අජිත් පැරකුම් ජයසිංහ (2019 මැයි 5දා ලංකා පුවත්පතේ ද පළ විය)

පකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ඉරානය වැනි රටවලින් පැමිණි 800කට වැඩි සරණාගතයන් ඔවුන්ට සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් වෙනත් රටවල දේශපාලන රැකවරණ ලබා දෙන තෙක් ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඔවුන් වැඩි පිරිසක් රැඳී සිටියේ මීගමුවේයි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් පසු ඔවුන්ට තර්ජන එල්ල වුණා. එබැවින් ඔවුන් මුස්ලිම් බහුතරයක් ජීවත් වන තිහාරිය ප්‍රදේශයට ගෙන එනු ලැබුවා. ඔවුන් අතරින් ඇතැමෙක් වසර 10කටත් වැඩි කාලයක් තිස්සේ සරණාගතයන්.

(ලිපිය දැන්වීමෙන් පසු)
Media and Social Entrepreneur

ලංකාවට පැමිණි පසු වීසා ලබා ගැනීම සඳහා ලක් රජය විසින් විදෙස් සංචාරකයන්ට ලබා දී තිබෙන ඔන් එරයිවල් වීසා පහසුකම පකිස්තාන ජාතිකයන්ට තව දුරටත් ලබා නො දීමට 2014 ජුලි මාසයේ ආණ්ඩුව තීරණය කළා.

පකිස්තාන ජාතිකයන් වෙනුවෙන් මෙම පහසුකම අවලංගු කිරීමට හේතු වුණ කාරණාවක් වුණේ ලංකාවේ මේ වන විට සිටින පකිස්තානු සරණාගතයෝයි. 1500කට වැඩි පකිස්තානු සරණාගතයින් පිරිසක් ඒ වකවානුවේ ලංකාවේ සිටියා. ඔවුන් සංචාරකයින් ලෙස මෙරටට පැමිණි අයයි. ඔවුන් පසුව ලංකාවේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචිය ලබාගෙන තිබෙනවා. ඔවුන්ගේ දේශපාලන රැකවරණ ඉල්ලීම් සලකා බැලෙමින් තිබෙනවා. සංවර්ධිත බටහිර රටක දේශපාලන රැකවරණ ලැබෙන තෙක් මේ පකිස්තානුවන් ඇතැම් විට වසර ගණනක් ලංකාවේ රැඳී සිටිනවා. ඔවුන් පවුල් පිටින්, කුලී නිවාසවල දුක සේ ජීවත් වෙනවා. ඔවුන්ට එතරම් කලක් ලංකාවේ ඉන්නට සිදු වී තිබෙන්නේ මෙරට එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලයට එතරම් විශාල පුද්ගලයන් ප්‍රමාණයක් පිළිබඳ කටයුතු කිරීමට පහසුකම් නැති නිසායි.

ලංකාව සරණාගතයන්ට රැකවරණ දීමේ සම්මුති අත්සන් කර නැති වුණත්, සරණාගතයන් සම්බන්ධයෙන් සානුකම්පිත වීමේ ජාත්‍යන්තර වගකීමක් ලංකාවට තිබෙනවා. ශ්‍රී ලංකාව සරණාගතයන්ගේ තත්වය පිළිබඳ 1951 සම්මුතිය සහ සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාට දේශපාලන රැකවරණ සොයන්නන් පිළිබඳ කටයුතු කිරීමට බලය පැවරෙන 1967 ප්‍රොටොකෝලය ක්‍රියාත්මක කර නැහැ.

1948 අංක 20 දරණ ‘ආගමික හා විගාමික පනත’ අනුව ලංකාවේ රජයට කිසිම පුද්ගලයෙකුට ස්ථිර පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය ලබාදීමට නීතිමය හැකියාවක් ලංකාවේ නැහැ. මෙම නීතිය කොතරම් බලවත් ද යන්නේ නම්, ලංකාවේ පුරවැසියෙකු විදේශිය පුරවැසියකු සමග විවාහ වුව ද එම විදේශ පුරවැසියාට හිමිවන්නේ ද කලත්‍රයාගේ වීසා බලපත්‍ර‍යක් පමණි. පුරවැසිභාවය ලැබෙන්නේ නැත.

