිවාදයට පැවැත්මක් තිබෙන්නේ බලවත් සතුරකු සිටින්නේ නම් පමණක් බව ප්‍ර‍ත්‍යක්ෂ කරමින් සිංහල ජාතිවාදය ඉන්පසු මුස්ලිම් ජනයා පසුපස හඹා යන්නට පටන් ගත්තේ ය. යුද්ධයෙන් පසු මාවනැල්ල, අලුත්ගම, අම්පාර, දිගන වැනි ස්ථාන ගණනාවක සිදු වූ මුස්ලිම් විරෝධී ප්‍ර‍චණ්ඩත්වය සමග ඉස්ලාම් අන්තවාදයට සරු පසක් සිංහල හා ජාතිවාදීන්ගේ අන්‍යෝන්‍ය අනියම් සහයෝගයෙන් නිර්මාණය කරගන්නා ලදී. අප්‍රේල් 21 දින ඉස්ලාම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍ර‍හාර මාලාව මෙහි සන්ධිස්ථානයකි. ඉන් අනතුරුව සිංහල ජාතිවාදය නව වටයකින් නැගී සිටිමින් අඛණ්ඩව මුස්ලිම් විරෝධී ප්‍ර‍හාර එල්ල කරමින් සිටියි.

මිනුවන්ගොඩ නගරය ඇතුළු ස්ථාන ගණනාවක මුස්ලිම් ව්‍යාපාරවලට පහර දීම, කුරුණෑගල දොස්තර ශාෆි සිද්ධිය හා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීම මෙහි සැලකිය යුතු සන්ධිස්ථානයන් ය. සිංහල ජාතිවාදීන් මෙම පීඩනය සාධාරණීකරණය කරන්නේ ඉස්ලාම් අන්තවාදය යටපත් කර තබාගැනීම සඳහා අවශ්‍ය තත්වයක් ලෙස ය. ව්‍යාපාරික තරගකාරිත්වය නිසා මෙම ජාතිවාදී ව්‍යාපාරයට දිරි දෙන මුදලාලිලා පිරිසක් ද සිටිති. විහිළු සහගත තත්වයක් වන්නේ මැදපෙරදිග මුස්ලිම් පවුල්වලට සේවය කිරීම සඳහා ගෘහ සේවිකාවන් ලෙස ලාංකික කාන්තාවන් අපනයනය කරන රැකියා නියෝජිතායතන අතර පවා ජාතිවාදය ව්‍යාප්ත වීමයි.

මෙම ජාතිවාදී ප්‍ර‍වණතා ප්‍ර‍වර්ධනය කරන පිරිස් අතර දේශපාලනික උවමනාවන් මත කටයුතු කරන අතුරලියේ රතන, ගලගොඩඅත්තේ ඥානසාර වැනි භික්ෂූන් පමණක් නොව අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඥානරතන හිමි ද, මැල්කම් කාදිනල් රංජිත් කුරේ පවා සිටීම ද මින් පෙර නොවූ විරූ තත්වයකි.

තවමත් කිසිදු චෝදනාවක් ඔප්පු නොවූ, චෝදනා ගොනුකිරීමක්වත් සිදු නොවූ, දිවයින පුවත්පතේ සාක්ෂි මත පදනම් නොවූ කතාවක් හා ඊ්ර්ෂ්‍යා පරවශ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් නීති විරෝධී අයුරින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින, වෛරී මාධ්‍යවල හා පුද්ගලයන්ගේ උවමනාව පරිදි පැමිණිලි එක්රැස් කරමින් තිබෙන කුරුණෑගල රෝහලේ දොස්තර ෂාෆි සම්බන්ධයෙන් උක්ත මහනාහිමි පවසන්නේ මෙසේ ය:

“ඔය වගේ ජාති ද්‍රෝහීන්ට නිදහසේ ඉන්න දෙන්න හොඳ නැහැ. උපාසකම්මලා වගයක් කිව්වා ගල් ගහලා මරන්න ඕනේ කියලා. මම එහෙම කියන්නේ නෑ. නමුත් කළ යුත්තේ ඒක තමයි.”

මුස්ලිම් වෙළඳාම් වර්ජනය කළ යුතු බව කියමින් අස්ගිරි නාහිමි පැවසුවේ “මමත් කියනවා මුස්ලිම් කඩවලට යන්න එපා. ඒ කඩවලින් කන්න බොන්න එපා,” කියා ය.

