වතු කම්කරු දෛනික වැටුප රු. 1000 දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් විසින් අරගලයක් ආරම්භ කර තිබේ. දෙසැම්බර් මුල් සතියේදී වතු කම්කරු වර්ජනයක් ද පැවති අතර එයින් අති විශාල පාඩුවක් සිදු විය. 

Sinhala Tamil English Translations and Content Writing

දැනට දිනකට ගෙවන මුලික වැටුප වන රු. 530 සිට රු. 600 දක්වා සහ සෙසු දීමනා ද වැඩි කරමින් දෛනික වැටුප රුපියල් 940 දක්වා ඉහළ දැමීමට වැවිලිකරුවන්ගේ සංගමය එකඟ වූ බව මාධ්‍ය වාර්තා කළා. එහෙත්, එම යෝජනාව ද වතු වෘත්තීය සමිති විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ඔවුන්ගේ ඉල්ලීම රු. 1000ක මූලික වැටුපකි. තවමත් මෙම ප්‍රශ්නයට අවසන් විසඳුමක් ලැබී නැහැ.

වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් පොහොලියද්ද මාධ්‍යවලට පැවසුවේ කම්කරු ඉල්ලීම්වලට තිබෙන එක ම විසඳුම වන්නේ ඵලදායිතාව පදනම් කරගත් ක්‍රමවේදයකට යොමුවීම බවයි. ඒ අනුව, දිනකට අනිවාර්යයෙන් නෙළිය යුතු තේ දලු කිලෝ 16 – 18 ප්‍රමාණයට වැඩියෙන් නෙළන කම්කරුවන්ට ගෙවීම් කිරීමට ද සංගමය එකඟ වී තිබෙනවා.

වත්මන් ආර්ථික සංදර්භය තුළ කය වෙහෙසා වැඩ කරන කම්කරුවකු විසින් දිනකට ආහාර වශයෙන් ලබාගත යුතු 3000ක පමණ කැලරි ප්‍රමාණය සහ රෙදිපිළි, නිවාස, ජලය, බෙහෙත්, අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී සෙසු අවශ්‍යතා වෙනුවෙන් දිනකට රු. 1000ක් ප්‍රමාණවත් නොවන බවට තර්කයක් නැහැ. එහෙත්, වතු කම්කරු ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමේදී වැවිලි කර්මාන්ත ව්‍යවසායකයන්ගේ හඬට ඇහුම්කණ් නොදී සැබෑ විසඳුමක් නිර්මාණය කළ නොහැකියි. 

ව්‍යවසායකයන් පැත්තෙන් මතු කරනු ලබන තර්කය වන්නේ කම්කරුවන් ඉල්ලා සිටින වැටුප් වැඩිවීම ලබා දීම සඳහා ප්‍රමාණවත් ආදායමක් කර්මාන්තයට නැති බවයි. වතු කම්කරු වැටුප් නිසා තේ මිළ ඉහළ යාමෙන්, විදේශ වෙළඳපොළේ තරගකාරිත්වය නිසා ලංකාවේ වෙළඳපොළ බිඳවැටීමේ අවදානමක් තිබෙනවා. එයින් තේ කර්මාන්තය කඩාවැටුණහොත්, අවසාන විග්‍රහයේදී කම්කරුවන්ට පමණක් නොව රටට ම කබලෙන් ලිපට වැටෙන්නට සිදු වෙනවා. විදේශ තේ වෙළඳපොළේදී සිලෝන් ටීවලට කෙන්යාව, ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව, වියට්නාමය වැනි රටවලින් දැඩි තරගයක් එල්ල වෙනවා. 

වතු කම්කරු අරගලය සම්බන්ධයෙන් මේ වන විට ආගමික මාක්ස්වාදීන් හා සෙසු රොමැන්තික් මානුෂවාදීන් විසින් දියත් කර තිබෙන ප්‍රචාරණ හා උද්ඝෝෂණ ව්‍යාපාරයේ අලංකාරික හෙජමොනිය (rhetorical hegemony) හමුවේ විශේෂයෙන් ම මෙවැනි අවකාශවල ප්‍රශ්නයේ ඇත්ත තත්වය පිළිබඳ දයලෙක්තික සංවාදයක් මතු කරගැනීම දුෂ්කර වී තිබෙනවා.  එච්චර ලොකු වචන නැතුව සරලව කිව්වොත්, මෙහි ඇත්ත තත්වය සාකච්ඡා කරන්නට ගියොත් වාමාංශිකයන් රෙදි කරට අරගෙන නෙළන්නට එනවා.

