අජිත් පැරකුම් ජයසිංහ

පිරිමි වෙලා ඉඳලා සංක්‍රාන්ති ලිංගික වුණ ඇතැම් අය තමන් ගැහැණියක බව හා දරුවන්ගේ මවක බව ප්‍රකාශ කළත්, ඇත්තෙන් ම ඒ වනාහි කුසෙන් බිහි කළ දරුවන් නෙමෙයි. දරුවන් හදන්නට පුළුවන් ගැහැණුන්ට විතරයි. ඒ සඳහා ජීව විද්‍යාත්මක ස්ත්‍රී ප්‍රජනන පද්ධතියක් අවශ්‍යයි. යෝනි මාර්ගය වැනි සිදුරක් කෘත්‍රිමව හදන්නට පුළුවන් වුණාට පූර්ණ ස්ත්‍රී ප්‍රජනන පද්ධතියක් කිසිම මිනිහෙකුට හදන්නට බැහැ.

ස්ත්‍රී, පුරුෂ ලිංගිකභාවයන් කියන්නෙ ස්වාභාවික, ජීව විද්‍යාත්මක සංසිද්ධියක්. හැබැයි, ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියන්නෙ සමාජ නිර්මිතයක්. ගැහැණියක වුණා ම අනිවාර්යයෙන් ම දරුවන් වදන්නට ඕනැ, ගෙදර ඉවුම්, පිහුම්, මැහුම්, ගෙතුම් කරන්නට ඕනැ. සාරි අඳින්න ඕනැ, ඒයි අනේ ඔයා මෙයා කියල කතා කරන්න ඕනැ, අඬන්න ඕනැ, බය වෙන්න ඕනැ, ලිංගික සංසර්ගයේදි යට ඉන්න ඕනැ වගේ ඒවා ජීව විද්‍යාත්මක දේවල් නෙමෙයි. ඒවා සමාජ නිර්මිත. සමාජය තමයි ගැහැණුකමට ඔය දේවල් ආරෝපණය කරලා තියෙන්නෙ.

ලිංගික ආශාව, රාගය කියන්නෙත් ජීව විද්‍යාත්මක දෙයක්. එය සහජයෙන් ම ඇති වන දෙයක්. ඒත්, ආදරය කියන්නෙ එහෙම දෙයක් ද? මම නම් කියන්නෙ ආදරය ස්වාභාවික දෙයක් නෙමෙයි. ඒක සමාජ නිර්මිතයක්. එක් පිරිමියකු එක් ගැහැනියකට පමණක් ආදරය කළ යුතු ය, එකී ආදරය ජීවිත කාලය පුරා ම එක ම විදියට පැවතිය යුතු ය කියන එක එහෙම සමාජය විසින් හදපු අදහසක්.

ආදරය මැද්දට පවුල වැටුණෙත් ඒ ව්දියට ම තමයි. පවුල සම්බන්ධ වෙන්නෙ දේපල, ධනය, ආයෝජන, පරම්පරාව, අනාරක්ෂිතබව වගේ දේවල් එක්ක. එය කිසි සේත් ම ස්වාභාවික නැහැ. ආදරය පවතින්න පවුල අත්‍යවශ්‍ය නැහැ.

බිමල් ජයකොඩි සහ සමාධි ලක්සිරි

මේවා හරියට අපි පියයුරුවලට කාමාශක්ත වෙනවා වගේ. පියයුරු විතරක් නෙමෙයි, තොල්, පාද වැනි දේවලට කාමාශක්ත වෙන එකත් ජීව විද්‍යාත්මක නැති වෙන්නට පුළුවන්. ඒවා සමාජ නිර්මිතයන්. මෑත ඉතිහාසය දක්වා ම අපේ රටේ පහළ සමාජවල ගැහැණු හැට්ට ඇන්දෙ නැහැ. තන් දැක්කාම පිරිමින්ට ඉන්න බැරි වෙන්න නැතුව ඇති. ඒවාත් පිරිමි තන් වගේ ම තමයි පෙනෙන්නට ඇත්තෙ. ඒවා දැක්කාම ගෑනුන්ගෙ යෝනිය තෙත් වෙන්නෙ නැහැනේ.