මේ පකිස්තාන් සරණාගතයන් කියන්නේ තමන් ලංකාවට පැමිණ සිටින්නේ එරට සුන්නි මුස්ලිම් අන්තවාදීන්ගෙන් බේ‍රෙන්නට ය කියායි. මේ පකිස්තානුවන්ගෙන් වැඩි දෙනෙක් අයත් වන්නේ අහමදියා නම් ඉස්ලාම් නිකායකටයි. පකිස්තාන ක්‍රිස්තියානි බැතිමතුන් ද සරණාගතයන් අතර සිටිනවා. 

අහමදියා මුස්ලිම්වරු කියන්නේ දහනමවන සියවස අගභාගයේදී බ්‍රිතාන්‍යයට යටත් ඉන්දියාවේ විසූ මිර්සා ගුලාම් අහමඩ් (1835–1908) විසින් කරන ලද දේශනාව අනුගමනය කරන ප්‍රජාවක්. අහමඩ් දේශනා කළ පරිදි ඔහු තමයි මුස්ලිම්වරුන් බලාපොරොත්තුවෙන් සිටින ගැලවුම්කාර මහ්දිවරයා. අහමදියාවරුන් විශ්වාස කරන පරිදි ගුලාම් අහමඩ් යනු ආගමික යුද්ධ හා ලේ හැලීම් අවසන් කර සාමය, යුක්තිය හා සදාචාරය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා දෙවියන් විසින් එවන ලද දූතයෙකි. 

තමන් ඉස්ලාම් ආගම එහි සැබෑ අරුතින් පිළිපදින පිරිසක් බව අහමදියා මුස්ලිම්වරු විශ්වාස කරනවා. ඔවුන් සාමකාමී ප්‍රජාවක්. එහෙත්, ඔවුන්ගේ ඇතැම් භාවිතාවන් සම්ප්‍රදායික ඉස්ලාම් දහම සමග නො පෑහීම නිසා ඔවුන් නිරතුරුව ම සම්ප්‍රදායික ඉස්ලාම් බැතිමතුන්ගේ විරෝධයට ලක් වී තිබෙනවා. 

අහමඩ්ගේ මරණින් පසු අහමදියා ව්‍යාපාරය කොටස් දෙකකට බෙදුණා. එක් පිරිසක් අහමඩ් යනු මහමත්තුමාගේ අනුප්‍රාප්තිකයකු ලෙස පිළි ගනිද්දී අනෙක් පිරිස කියන්නේ මහමත්තුමාට අනුප්‍රාප්තිකයකු සිටිය නො හැකි බවයි. 

කෙසේ වෙතත්, අහමදියා ව්‍යාපාරය ලොව පුරා පැතිර තිබෙනවා. හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන පරිදි ලොව පුරා අහමදියා අනුගාමිකයන් මිලියන 10ක් සිටිනවා. 

පකිස්තානයේදී හා සවුදි අරාබියේදී අහමදියාවරුන් නීත්‍යානුකූලව මුස්ලිම්වරුන් ලෙස සලකන්නේ නැහැ. ඔවුන්ට හජ් වන්දනාව සඳහා අවස්ථාව ලැබෙන්නේ නැහැ. 

පකිස්තානයේ අහමදියා ජනගහණය මිලියන දෙකත් පහත් අතර වෙනවා. පකිස්තාන පාර්ලිමේන්තුව 1974දී සමමත කළ නීතියක් අනුව මහමත්තුමා අවසාන නබිවරයා ලෙස නො පිළිගන්නා අය මුස්ලිම්වරුන් ලෙස සැලකෙන්නේ නැහැ. සියා උල් හක් හමුදා පාලකයාගේ සමයේ ගෙන එන ලද නීති අනුව අහමදියාවරුන්ට ආගම ඇදහීමේ නිදහස අහිමි කර තිබෙනවා. ඔවුන්ට කුරාන් පාඨ කීම, යාඥා කිරීම පවා තහනම්. පකිස්තානුවන් ජාතික හැඳුනුම්පත් හා විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීමේදී අහමද් යනු නබිවරයකු යයි නො පිළිගන්නා බවට හා අහමදියා යනු මුස්ලිම්වරුන් නො වන බවට දිවුරුමක් දිය යුතුයි.   

