අජිත් පැරකුම් ජයසිංහ

වසර 2008දී අල්ලා ගන්නා ලද ශ්‍රී ලාංකික හමුදා සොල්දාදුවන් 15දෙනෙකුගේ ආරක්ෂාව භාරව සිටීම, ඔවුන් ඝාතනය කරන ස්ථානයකට ප්‍ර‍වාහනය කිරීම සහ ඝාතනයෙන් පසුව ඔවුන්ගේ මළසිරුරු පුළුස්සා දැමීමට උදව් කිරීම සහ තවත් සිද්ධියකදී සොල්දාදුවන් 13දෙනෙකුට වෙඩි තබා දෙදෙනෙකු මරා දැමීම සහ ඉතිරි 11දෙනා මරාදැමීමට උත්සාහ කිරීම යන චෝදනා යටතේ, වර්තමානයේ ජර්මනියට පළාගොස් සිටින හිටපු කොටි සටන්කරුවකුට එරෙහිව නඩු පැවරීමට ජර්මන් රජය කටයුතු කර තිබේ. (ලිපිය දැන්වීමෙන් පසු දිගටම කියවන්න)

Media and Social Entrepreneur

37හැවිරිදි පුද්ගලයකු වන සිවදීබන් බී. ලෙස මාධ්‍යවල වාර්තාගත වන මෙම 37හැවිරිදි පුද්ගලයාට එරෙහිව විදේශ ත්‍ර‍ස්ත සංවිධානයක සාමාජික වීම, යුද අපරාධ, මිනිස් ඝාතන හා මරාදැමීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබේ.

මෙම නඩුව ඉතා වැදගත් ය. එහෙත්, අපරාධය සිදු වූ රටෙන් බැහැර ස්ථානයකදී සිදු වන මෙම නඩු විභාගය සාර්ථක කරගැනීම ඉතා දුෂ්කර ය. මූලික විමර්ශන සිදු නොවීමේ පදනම මත මෙම පුද්ගලයාට පහසුවෙන් නිදහස ලබාගත හැකි වනු ඇත. එහෙත්, එම නඩු පැවරීම සංකේතාත්මකව වැදගත් ය.

වසර 2007දී, ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියකු වූ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ධුරය දරන ලද සමයේෙදී, ඔහුගේ නියමය පරිදි අත්අඩංගුවේ තබාගන්නා ලද පුද්ගලයකු හිංසනයට ලක් කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයා විසින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එක්සත් ජනපදයේදී නඩු පැවරීම ද, 2008දී අධිආරක්ෂක කලාපයකදී සිය පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලසන්ත වික්‍ර‍මතුංග මාධ්‍යවේදියාගේ දියණිය වන අහිම්සා වික්‍ර‍මතුංග විසින් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එක්සත් ජනපදයේදී නඩු පැවරීම ද එවැනි ම සංකේතාත්මක වශයෙන් වැදගත් නඩු පැවරීම් දෙකකි.

කොටි සටන්කරුවාට එරෙහිව පවරා තිබෙන නඩුව මෙන් ම ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරා තිබෙන නඩු ද ඇත්ත වශයෙන් ම යුද්ධය හා සම්බන්ධ ඒවා ය. මාධ්‍යකරුවකු ඝාතනය කිරීම යුද්ධය සමග සම්බන්ධ වන්නේ කෙසේ ද යන්න යම් කෙනෙකුගේ විමසීමට ලක් විය හැකි ය.

යුද ජයග්‍ර‍හණය සහ යුද අපරාධ අතර ඇත්තේ ගසට පොත්ත සේ දැඩිව බද්ධ වූ සම්බන්ධයකි. යුද ජයග්‍ර‍හණයට යුද අපරාධවලින් වෙන් කර ගැනීම දියෙන් කිරි වෙන් කර ගන්නා බව කියන හංසයෙකුටවත් බැරි බව අපේ අදහසයි. යුද්ධය දිගින් දිගට ඇදී ගියත්, කුමන හෝ ආකාරයක ජයග්‍ර‍හණයක් කවුරු හෝ ලැබුවත්, අනිවාර්යයෙන් ම ඒ පසුපස යුද අපරාධ තිබේ. යුද්ධයේ කාලීන හා භූගෝලීය පැතිරීම අනුව යුද අපරාධවල විස්තීර්ණභාවය ද වැඩි වේ. එබැවින්, මෙවැනි නඩු පැවරීම්වල තිබෙන්නේ හුදු සංකේතාත්මකභාවය පමණි. යුක්තිය පසිඳලීමේ යාන්ත්‍ර‍ණයන්ට හසු කරගැනීමට බැරි තරමට ශ්‍රී ලංකාවේ යුද අපරාධ පරිමාණය විශාල ය.

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය වැනි එකක් ජයගැනීමට නම්, නීතිමය රාමුවට පිටින් ක්‍රීඩා කිරීමට අනිවාර්යයෙන් ම සිදු වේ. රජය, කොටි සංවිධානය පමණක් නොව, රජය, අධිකරණය, ජනමාධ්‍ය වැනි සිවිල් අවකාශයන් පවා යුද්ධය සම්බන්ධයෙන් කටයුතු කළේ නීතිමය රාමුව තුළ නොවේ. ඇතැම් මාධ්‍යකරුවන් පවා යුද අපරාධවලට සම්බන්ධ ය. එහෙත්, ලසන්ත වික්‍ර‍මතුංග මරා දමන්නේ එවැනි හේතුවක් මත නොවේ. ඔහු මරා දමන්නේ මහින්ද, ගෝඨාභය, බැසිල් වැනි යුද්ධයේ දේශපාලන, මිලිටරි හා ආර්ථික සෙන්පතියන් තිදෙනාගේ නීති විරෝධී ක්‍රියා ප්‍ර‍ජාතාන්ත්‍රික හා සිවිල් අයිතිවාසිකම් පදනමින් ප්‍ර‍ශ්න කිරීම නිසා ය.