මේ සමාජ නිර්මිතයන් වසර දහස් ගණනාවක් තිස්සේ පරිණාමය වීම නිසා මේ වන විට මිනිස් චිත්ත සන්තානයේ මුල් බැසගෙන ඉවරයි. හැබැයි, ඒවා සහජයෙන් ලැබෙන්නේ නැහැ. නූතන මානවයාගේ පරිණාමයෙන් වසර ලක්ෂයකට පමණ පසුව අද පවා සමාජයෙන් සම්පූර්ණයෙන් ම හුදකලාව වැඩුණු පුද්ගලයකුට ඒවා කුමන ආකාරයකින් හෝ ලැබෙයි කියා හිතන්නට බැහැ.

ආදරය සමාජ නිර්මිතයක් බව හා සමාජය නැතිනම් ආදරය කෙනෙකුගේ මනසට බලපාන්නේ නැති බවයි මගේ අදහස. හැබැයි, මේ කතාව මවක දරුවකුට දක්වන ආදරයට අදාළ වෙන්නෙ නැහැ. ඒක ජීව විද්‍යාත්මක සැබෑ ආදරයක්. ව්‍යාජ සමාජ නිර්මිතයක් නෙමෙයි. අපි ආදරය යයි සලකන විරුද්ධ ලිංගිකයන් හෝ සමලිංගිකයන් අතර තිබෙන ආදරය රාගය නම් යථාර්ථය වටා ගොඩනැගුණු ව්‍යාජ සමාජ නිර්මිතයන් සමූහයක්. හැබැයි, ඒක ව්‍යාජයක් බව පිළිගන්නට අප සමාජයක් ලෙස කැමති නැහැ.

රාගය හැරුණු විට ආදරය කියන සංකල්පය එක්ක බැඳුණු අනෙක් සැබෑ හැඟීම වන්නෙ මිත්‍රත්වයයි. මිත්‍රත්වය කියන්නෙ ලිංගිකත්වය සමග සම්බන්ධ දෙයක් නෙමෙයි. හැබැයි, එය ස්වාභාවික දෙයක්. මිත්‍රත්වය හැම කෙනෙකුට ම අවශ්‍යයි.

මේ ටික කිව්වෙ දැකල පුරුදු කෙනෙක් කියන අපූරු චිත්‍රපටය ගැන කතා කරන්නටයි. කලකට පසු චරිතවල මනෝභාවයන් හා චර්යාවන් ඉතා සියුම් ලෙස විග්‍රහ කරමින් ගොඩනගන ලද කතාවක්, රංග වින්‍යාසයක් සහිත චිත්‍රපටයක් බැලුවා කියා හිතෙනවා. හුදෙක් දෙබස් පමණක් ඇති නාට්‍යමය චිත්‍රපටයක් වුණත්, ඇතැම් විට දීර්ඝ ඒකාකාරී ජවනිකා තිබුණත්, එහි නාට්‍යමයබව නිසා ම එය ඒ හා බැඳුණු ප්‍රේක්ෂකයාව ඇද බැඳ තබාගන්නවා.

පවුල බොහෝ අයට සිර ගෙයක්, අපායක් වී තිබෙන බව රහසක් නෙමෙයි. එහෙම වෙන්නෙ මොකට ද? එහෙම වෙන්න ඕනැ ද? අනිවාර්යයෙන් ම එහෙම වෙනව ද? පවුල ඇතුළෙ හා පිටත ස්ත්‍රී පුරුෂ මනෝභාවයන් වැඩ කරන හැටි අපි තේරුම් ගන්නට ඕනැ කොහොම ද?

ලංකාවෙ සමාජය අධික ලිංගික කුහකකමකින් පිරුණු තැනක්. ලෝකෙ පුරාමත් සෑම සමාජයක ම අඩු වැඩි වශයෙන් ලිංගික කුහකත්වය තිබෙනවා. සචිත්‍ර වගේ පිරිමි පුද්ගලයන් පීතෘමූලික භාවය, පුරුෂාධිපත්‍යය නිසා තමනුත් අනන්ත පීඩාවක් විඳිමින් තමන්ගේ සහකාරියගේත් ජීවිතය අපායක් බවට පත් කරන්නේ මූලික වශයෙන් ම මේ ලිංගික කුහකත්වය නිසායි.