වතු කම්කරු ප්‍රශ්නය සම්බන්ධයෙන් නාගරික මධ්‍යම පන්තිකයන්ගේ දැක්ම හැමදාමත් ගැටලුසහගතයි. ඒ වගේ ම, රොමැන්තික අලංකාරික බහුලයි. එවැනි අලංකාරික ප්‍රචාරණය සඳහා සුදුසු වුණත්, ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේදී එතරම් ප්‍රයෝජනවත් නැහැ. වතු කම්කරු ප්‍රජාව ජාතික පදනමින් දිගු කලක් තිස්සේ දැඩි අසාධාරණයකට ලක් වූ බව සත්‍යයක්. එහෙත්, වතු ජනසතුව සිදු වූ 1970 දශකයට පෙර යුගයේ උඩරට ගැමියන් වෙතින් මතු වූ වතු කම්කරු විරෝධයට එක් හේතුවක් වුණේ උඩරට ගැමියන්ගේ ආදායම් මට්ටම් හා ජීවන තත්වය වතු කම්කරුවන්ට වඩා අඩු වීමයි. භූමියේ සම්ප්‍රදායික හිමිකරුවන් ලෙස ඔවුන් මතු කළ දුක්ගැනවිල්ල එදා ප්‍රකාශ වූ එක් ප්‍රධාන දේශපාලන ව්‍යාපාරයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. 1971ට පෙර වකවානුවේදී ජවිපෙ තුළ මතු වූ ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි මතවාදයට පොහොර සැපයුවේ උඩරට ගැමියන්ගේ දුක්ගැනවිල්ලයි. 1967 දක්වා එක්සත් ජාතික පක්ෂයේ සම ලේකම්වරයකු වූ, කොළොන්න හිටපු මන්ත්‍රී සිරිල් මැතිව් 1970දී පළ කළ ‘සිංහලයාගේ අදිසි සතුරා’ නම් ජාතිවාදී පොතේ ද දත්ත සහිතව උඩරට ගැමියන්ගේ මේ විරෝධය සටහන් වෙනවා. ඒ වකවානුවේ වතු කම්කරුවන් අතර උඩරට ගැමියන්ට සාපේක්ෂව පැවති වඩා යහපත් තත්වය වතු ජනසතුවෙන් පසු හා නැවත සමාගම් වෙත දීර්ඝකාලීනව බදු දීමෙන් පසු පිරිහී යාම සඳහා හේතුභූත වූ කරුණු ගැඹුරින් අධ්‍යයනය කළ යුතුව තිබෙනවා. වතු කම්කරු ජන ජීවිතවල පරිහාණිය ජනසතුවෙන් පසු වතුවල පරිහාණියත් සමග ඍජුව ම සම්බන්ධ බව පෙනී යනවා.

ශාකමය පාන සම්බන්ධයෙන් පවතින ලෝක ප්‍රවණතා අනුව තේ වගාවේ අනාගතය අයහපත් යයි සිතන්නට හැකියාවක් නැහැ. එහෙත්, මහා පරිමාණ තේ නිෂ්පාදනයේදී ශ්‍රී ලංකාව දැඩි තරගකාරිත්වයකට මුහුණ දෙනවා. එහිදී ලාභ ශ්‍රමයට ඔවුන් කැමැත්තක් දක්වනවා. තේ වතු හිමියන් වතු කම්කරු වැටුප් සම්බන්ධයෙන් ඇඹරෙන්නට එක් හේතුවක් වන්නේ එයයි. අද වන විට වතු කම්කරු ප්‍රජාව වත්ත මත රඳා පැවතීම සීමා වෙලා. කුසලතා සහිත වතු කම්කරු තරුණ, තරුණියන් වෙනත් ක්ෂේත්‍ර වෙත යොමු වන අතර, ඔවුන්ට සපයන්නට තරම් රැකියා ද වතු සමාගම්වල නැහැ. එහෙත්, ඉඩම් හිමිකම නැතිකම හා වත්ත සමග පරම්පරා ගණනාවක් තිස්සේ බැඳී ඇති ජීවිතය වතු කම්කරු ප්‍රජාවේ සමාජ සංවර්ධනයට දැඩි ලෙස බාධා කර තිබෙනවා. 