මෙම ප්‍රකාශ ඉතා පැහැදිලිව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ගැනෙන වැරදි යටතට වැටේ. මෙම පනත අනුව, කිසිදු පුද්ගලයකු යුද්ධය හෝ ජාතික, වාර්ගික, ආගමික වෛරය හෝ වෙනස්කම් කිරීමකට, එදිරිවාදිත්වයට හෝ ප්‍රචණ්ඩත්වයට පෙළඹවීමක් ඇති වන පරිදි ප්‍රචාරය නොකළ යුතු ය. ලේඛන ශක්තික සත්කුමාරට එරෙහිව චෝදනා සිදු කරන්නේ ද මෙම පනත යටතේ ය. එහෙත්, මහ නායක හිමිවරයකුගේ මෙවැනි ඍජු නීති විරෝධී ක්‍රියාවකට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන්නට තරම් මේ යුගය වන විට රජය, පොලිසිය හෝ අධිකරණය ශක්තිමත් නැති බව පැහැදිලි ය.

එය එක පැත්තකින් නීතියේ ආධිපත්‍යය නායයාමකි. වෙනදා නම් ක්‍ර‍ම විරෝධී වීම පිළිබඳ චෝදනාව ලැබුවේ විප්ලවවාදී ව්‍යාපාර හා ජාතික විමුක්ති ව්‍යාපාරයි. අද වන විට රටේ ජනාධිපතිවරයා, අධිපති ජාතික ප්‍ර‍ජාව වන සිංහල බෞද්ධයන්ගේ ආගමික නායකයන් ආදීන් පවා ක්‍ර‍ම විරෝධීන් බවට පත් වී ප්‍ර‍කාශ කරති: කටයුතු කරති.

මේ සියල්ලෙන් ප්‍ර‍කාශ වන්නේ බරපතල අරාජිකත්වයකි. ජාතිවාදය මේ වන විට ආර්ථිකයට ද සැලකිය යුතු බලපෑමක් කර තිබේ. ජාතිවාදී පදනමින් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමෙහි හානිය මුස්ලිම්වරුන්ට මෙන් ම සමස්ත රටට ම දැනෙන්නට පටන් ගෙන තිබේ. මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුවේ පිහිටි සෙම්බුවත්ත නම් සංචාරක ආකර්ශනය නිදසුනකි. මෙම ස්ථානය ආදම්ගේ පා සටහනක් ඇති ස්ථානයක් ය යන විශ්වාසය මත විදෙස් රටවලිනුත්, ශ්‍රී ලංකාව තුළිනුත් විශාල මුස්ලිම් සංචාරක පිරිසක් පැමිණි මෙම සෙම්බුවත්ත දැන් පාළු වී ගොසිනි. එයින් වැඩි ම බලපෑම සිදුවන්නේ ඒ ආශ්‍රිත ආර්ථික ක්‍රියාකාරකම්වල යෙදුණු සිංහල ව්‍යාපාරිකයන්ට ම ය. සමස්තයක් ලෙස ම සංචාරක කර්මාන්තයේ බරපතල කඩාවැටීමක් සිදු වී තිබේ. ඒ හා බැඳුණු ජන ජීවිතවලට එයින් සිදු වී තිබෙන හානිය සුළුපටු නොවේ.

ඇතැම් ආනයන භාණ්ඩ සම්බන්ධයෙන් ගැටලු මතු වී තිබේ. එසේ ම ඇතැම් අපනයන භාණ්ඩවල මිළ පහළ වැටී ඇත. මුස්ලිම් වෙළඳුන් ජාතිවාදයෙන් පසුබස්වාගත හැකි වුණත්, ඔවුන්ගේ ව්‍යාපාරික නිපුණත්වය ප්‍ර‍තිස්ථාපනය කිරීමට සිංහල ව්‍යාපාරිකයන් සමත් වී නැත. ජාතිවාදය නිසා ආර්ථිකයට සිදු වී තිබෙන බලපෑම සමාජය තවමත් විද්‍යාත්මකව විශ්ලේෂණය කරගෙන ද නැත.