මොකක් ද මේ ලිංගික කුහකත්වය? ඒක හැදෙන්නෙ ආදරය ගැන අර සමාජ නිර්මිතයෙන්. පිරිමියෙකුට හෝ ගැහැණියකට එක වර ආදරය කළ හැක්කේ එක් සහකරුවකුට, සහකාරියකට පමණක් ය කියන ආදරය ගැන ව්‍යාජ සමාජ නිර්මිතය තමයි ලිංගික කුහකත්වයට මූලික හේතුව.

ඒ වගේ ම තමයි විවාහ ජීවිතය හා සමස්ත ජීවිතය කියන්නෙ එකක් ය කියන මුග්ධ සංකල්පයත්. පවුල, විවාහ ලියාපදිංචිය වැනි දේවල් දේපල, පුරවැසිභාවය, සමාජ පිළිගැනීම, සමාජාරක්ෂාව වැනි දේ සමග කාරණා සමූහයක්. විවාහ ජීවිතය ලිංගික ජීවිතයක් වෙන්නටත් පුළුවන්, නැති වෙන්නටත් පුළුවන්. ඒ වගේ ම විවාහ ජීවිතයෙන් පිටතත් ලිංගික ජීවිත පවතින්නට පුළුවන්. මේවා කිසිවක් අමුතු දේවල් නෙමෙයි. ඒවා එහෙම වෙනවා. ඒ නිසා තමයි ලෝකයේ සතුට තිබෙන තැන්වල සතුට තිබෙන්නෙ. ඒකට බාධා කරන ලිංගික කුහකත්වය නිසා තමයි සතුට නැති වන්නෙ.

දිනිති සචිත්‍රට ආදරෙයි. ඇයට මග් එක දුන්, අප චිත්‍රපටයේ නොදකින පුද්ගලයාටත් ආදරෙයි. සමහර විට ඇය ඇගේ මස්සිනා වන සංඛටත් ආදරේ ඇති. ත්‍රිරෝද රියදුරා වන චාමරටත් ආදරේ ඇති. ආදරේ කියන්නෙ එක ම අච්චුවක හදපු චොකලට් පෙත්තක් වගේ දෙයක් නෙමෙයි. එය හරියට ඉඳියාප්පයක් වගේ දෙයක්. ලෝකෙ කිසිම ඉඳියාප්ප දෙකක් සර්වසම වෙන්නෙ නැහැ.

ආදරේ කරන හැම කෙනෙකු එක්ක ම ලිංගිකව එක් වන්නට අවශ්‍යත් නැහැ.

මිනිසුන්ට එක එක විදියට ආදරය කරන්නට පුළුවන්. ඒ වගේ ම තමයි ලිංගික සතුට කියන එකත්. ඒක ජීවිත කාලය පුරා ම එක ම සහකරුවකුගෙන්, සහකාරියකගෙන් පමණක් ලබා ගත යුතු ය කියා කසාද සහතිකයට කියන්නට පුළුවන් වුණාට ඇත්ත ජීවිතයට එහෙම කියන්නට බැහැ. කසාද සහතිකයයි, විවාහ නීතියි, දික්කසාද නීතියි සමාජ නිර්මිත. හැබැයි, ජීවිතය ස්වභාවිකයි.

විශේෂ ම කාරණය වන්නේ ජීවිතය සරලයි. සමාජය හා එහි නිර්මිතයන් තමයි සංකීර්ණ. දිනිති ඒ තරම් සරල වෙන්නටත්, සචිත්‍ර තේරුම් ගන්නට බැරි තරම් සංකීර්ණ වෙන්නටත් හේතුව තියෙන්නෙ එතන. දිනිති ඇත්ත ජීවිතයත් එක්ක ජීවත් වන කෙනෙක්. සචිත්‍ර ජීවත් වන්නෙ සමාජ නිර්මිතයන් ගොඩකට යට වෙලා.

