Cartoon by Para

අජිත් පැරකුම් ජයසිංහ, 2019-01-06 ලංකා පුවත්පතේ පළ වූ ලිපියකි.

‘මන්ත්‍රීට කාර්, පන්දමාට බාර්, අපට සූර්’ යයි ත්‍රිරෝද රියක පසුපස ලියා තිබෙනු දුටු බව මට මතක ය. රජය විසින් අය කරනු ලබන අධික බදු නිසා මෝටර් සයිකලයක්, ත්‍රිරෝද රියක්, කුඩා ඉන්දියානු කාරයක්, ඩිමෝ බට්ටෙක් මිළ දී ගන්නා සාමාන්‍ය මිනිසෙකුට වාහනයේ ආනයන වටිනාකම මෙන් දෙගුණයකටත් වඩා වැය කරන්නට සිදු වී තිබේ.  

එහෙත්, අපට වාහන අවශ්‍ය ය. කුඩා ව්‍යාපාර සඳහා වාහන භාවිතා කරන විශාල පිරිසක් අප අතර සිටිති. එසේ ම, පවුලේ ගමන් බිමන් සඳහා වාහනයක් අවශ්‍ය වීම ද ලංකාවේ ගමනාගමනයේ තත්වය අනුව අසාධාරණ නැත. එසේම, වාහනය සමාජ තත්වයේ ප්‍ර‍කාශනයක් ද වේ.

පසුගියදා ප්‍රවීණ ආර්ථික විද්‍යාඥයන් පිරිසක් විසින් කරන ලද සමීක්ෂණයකට අනුව, ඉදිරි වසර පහක පමණ කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ වාහන අවශ්‍යතාවට ගැලපෙන තරම් කාර්, වෑන්, ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් ආදිය පසුගිය ජුලි මාසය වන විට ආනයනය කර අංගනවල ගොඩගසා තිබිණි. මෙම වාහනවල වටිනාකම ඩොලර් බිලියන හතක් පමණ වේ යයි සැලකේ. පාලනයකින් තොර මෙම වාහන ආනයන රටේ විදේශ විනිමය අර්බුදයක් ඇති කිරීමට හේතු වී තිබේ. මේවා ප්‍රතිඅපනයනය කර එම විදේශ විනිමය ආපසු ලබාගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න යෝජනා කර තිබිණි.

බදු ඉහළ නැංවීම නිසා මේ වන විට වාහන අලෙවිය ද අඩු වී තිබේ. මේ රටේ සාමාන්‍ය මහජනයා එසේ බදු බරින් මිරිකී සිටිති. එහෙත්, ඔවුන් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආදායම් බදුවලින් නිදහස් ය. ආදායම් බදු නො ගෙවනවා පමණක් නො ව ඔවුහු මහජන සේවයට ය කියා වාහනයක් මිළ දී ගැනීම සඳහා ද බදු සහන ද ලබති. මෙම බදු සහනය ලබන දේශපාලකයන් සංඛ්‍යාව පන්සියයකට අඩු වුවත්, එම සහනය ලැබෙන රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව දස දහස් ගණනකි.

මෙම බලපත්‍ර‍ලාභීන් වැඩිදෙනෙකුට දැනටමත් මීට අවුරුදු පහකට පමණ කලින් බලපත්‍රයෙන් ලබාගත් වාහන හිමි ය. ලංකාවේ වාහන අවුරුදු පහෙන් ඉවත දමන්නේ හෝ ඒවායේ වටිනාකම් අඩු වන්නේ හෝ නැත. එබැවින් මෙම වාහන බලපත්‍රලාභීන් වැඩිදෙනෙකු වාහන බලපත්‍ර‍ය හොරෙන් විකුණා මහජන මුදල් මිලියන ගණනක් තම ගිනුමට දමා ගනිති. වාහන බලපත්‍ර‍ ජාවාරම්කරුවන් අධි මිළ වාහන තීරු බදු රහිතව ආනයනය කර ඒවා ධනවතුන්ට අලෙවි කරති. එයින් ද විශාල ධනස්කන්ධයක් රටින් බැහැරව යයි.

