Cartoon on Shakthika Sathkumara by Ajith Perakum Jayasinghe

– ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත හෙවත් ICCPR පනත සියලු මානව හිමිකම් එක සමාන බවත්, එම මානව හිමිකම් කඩවීමකට යටත් වන සියලූ දෙනාටම එක සේ සැලකිය යුතු බවත් යන මූලික නෛතික අයිතිවාසිකම මග හැර ඇති බව ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.

(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
Sinhala Tamil English Translations and Content Writing

එම පනතින් කරනු ලබන්නේ එහි අංක 3 දරන ඡේදය, එනම් යම් කෙනෙකු යුද්ධය පිළිබඳව ප‍්‍රචාරයේ යෙදීම හෝ ජාතික, වාර්ගික හෝ ආගමික වෛරයක් පැතිරවීම මගින් උසි ගැන්වීමක් හෝ අන් ආකාරයක සැලකීමක්, එකිනෙකාට විරුද්ධත්වයක් දැක්වීමක් හෝ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවක් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් සේ ප‍්‍රකාශ කිරීම ය. එසේ කරන හෝ එසේ කිීරීමට ප‍්‍රයත්නයක් දරන හෝ එවැනි ක‍්‍රියාවකට අනුබල දීමක් කරන හෝ එවැනි ක‍්‍රියාවක් කරන බවට තර්ජනය කරන  ඕනෑම කෙනෙකු එම වරදට වැරදිකරු වුවහොත් ඔහුට විරුද්ධව අවුරුදු 10ට නොවැඩි හිර දඩුවමක් නියම කළ හැකි බවත් එවැනි අයෙකුට ඇප දීම කළ හැක්කේ මහාධිකරණයකදී පමණක් බවත් ප‍්‍රකාශයට පත් කොට ඇත.

මෙයින් පැන නැගෙන කරුණු රාශියක් ඇති බව ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය පවසයි. “ඉහත සඳහන් අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ කුමන ආකාරයටද යන්න මුල් ප‍්‍රශ්නයයි. ලංකාවේ සිදුවන  ඕනෑම අපරාධයක් පිළිබඳව පරීක්ෂණ කිරීමේ බලය ඇත්තේ අපරාධ නඩු විධිවිධාන පනතේ එන විධික‍්‍රමයන් යටතේ පමණි. එම විධික‍්‍රමය යටතේ යම් අපරාධයක් කිරීම පිළිබඳව පැමිණිල්ලක් පොලිසියකට ලැබුනහොත් ඒ ගැන පරීක්ෂණය කරන ආකාරය අපරාධ නඩු විධිවිධාන පනත යටතේ ඉතා පැහැදිලිව ප‍්‍රකාශයට පත් කොට ඇත.

“පළමුවෙන්ම කළ යුතු වන්නේ මෙම පැමිණිල්ල පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම ය. පරීක්ෂණය පැවැත්වීමේ වගකීම පැමිණිල්ල ලැබෙන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙත පැවරේ. මොනයම් අපරාධයක් පිළිබඳවවත් පරීක්ෂණයකින් තොරව නඩු දැමීමේ අයිතියක් හෝ අත්අඩංගුවට ගැනීමේ අයිතියක් කිසිම පොලිසියකට ඇත්තේ නැත.

 “පරීක්ෂණය පැවැත්වීමට පෙර පොලිස් ස්ථානාධිපතිවරයා තමන් වෙත ලැබී ඇති පැමිණිල්ල මත පරීක්ෂණයක් පැවැත්වීමට තරම් කරුණක් හෙළිදරව් වීද නැද්ද යන්න සෑහීමකට පත්විය යුතුය. එම අපරාධයට අඩංගු කරුණු මොනවාද එම කරුණු තුළින් අපරාධ කිරීමේ හෝ අපරාධය කිරීමට තැත් කිරීමේ හෝ එම අපරාධයට අනුබල දීමේ හෝ එම අපරාධය කරන බවට තර්ජනය කිරීමේ හෝ ආදී කරුණු පවතිනවා ද යන්න ගැන ඔහු සෑහීමකට පත් විය යුතු ය. එසේ සෑහීමකට පත් වීමේදී ඔහු සලකා බැලිය යුතු ප‍්‍රධාන කරුණ නම් යුද්ධයක් පිළිබඳව ප‍්‍රචාරය කිරීම හෝ ආගමික වෛරයක් ඇති කිරීමට උසිගැන්වීමක් හා වෙනස් ආකාරයකට සැලකීමක් මගින් තරහක් හෝ ප‍්‍රචණ්ඩත්වයක් ඇති කර ඇත් ද යන්න සලකා බැලිය යුතු ය. උදාහරණයක් වශයෙන් යම් ආගමක් පිළිබඳව වෛරයක් ඇති කිරීම යන්න පැමිණිලි කරුවන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල නම් පොලිස් පරීක්ෂකවරයාගේ යුතුකම වන්නේ එවැනි වෛරයක් ඇති කරන කිසියම් කි‍්‍රයාවක් කර හෝ කිරීමට ප‍්‍රයත්න දරා හෝ කිරීමට අනුබල දී හෝ කරන බවට තර්ජනය කර තිබේද යන්න සොයා බැලීමය.