ජනතා ප්‍ර‍ශ්න විසඳීමට මාර්ග නොදත්, ඒ වෙනුවෙන් ඇපකැප වෙනවාට වඩා තම සුඛ විහරණය ගැන සිතන ලාංකික බලලෝභී, ධනයට කෑදර, දූෂිත දේශපාලනඥයන් අත නැවත නැවතත් තොරොම්බල් වනු ඇත්තේ ජාතිවාදය ම ය. මෙම තත්වය තුළ ඉච්ඡා භංගත්වයට පත් වන පිරිස් සහ විශේෂයෙන් ම අපේක්ෂා භංග වූ තරුණ පරපුර ආකර්ෂණය කරගැනීම සඳහා අලුත් සටන් පාඨ ද කරළියට එමින් ඇත. කවුරුවත් හරියට නොදන්නා බෞද්ධ රාජ්‍යය එවැනි තරුණයන් බාගන්නට අටවාගෙන යන අලුත් ම කෙමනකි.

අපේක්ෂා භංගත්වය සංකේතාත්මකව නිරූපණය කරන ඇතැම් පෙර නොවූ විරූ සිදුවීම් සිදුවෙමින් තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමයේ, විජයපුර, ගෝනගමුවේ මාස 11ක් වයස දරුවකු මන්දපෝෂණයෙන් මියගොස් ඇති බව දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිශ්චන්ද්‍ර‍ මහතා පවසයි. මෙම පුවත වාර්තා කළ දෙරණ මාධ්‍යකරුවාගේ කැමරාවේ සටහන් වී තිබෙන ආකාරයට මෙම පවුල ඉතා දිළිඳු බව පැහැදිලි ය. එම දරුවාගේ මව ද මන්දපෝෂණයෙන් පෙළෙන බව පෙනේ.

ජාතිය වෙනුවෙන් දරුවන් හැදිය යුතු කතාවක් මෙම පියා කියා තිබෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. ජාතිය ගොඩනගන්නට දරුවන් වැඩි වැඩියෙන් හදන්නැයි මිනිසුන්ට කියන ජාතිවාදීන්ට මෙම සිංහල සිව් දරු පවුල නොපෙනුණේත්, ඔවුන්ට කිසිදු උපකාරයක් නොකළේත් ඇයි?

එමෙන්ම, මෙම දරුවා මන්දපෝෂණයෙන් මිය යනතුරු එම දරුවා සම්බන්ධයෙන් ඍජුව ම වගකිව යුතු පවුල් සෞඛ්‍ය නිලධාරිනිය, ඇගේ සුපරීක්ෂකවරිය, පවුල් සෞඛ්‍ය හෙද සොහොයුරිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හා ඔහු යටතේ සිටින සෙසු නිලධාරීන්, රෝහල් කාර්යමණ්ඩල, ග්‍රාමසේවා නිලධාරිවරයා, සමාජ සේවා නිලධාරි ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින විශාල ගණනක් නිලධාරීන් ද ප්‍රදේශයේ ක්‍රියාත්මක ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන හා ලෝක සෞඛ්‍ය සංවිධානය ද කළේ කුමක් ද යන්න ප්‍ර‍ශ්නයකි.

පසුගිය සතියේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසලදී සිය 12 සහ අට හැවිරිදි දරුවන් දෙදෙනා සමග 32 හැවිරිදි මවක දුම්රියට පැන සියදිවි නසාගැනීමේ සිද්ධියට හේතුව ලෙස ඇගේ ලිපියකින් හෙළිදරව් වන්නේ ආර්ථික අපහසුතා, අසනීප ආදිය නිසා ඇති වන අසහනකාරී තත්වයකි.

ණය බර, නිෂ්පාදනය සංවර්ධනය නොවීම, රකියා උත්පාදනය නොවීම, අධ්‍යාපනික ප්‍ර‍ශ්න, මන්දපෝෂණය, දුගීබව, නූගත්කම ආදී ප්‍ර‍ශ්නවලට විසඳුම් සොයාගැනීම සඳහා වේගවත් සංවර්ධනයක් සමග නැගිටීම අවශ්‍යව තිබෙන ශ්‍රී ලංකාව නැවත නැවතත් ජාතිවාදයේ පැටලෙමින් ඇද වැටීම බරපතල ජාතික ව්‍යවසනයකි.

මෙම තත්වය තුළ ප්‍ර‍ධාන ධාරාවේ සියලු දේශපාලනඥයන් ජාතිවාදය සමග විවිධ ඩීල් දමනු ඇත. අපට අවශ්‍ය වන්නේ එවැන්නන් නොව ජාතිවාදයට එරෙහිව අභීතව නැගිටීමට සූදානම් ධෛර්යසම්පන්න දේශපාලන ව්‍යාපාරයකි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.