යුද්ධයේ ජයග්‍ර‍හණය සඳහා මහින්දගේ දේශපාලනික ජනප්‍රියත්වය, ගෝඨාභයගේ කෘරත්වය, බැසිල්ගේ දූෂණ යන කාරණා තුන ම ඉවහල් වූ බව අප අමතක නොකළ යුතු ය. සිය ග්‍ර‍හණයට නතු කරගත් ශ්‍රී ලංකාවෙන් රාජපක්ෂ පවුල ලැබූ ප්‍රමෝදය හා යුද්ධය ජයගැනීම යන දෙක එකිනෙකින් වෙන් කළ නොහැකි තරමට සම්බන්ධ ය. යුද ජයග්‍ර‍හණයට ආසිරි පතමින් යුද අපරාධවලට එරෙහිව පෙනී සිටීම කළ නොහැක්කේ එහෙයිනි. එය බල්ලන් සමග දඩයම් කරමින් හාවුන් සමග දිවීම වැනි දෙයකි. ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය මෙන් ම යුරෝපා සංගමයේ ජර්මනිය වැනි රටවල් ද කරමින් සිටින්නේ එයයි. යුදමය විනාශය වැළැක්වීමට තීරණාත්මක බලපෑමක් නොකිරීම ඔස්සේ මෙම රටවල් ශ්‍රී ලංකාවේ යුද්ධයට අනුබල දුන්නෝ ය.

ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සාමය තුළ දැකිය හැකි ප්‍ර‍ධාන ලක්ෂණයක් වන්නේ යුද අපරාධ චෝදනා ස්ථාවර සාමයකට කරන බලපෑමයි. සාමය ස්ථාවර වීම සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍ය බව ඇත්ත ය. එහෙත්, ගැටුම් විරහිතව පැවතීමත් එක්තරා දුරකට සාමයකි. නිත්‍ය හෝ තාවකාලික හෝ වන එකී සාමයට පවා මෙකී යුද අපරාධ චෝදනා බාධාවක් වී තිබේ.

යුද්ධය සම්බන්ධයෙන් වගවීමක් ඉල්ලා සිටීම නූතන මානව හිමිකම්, සිවිල් අයිතිවාසිකම් හා ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සංකල්ප සමග අනුගත විය හැකි ය. එහෙත්, සිදු නොවන වගවීමක් වෙනුවෙන් දිගින් දිගට ම ඇදි ඇදී යන උද්දේශනයක් යනු විහිළුවකි. මේ සම්බන්ධ දේශීය පමණක් නොව, ජාත්‍යන්තර උද්දේශනයන් විසින් ද කැපී පෙනෙන ප්‍ර‍ගතියක් අත්පත් කරගෙන නැත. විධිමත් විමර්ශනයක් හෝ සත්‍ය කොමිෂමක් වැනි කිසිවක් යුද්ධයේ අවසානයෙන් දස වසරකට පසුව පවා සිදු වී නැත. එසේම, වින්දිතයන් වෙනුවෙන් වන්දි ගෙවීම වැනි අවම ක්‍රියාමාර්ග හෝ ප්‍ර‍මාණවත් පරිදි සිදු වී නැත.

භයානක ම කාරණය වන්නේ යුද අපරාධ සම්බන්ධ කතිකාව දැඩි ලෙස දේශපාලනීකරණය වීමයි. එහි ප්‍ර‍තිඵලයක් ලෙස සමාජයේ දිගුකලක් තිස්සේ තිබුණු ජාති, ආගම් ආදී බෙදීම්වලට අමතරව මේ වන විට බලයෙන් පහකර සිටින යුද අපරාධකරුවන් නැවත බලයට ගෙන ඒමට පක්ෂ හා විරුද්ධ පිරිස් ලෙස ද සමාජය බෙදී අන්තවලට තල්ලු වෙමින් තිබේ. මෙය සිංහල හා දෙමළ යන බෙදීම තුළ වෙන වෙන ම දැකිය හැකි ය.

යුද අපරාධ සම්බන්ධ කතිකාව වෘත්තීයකරණය වීම අනෙක් බරපතල ප්‍ර‍ශ්නයයි. වෙනත් වචනවලින් කියන්නේ නම්, යුද අපරාධ පිළිබඳ උද්දේශනය රස්සා, ආදායම් මාර්ග, විදේශ චාරිකා ආදිය සම්බන්ධ වෘත්තීය ක්‍රියාවලියක් බවට පත් වී තිබේ. එය කෙතරම් ආන්තික ද යත්, මේ වන විට දේශපාලන විසඳුමක් පිළිබඳ කතිකාව මුළුමනින් ම යටපත් වී ඇති ආකාරයක් ද දැකිය හැකි ය. සිවිල් සමාජය මේ කරමින් සිටින්නේ කුමක් ද?

Sinhala Tamil English Translations and Content Writing

Leave comment

Your email address will not be published. Required fields are marked with *.