ප්‍රතිපත්ති අධ්‍යයනය ආයතනයේ ප්‍රකාශනයක් වන ‘Tea Industry in Transition – 150 years and Beyond’  ග්‍රන්ථයේ පරිච්ඡේදයක් සපයමින් ආචාර්ය එච්.එන්. තේනුවර විසින් වැදගත් සංඛ්‍යාති රැසක් උපුටා දක්වනවා. වර්තමානයේදී චීනය තමයි ලොව තේ නිෂ්පාදනයෙන් 35%ක් ම සිදු කරන්නේ. 1961 දක්වා ම ශ්‍රී ලංකාව චීනයට වඩා තේ නිෂ්පාදනය කළා. ලංකාව දෙවෙනි වුණේ ඉන්දියාවට පමණයි. එහෙත්, පසුගිය 50 වසර තුළ ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය වර්ධනය වුණේ 0.8%ක් වැනි වැනි ගොළුබෙලි වේගයකින්. 1961දී 21%ක් වුණ තේ නිෂ්පාදනයේ ශ්‍රී ලාංකික දායකත්වය දැන් 6%ක් දක්වා පහත වැටී තිබෙනවා. දැන් ලංකාව තිබෙන්නේ තුන්වන ස්ථානයේයි. ලංකාවට මෙම තත්වයන් වෙනස් කරන්නට අමාරුයි. එයට හේතු දෙකක් තිබෙනවා. එ් තමයි, ඉඩම් සීමිතකම හා ජනගහනය කුඩා වීම. භූමි ඵලදායිතාව මත ශ්‍රී ලංකාව 1990 දශකයේදී ඉන්දියාවත් පසු කරමින් ලොව විශාලතම තේ නිෂ්පාදකයා වූ මුත්, පහතරට නෑඹුල් වනාන්තරවල කළ අලුත් තේ වගාව නිසා ලබාගත් එම ජයග්‍රහණය ද තවදුරටත් පවත්වාගැනීමේ හැකියාවක් නැහැ. මේ වන විට එම ඉඩම් නිසරු වී තිබෙනවාට අමතරව තේ වගාව නිසා කළුතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල වැනි දිස්ත්‍රික්කවල නාය යාමේ තර්ජන ද උග්‍ර වී තිබෙනවා.

අධික ලාභ පසුපස හඹා යන, ආචාරධර්ම තඹයකට මායිම් නොකරන ව්‍යාපාරිකයන් ලංකාවේ තේවලට කසල තේ හා වෙනත් රටවලින් ආනයනය කරන බාල තේ කලවම් කර ගුණාත්මකභාවයෙන් අඩු තේ ලෝක ප්‍රකට සිලෝන් ටී සන්නාමයෙන් පිටරට පැටවීම එක පැත්තකින් සිදු වෙනවා. දිගු කලක් තිස්සේ සිදු වන මෙම දේශද්‍රෝහී වංචාව වැළැක්වීමට රජය පැත්තෙන් මෙන් ම කර්මාන්තය පැත්තෙන් ද හරි හමන් පියවරක් ගෙන නැහැ. ඒ අතර මෑතදී හෙළිදරව් වූ අලුත් ම ජාවාරම තේවලට සීනි මුසු කිරීමයි. මෙය කිරීමෙන් එක පැත්තකින් තේවල බර වැඩි කර ගන්නා අතර, අනෙක් පැත්තෙන් තේ කොළ වල කැරලි ගතිය වැඩි කර ගැනීමට ද හැකි බව කර්මාන්ත ආරංචි මාර්ග පවසනවා. තේ කොළවලට මිශ්‍ර කිරීමට යොදා ගන්නේ පකිස්ථානය වැනි රටවලින් ආනයනය කරනු ලබන ඉතා බාල තත්වයේ, ඇතැම් විට ඉවත දමන ලද වන සීනි වර්ග බව තතු දත් ආරංචි මාර්ග පවසනවා. පසුගියදා ජපානයේදී ශ්‍රී ලංකාවේ තේවල තිබෙන විෂ රසායනිකයක් සම්බන්ධ සොයා බැලීමකදී අනුමාන කර ඇති පරිදි එම රසායනිකය තේවලට එක් වී තිබෙන්නේ මේ බාල සීනි නිෂ්පාදනයේදී යොදා ගනු ලබන කෘෂි රසායනික හේතුවෙන් බව අනුමාන කරන බව ද කර්මාන්තය හා සම්බන්ධ ආරංචි මාර්ග පවසයි. එම කෘෂි රසායනිකය ශ්‍රී ලංකාවේ භාවිතා නොවන්නකි. තේවලට සීනි මිශ්‍ර කරන ක්‍රියාවලිය හේතුවෙන් පිළිකාකාරක නිෂ්පාදනය වන බවට ද මතයක් තිබෙනවා.