ජේ.බී. සිකියුරිටීස් පර්යේෂණ ආයතනය පසුගිය සැප්තැම්බරයේදී තම ගනුදෙනුකරුවන්ට දැනුම් දී තිබුණු පරිදි වෙළඳපොළේ එවැනි වාහන ආනයන බලපත්‍ර‍ 6000-8000 අතර ප්‍ර‍මාණයක් තිබුණ අතර ඒවා අලෙවි වුණේ රු. ලක්ෂ 21 – 23 වැනි මුදල්වලටයි. මෙසේ බලපත්‍ර‍ අලෙවි කිරීමෙන් රජයේ සේවකයන් පමණක් මහජන මුදල් රු. බිලියන 15ක් පමණ සාක්කුවට දමාගනිති. තීරුබදු රහිතව ආනයනය කරනු ලබන එක් වාහනයක් වෙනුවෙන් සාමාන්‍යයෙන් රු. ලක්ෂ 36ක් පමණ බදු රජයට අහිමි වේ. මෙම වාහන වෙළඳපොළේ අලෙවි වන්නේ රු. කෝටි ගණන්වලටයි. ආණ්ඩුව තීරු බදු රහිත වාහන ආනයනය තාවකාලිකව නැවැත්වීමට පියවර ගන්නට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාගේත්, රජයේ නිලධාරීන් දහස් ගණනකගේත් බලපත්‍ර‍වලින් වාහන ආනයනය කෙරුණි.

මෙම තීරු බදු රහිත වාහන බලපත්‍රයක් නීති විරෝධීව විකුණා රු. ලක්ෂ 20ක් ලබාගන්නා රජයේ සේවකයකු ලබාගන්නා අයථා ලාභය වසර පහකට වරක් ලැබෙන බෝනස් එකක් ලෙස සැලකුවොත්, එය මාස හැටක කාලයකින් බෙදූ විට මසකට එම රජයේ සේවකයාට ලැබෙන මුදල රු. 30,000කට වැඩි ය. ලක්ෂ 20ක් එක වර ලැබීම හා එයට බැංකු පොළිය ගණනය කර බැලුවොත් මෙය මසකට රු. 40,000කට වැඩි  විය හැකි ය.

මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතල ම ගැටලු තුනක් වන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වීම, පොසිල ඉන්ධන හෙවත් පෙට්‍රෝලියම් තෙල් සඳහා වන වියදම ඉහළ යාම සහ වෙළඳ ශේෂය වැඩි වීමයි. ලංකාවේ තත්වය තීව්‍ර‍ වෙන්නට හේතු වන මූලික කාරණයක් වන්නේ රටේ ආදායම් තත්වයට නොගැලපෙන අධි පරිභෝජනයයි. පාරිභෝජනය ගැන කී විට අපට එක් වර ම සිහිපත් වන්නේ ආහාර වුණත්, ආහාරවලට යන වියදමට වඩා පාරිභෝජනවාදී වියදම් අපි කරන්නෙමු. වාහන හා ඉන්ධන වෙනුවෙන් කරනු ලබන වියදම එවැනි එක් ප්‍ර‍ධාන නාස්තිකාර වියදමකි.

මේ වන විට රටේ ආනයන වියදමෙන් 30%කට වඩා වැය වන්නේ පෙට්‍රෝලියම් ඉන්ධන ආනයනය කිරීමටයි. අප ආනයනය කරන ඉන්ධන ඵලදායී ලෙස භාවිතා කරනවා ද?

කොළඹ නගරයේ මාර්ග තදබදය ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රශ්න අතරින් ප්‍ර‍ධානතම එකකි. එය රටේ පරිපාලන, කළමනාකරණ, ආර්ථික, සමාජ, අධ්‍යාපන, සෞඛ්‍ය ආදී අංශ රැසක ඵලදායිතාවට ඍජුවම බලපානවා.