දිනිති හොයන්නෙ සැබෑ ආදරය. ඒ කියන්නෙ ලෝකයේ භෞතිකව පැවතිය හැකි ආදරය. සචිත්‍ර ආදරය කරන්නට දන්නෙ නැහැ. හේතුව, ඔහු ආදරය කියල හිතාගෙන ඉන්නෙ ම ව්‍යාජ සංකල්පයක්.

දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටයේ සංවාදය මා කියවන්නේ මෙතැනින්. දිනිති වීර චරිතයක් වන්නේ ඇය මේ ලිංගික කුහකත්වයට, පීඩනයට එරෙහිව ලිංගික නිදහස වෙනුවෙන් කැරැලි ගසන කෙනෙකු නිසා. ඇය වෛරය දන්නෙ නැහැ. ඒ නිසා තමයි ඇය කුමන හෝ හේතුවක් නිසා ඇයට දික්කසාද වන්නට බැරි සචිත්‍ර සමග ආදරයෙන් ඉන්නට දිගට ම උත්සාහ කරන්නෙ. ඒ අතරෙ ඇය ඇගේ මග් එකත් එක්ක ඇය ප්‍රිය කරන අනෙක් ආදරවන්තයා සමගත් ජීවත් වෙනවා.

ජීවිතය කියන්නෙ හැකි තරම් දුරට සතුටින් ගත කළ යුතු කාලයක් ය කියන එක තමයි දිනිතිගේ ජීවන දැක්ම. දිනිති සටන් කරන්නෙ ඒ සඳහා අවශ්‍ය මූලික කොන්දේසි ටික වෙනුවෙන්. ඒ තමයි, පවුල් සංස්ථාව තුළ බලතුලනය, තීරණ ගැනීමේ හිමිකම සහ නිදහස.

දිනිතිගේ ජීවන දැක්ම තමයි මිනිසුන්ට අත්පත් කරගත හැකි හොඳම දර්ශනය. ඒ කියන්නෙ සතුටින් ජීවත් වීම. සතුටට බාධා කරන සියල්ලට එරෙහිව සතුටින් සටන් කිරීම තමයි වෙනස සඳහා අරගලය කියන්නෙ. ගතානුගතික පවුල් සම්බන්ධතා ප්‍රශ්න කරන්නෙ නැතුව, ඒවා අවශ්‍ය පරිදි ප්‍රතිව්‍යූහගත කරගන්නෙ නැතව සතුට ළඟා කරගන්නට බැහැ.

බල්ලන් වගේ රංචු පිටින් පඳුරු ගානෙ හැමනෙන ලිංගිකත්වයකට යන්න ඕනැ ය කියල මේකෙන් අදහස් වෙන්නෙ නැහැ. මිනිස් ලිංගිකත්වය සොඳුරු චර්යාවක්. ලිංගිකත්වය මිනිස් ශිෂ්ටත්වයේ ප්‍රධාන ලක්ෂණයක්. හැබැයි වර්තමාන ලංකාවෙ ලිංගිකත්වය අපායක්.

දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටයට අවසානයක් නැහැ. මේ අරගලයටත් අවසානයක් නැහැ. එය විඳවීමට එරෙහිව විඳීමේ නිදහස වෙනුවෙන් වූ අරගලයක්. පුරුෂාධිපති සචිත්‍රගේ පීතෘමූලික පවුලට එරෙහිව දිනිතිගේ නිදහස් අරගලය තමයි විප්ලවය.

Sinhala Tamil English Translations and Content Writing

1 thought on “සචිත්‍රගේ පීතෘමූලික පවුලට එරෙහිව දිනිතිගේ නිදහස් අරගලය තමයි විප්ලවය (දැකල පුරුදු කෙනෙක්)

  1. පැරා මිනිසුන්ට තියෙනවා නතු කරගැනීමේ ආසාවක්..ඒක ගෑනු /පිරිමි දෙවිදිහක්.. එකට රාගය කියල කියන්න පුලුවන්.. පස් පවු වලින් ඒ ටික සමරි කරල තියෙන්නේ.. ඔය නතු කරගැනීම කරන්න බැරි වුනාම තමයි ද්වේශය පටන් ගන්නේ.. ඉතින් තමන්වම බේරගන්න යම් කිසි පාලනයක් ඕන

Leave comment

Your email address will not be published. Required fields are marked with *.