පසුගිය පෙබරවාරියේදී ගාල්ල, රත්නපුර හා මාතර යන දිස්ත්‍රික්කවල තේ කම්හල් 80 ක තේ මණ්ඩලය විසින් කරන ලද හදිසි, රහසිගත වැටලීමකදී කම්හල් 53ක තෙත් සාම්පලවල සීනි මිශ්‍ර කර ඇති බව සොයා ගන්නා ලදී. මෙම කම්හල් අතර දේශපාලකයන්ට ළඟ සම්බන්ධකම් ඇති කම්හල් නිසා නීතිය අනුව මේ තේ කම්හල්වල බලපත්‍ර අහෝසි කළ යුතුව ඇතත්, එවැන්නක් සිදු වුණේ නැහැ.

මේ අතර, වැරදි කළමනාකරණය නිසා පාඩු ලබමින් සිටින, ශ්‍රම හිඟයට පිළියම් සොයා ගැනීමට අසමත්, රජයේ ඉඩම්වල ඇති පෞද්ගලික වතු සමාගම්වල උවමනාව මත දැන් තේ, රබර් කර්මාන්තය සඳහා ග්ලයිෆොසේට් යෙදීමට නැවත අවසර දීමට රජය පියවර ගෙන තිබෙනවා. එයින් මේ වනාහි සිලෝන් ටී සන්නාමය පමණක් නොව, ලංකාවේ තේ වතු, රබර් වතු ආසන්නයේ ජීවත් වන ජනයාගේ ජීවිත ද අනතුරේ වැටිය හැකියි. 

කෙසේ වෙතත්, ගුණාත්මකභාවයෙන් ඉහළ, වටිනාකම් එකතු කළ තේ නිෂ්පාදන වෙත යොමු වීමෙන් ශ්‍රී ලංකාවට ලෝක වෙළඳපොළේ තම සිලෝන් ටී සන්නාමය රැකගන්නට හා කර්මාන්තය තිරසර කරගන්නට පුළුවන්කම තිබෙනවා. එහි වගකීම වතු සමාගම්වලට, තේ කම්හල්වලට හා අලෙවිකරුවන්ට පමණක් තනිව දැරිය නොහැකියි. මෙහිදී වැවිලි ක්ෂේත්‍රයේ මානව සම්පත් අතිශය වැදගත් වෙනවා. වතු කම්කරුවන්ගේ වැටුප් මෙන් ම ශ්‍රම ඵලදායිතාව නැංවීම ද කර්මාන්තය තිරසර කරගැනීම සඳහා අත්‍යවශ්‍යයි. 1990 දශකයේදී කුඩා තේ වතු ව්‍යාප්තිය හේතුවෙන් ලංකාවේ තේ කර්මාන්තයේ විශාල පිබිදීමක් ඇති වුණා. අද වන විට වැවිලි සමාගම් මුහුණ දී සිටින අර්බුදයට විසඳුම් සෙවීම සඳහා යෝජනා වී, ඇතැම් තැන්වල අත්හදා බලා තිබෙන වතුවල තේ වගාව කුඩා බාහිර සම්පත් දායකයන්ට පැවරීමේ ක්‍රමය ද, යාන්ත්‍රීකරණය ද වැදගත් වේවි.   

  • අජිත් පැරකුම් ජයසිංහ, 2018 දෙසැම්බර් 28දා අනිද්දා පුවත්පතේ ද පළ විය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.