කොළඹ නගර සීමාවට අයත් වන කොළඹ හා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ජීවත් වන ජනගහණය 550,000කට වැඩි ය. ඊට අමතරව සතියේ වැඩ කරන දිනවලදී ලක්ෂ 15ක් පමණ ජනයා දිනපතා කොළඹට ඇදී එති. මේ අනුව වැඩ කරන දිනයක දිවා කාලයේදී කොළඹ නගරය තුළ ජනගහණය ලක්ෂ 20 ඉක්මවයි. (2012 ජන සංගණනය)

කොළඹ නගරයට පිවිසෙන ස්ථාන තුනකින් දිනකට වාහන ලක්ෂ තුනක් පමණ නගරයට ඇතුළු වෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ දත්ත මගින් අනුමාන කෙරෙයි. මේ නගරය තුළ ධාවනය වන වාහනවලට අමතරවයි.

පෞද්ගලික වාහන ලක්ෂ තුනකින් පමණ කොළඹට එන මගීන් සංඛ්‍යාව ලක්ෂ හයක් පමණි. එහෙත්, බස්රථ 27,000කට වැඩි සංඛ්‍යාවකින් මගීහු මිලියනයකට වඩා ගමන් කරති. දුම්රියෙන් ගමන් කරන පිරිස 165,000කට වැඩි යයි අනුමාන කර තිබේ.

කොළඹට දිනපතා උදෑසන ඇදී එන ජන ගඟ දවල් 1.30 සිට කොළඹින් පිටට ගලා යාම ආරම්භ වේ. මේ තදබදයන් අතරතුර වාහන ධාවනයේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 10ක් පමණ වන නිසා මිනිස් පැය නාස්තිය මෙන් ම, අති විශාල ඉන්ධන නාස්තියක් ද සිදු වේ. මහමග රස්තියාදුව අධික වෙහෙසකර කාර්යයකෙි. එය ශ්‍ර‍ම ඵලදායිතාවටත්, පොදුවේ ජනජීවිතයටත් දැවැන්ත බලපෑමක් කරයි. මාර්ග තදබදය නිසා දිනකට රු. බිලියනයක් පමණ ආර්ථිකයට අහිමි වන බව දළ වශයෙන් ගණනය කර තිබේ.

මේ අතර මගීන් විශාල වශයෙන් පොදු ප්‍රවාහන බස්රථ භාවිතයෙන් ඉවත් වෙමින් සිටින බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මෑතදී පැවසී ය. බස් හිමියන්ගේ ලාභ අඩු වීමටත්, තරගකාරිත්වය හා ඒ නිසා සිදු වන අක්‍ර‍මිකතා වැඩි වීමටත් එය හේතු වී තිබේ. මෙසේ ඉවත් වන මගීන් මෝටර් බයිසිකල්, ත්‍රිරෝද රථ, මෝටර් රථ වැනි පෞද්ගලික වාහන වෙත යොමු වීම නිසා මාර්ග තදබදය ද දවසින් දවස ඉහළ යයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ භාවිතාවේ තිබෙන බස්රථ සංඛ්‍යාව මගී ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් යයි සිතිය හැකි ය. එහෙත්, ඒවා නිසි අන්දමින් කළමනාකරණය සිදුවන්නේ නැත. පසුගිය කාලයේ සිටි කිසිදු ප්‍රවාහන ඇමතිවරයකු පොදු ප්‍රවාහනය නැංවීමට කටයුතු කළේ නැත. ඔවුන් කළේ ලංගමට හා දුම්රියට තම හෙංචයියන් පුරවා ඒවා පවත්වාගෙන යන්නට බැරි තත්වයක් නිර්මාණය කිරීමයි. ලංගම විරෝධය නිසා ඒකාබද්ධ කාලසටහන් ක්‍රමයක් දියත් කිරීමට හෝ කිසිදු රජයකට බැරි විය. එහෙයින්, බස් රථ වනාහි අනාරක්ෂිත, තරගකාරී, මගමරු සේවාවක් වී තිබේ.