(ලිපිය දැන්වීමෙන් පසු)
Sinhala Tamil English Translations and Content Writing

භෞතික විද්‍යාව සඳහා නොබෙල් තෑග්ග දිනූ අබ්දුස් සලාම් නොබෙල් තෑග්ග දිනූ පළමු මුස්ලිම් ජාතිකයා සේ ම පකිස්තානුවාත් වෙනවා. ඒත්, පකිස්තානය ඔහුගේ සොහොන් කොතේ ඔහු මුස්ලිම්වරයකු ලෙස තිබූ සඳහන ඉවත් කළා. එසේ කළේ ඔහු අහමදියා බැතිමතකු නිසායි. 

අහමදියා මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාර පකිස්තානයේ ඉතා සුලබයි. 2010 මැයි 28දා සිකුරාදා යාඥා මෙහෙයන් අතරතුරදී අන්තවාදීන් පිරිසක් විසින් අහමදියා මුස්ලිම් පල්ලිවලට එල්ල කරන ලද ප්‍රහාරවලින් 94දෙනෙකු මිය ගොස් 100කට අධික පිරිසක් තුවාල ලැබුවා. පකිස්තානයේ ඇතැම් මද්රසා ආගමික පාසල්වල අහමදියාවරුන් දුටු තැන මරා දැමිය යුතු බවට ඉගැන්වෙන්නේ යයි ලංකාවේ ජීවත් වන අහමදියා සරණාගතයෝ පවසනවා. 

ලංකාවේත් 1915 සිට අහමදියා මුස්ලිම් ප්‍රජාවක් තිබෙනවා. කොළඹ හා මීගමුවේ ඔවුන්ගේ පල්ලි ද පිහිටා තිබෙනවා. ලංකාවේත් සම්ප්‍රදායික ඉස්ලාම්වරු අහමදියාවරුන්ව මුස්ලිමුන් ලෙස සලකන්නේ නැහැ. 

ලංකාවේ රැඳී සිටිමින් සංවර්ධිත රටවල දේශපාලන රැකවරණ අපේක්ෂා කරන අහමදියා මුස්ලිම්වරුන් හා ක්‍රිස්තියානි බැතිමතුන් ව්‍යාජ හේතු ඉදිරිපත් කරන ආර්ථික සංක්‍රමණිකයන් පිරිසක් බවයි පකිස්තාන රජය පවසන්නේ. 

කෙසේ වෙතත්, මෙවැනි සරණාගතයන් ලොව පුරා බොහෝ රටවල සිටිනවා. ශ්‍රී ලාංකිකයන් ද යුරෝපය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල දේශපාලන රැකවරණ ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් මේ අන්දමින් ක්‍රියා කරනවා. ඔවුන් විදේශ සංචාරක වීසා මත වෙනත් රටකට ගොස් ඒ රටේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සඳහා වන මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචිය ලබා මේ අන්දමින් ම තමන් අපේක්ෂා කරන අන්දමේ රටක දේශපාලන රැකවරණ ලැබෙන තෙක් වීසා නොමැතිව රැඳී සිටිනවා. මහින්ද රාජපක්ෂ රජය සමයේ අප දන්නා හඳුනන වාමාංශික පිරිසක් ද මේ අන්දමින් නේපාලයේ රැඳී සිටියා. ඔවුන්ගෙන් ඇතැමෙකු 2015දී නේපාලයේ සිදු වූ භූමිකම්පාවෙන් පසු ආපසු ශ්‍රී ලංකාවට පැමිණියා.

1983 න් පසුව ලාංකිකයින් ලක්ෂ 18 කට වැඩි පිරිසකට බටහිර රාජ්‍යයන් සරණාගත තත්වයන් ලබාදී රැක බලාගෙන අති දැඩි කොට ඒ රටේ සම්පත්වලින් අපේ රටේ ඥාති හිතවතුන්ට සම්පත් සාදා දෙන්නට ද ඉඩ දී ඇත. එසේ බටහිර රටවල රැකවරණ ලබා සිටින ලාංකිකයන් විසින් ලංකාවට එවනු ලබන මුදල් අදත් මේ රටේ ආර්ථිකය උසුලා සිටීමට අත්‍යවශ්‍ය ය.

Cover photo credit: AP/Gemunu Amarasinghe

Leave comment

Your email address will not be published. Required fields are marked with *.