“මෙය සලකා බැලීමේදී ICCPR ජාත්‍යන්තර ප‍්‍රකාශනයේ වගන්ති අනුව ඇති වෙනත් අයිතිවාසිකම් හා පැමිණිල්ලේ කර ඇති ප‍්‍රකාශ අතර ගැටීමක් පවතිනවා ද යන්න පරීක්ෂකවරයා සොයා බැලිය යුතු ය. උදාහරණයක් වශයෙන් ICCPR ජාත්‍යන්තර ප‍්‍රකාශනයේ ඉතා කේන්ද්‍රීය අයිතිවාසිකමක් වන්නේ ප‍්‍රකාශනයට ඇති අයිතියයි. ප‍්‍රකාශනයට ඇති අයිතිය සමාජයේ සාධනීය වෙනස් කම් ඇති කර ගැනීමටත් සමාජය තුළ එහි පවතින ගැටලු පිළිබඳව වැඩි අවබෝධයක් කරා ඒමටත් මෙන්ම අදාල වෙනස්කම් කර ගැනීමටත් ඉතා බලවත් සාධකයක් ද වේ. එම නිසා පැමිණිලිකරුවන්ගේ පැමිණිල්ලක් තුළින් එම ප‍්‍රකාශන අයිතියට හෝ වෙනත් ජාත්‍යන්තරව පිළිගෙන ඇති අයිතිවාසිකම්වලට ගැටීමක් පවතිනවා ද යන්න පොලිස් පරීක්ෂකරයා විසින් සලකා බැලිය යුතුය.”

මේ ඔස්සේ කරුණු දක්වන ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය පවසන්නේ විශේෂයෙන්ම නිර්මාණාත්මක ප‍්‍රකාශනයන් පිළිබඳ විශේෂ අයිතිවාසිකම් ඇති බවයි. නිර්මාණාත්මක සාහිත්‍යය තුළ පවතින සාකච්ඡාව බොහෝ දුරට මන:කල්පිත සාකච්ඡාවක් මිස හුදු වාර්තාකරණයක් නොවන බව ආසියානු මානව හිමිකම් කේන්ද්‍රයේ අදහසයි.

ලෝකයේ සාහිත්‍ය කෘතීන් අතර විවිධාකරයෙන් ඒ ඒ කාල වල පැවතී ඇති ආගමික මතයන් පිළිබඳව ගැඹුරු සාකච්ඡා මතු කර ඇති බවත්, ඒ සියල්ල අපරාධ ලෙස සලකා එම කලාකෘතීන් කළ පුද්ගලයන් සිරගත කිරීම්වලට ලක්වූවා නම් අද ලෝක සාහිත්‍යය යැයි කිමට තරම් දෙයක් ඉතිරි නොවීමට ඉඩ තිබුණු බවත් ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.

ICCPR පනතේ 3 වන වගන්තිය යටතේ පරීක්ෂණයක් කරන පොලිස් පරීක්ෂකවරුන් වෙත පැවරෙන්නේ ඉතාම බැරෑරුම් කාර්යයකි. ඔවුන් වෛරය පැතිරවීම යන්නෙන් කුමන අදහසක් කියවේද නැද්ද යන්න තෝරා බේරා ගත යුතු ය.

අනෙක් අතට සමාජය තුළ නිර්මාණාත්මක කෘතීන් බිහි වීමත් එම කෘතීන් මගින් බුද්ධිය උද්දීපනය වීමත් එමගින් එකිනෙකා කෙරෙහි ඇති වන අන්‍යෝන්‍ය අවබෝධයත් ඒ තුළින් සමාජයේ විිවිධාකාර වෙනස්කම් ඇති කරගැනීමත් යන්න වෙනම කරුණකි. පොලිස් පරීක්ෂකවරුන් මේ පිළිබඳව ස්වාධීන තීරණ ගත යුතු අතර හුදෙක් පෙත්සමක් ඉදිරිපත් කළ පළියට කෙනෙකු අත්අඩංගුවට ගන්නේ නම් එම පොලිස් පරීක්ෂකයන් විසින් කරනු ලබන්නේ නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම හා රඳවා ගැනීම යන බරපතල අපරාධයන් බව ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.

මීළඟ කොටස මෙතනින් ලංකාවේ ICCPR පනතේ ගැටලු මොනවා ද? (2) >>

Leave comment

Your email address will not be published. Required fields are marked with *.