පොදු හා සාමූහික ප්‍රවාහනයේදී අතිශය වැදගත් සේවාවක් වන දුම්රියට සිදු කෙරෙන ආයෝජන අතිශය අවම ය. මේ වන විට දුම්රියෙහි ලොකුම ආයෝජනය සිදු වන්නේ දකුණුදිග දුම්රිය මාර්ගය බෙලිඅත්ත දක්වා දීර්ඝ කිරීමට ය. මේ වනාහි මහින්ද රාජපක්ෂගේ තවත් හම්බන්තොට සුදු අලියෙකි. බෙලිඅත්තට දුම්රිය මාර්ගයක් ඉදි කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රවාහනයේ කිසිදු ප්‍රමුඛතාවක් නොවේ. ප්‍රමුඛතා පදනමින් සලකන විට කැළණිවැලි දුම්රිය මාර්ගයෙහි ඇති වැදගත්කමින් අංශු මාත්‍රයක්වත් මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයෙහි නැත. පසුගිය නොවැම්බර් මාසයේදී මෙම දුම්රිය මාර්ගයට අලුතින් දුම්රියක් එකතු කෙරුණේ වසර 10කට පසුව ය. 1990 වසරේ මෙරටට ආනයනය කරන ලද S8 වර්ගයේ බලවේග කට්ටලය පූර්ණ වශයෙන් රත්මලාන දුම්රිය ඉංජිනේරු වැඩපල තුළ අලුත්වැඩියා කර මගී මැදිරි දේශීය සමාගමක් විසින් පූර්ණ වශයෙන් අළුත්වැඩියා කිරීමට වැය වූ මුළු මුදල රු. මිලියන 70ක් හෙවත් කෝටි හතක් පමණි. ජනාධිපතිවරයාගේ පරිවාර රථ පෙළෙහි වාහනවල වටිනාකම ද මීට වැඩි ය. දේශපාලකයන්ට එහෙම ය. පොදු ජනතාවට මෙහෙම ය.

2 thoughts on “රට වනසන රථ ගාය

  1. මේවා නිකං කියව කියවා ඉන්න ලියලා පත්තර පිටු බ්ලොග් අඩවි පුරවන්න හොඳයි.

    මොකා ආවත් වෙනසක් වෙන පාටක් නම් පේන තෙක් මානෙක නැහැ.

  2. අයිසේ පැරකුම්, මොකද ඔයි තමුසේ සැහෙන වටින ඩොමේන් එකක් උන w3lanka අයින් කරලා මේ පරාජ වගේ නමකින් මෙලෝ රහක් නැති සයිට් එකක් පටන් ගත්තේ. අනේ මන්ද මූ වගේ ගොනෙක්. නාකි වෙලා ඉන්ටර්නෙට් ආපු ගොබ්බ ඩයල්නී. ඩොමේන් එකක වටිනාකම දන්නේ නෑ.

    මේ ගොනා දන්නේ දෙයකුත් නෑ, හැබැයි හැම රෙද්දම බදන් ලියන්න හදනවා. මේක තමුසෙගෙ බාසාවෙන් කිව්වොත් තම්බිලා හදපු චොහොර වෙච්ච පුස්සැලට් එකක් වගේ ඔයි.

    මේ රෙද්ද අයින් කරලා, w3lanka ම ලියපන් ගොනෝ. අනික එකේ හොද ලිපි ටිකකුත් තිබ්බ. තමුසේ අර බස් ගැන ලියපු ඒක, මගුල් ගෙවල් ගැන ලියපු එක, අයිසේ ළමයාගේ ඉල්ලීම පිට ලියපු කක්කා පොස්ට් එක එහෙම තමුසෙගෙ ලිවිල්ලේ ලිට්මස් පෙන්නන්න ස්ථාන. අන්න ඒ වගේ පුළුවන් දෙයක් ලියන් ඉදපන්. මේ සයිට් එක නං ගූ ගොඩක්.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.