Cartoon by Ajith Perakum Jayasinghe

යහපාලනයේ විලි වසාගන්නට කුඩුකාරයන් එල්ලා මැරීම

අජිත් පැරකුම් ජයසිංහ

62 ලක්ෂයක යහපාලන ජනවරමට පයින් ගසා විවිධ බහුරූ කෝලම් රඟදක්වමින් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අලුත් ම ලේ හැලෙන ක්‍රියාකාරකම වන්නේ පුරා වසර 43ක් තිස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවූ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගැනීමයි.

(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
Sinhala Tamil English Translations and Content Writing

එහි පළමු පියවර ලෙස මත්ද්‍ර‍ව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලැබ සිටින පුද්ගලයන් සිව්දෙනෙකු තෝරාගෙන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තීරණය කර, දින වකවානු නියම කර ඇති බව ජනාධිපතිවරයා පවසයි.

මෙම පුද්ගලයන්ගේ නම් සහ මරණ දඬුවම ක්‍රියාත්මක කරන දින වකවානු රහසිගතව තබාගෙන සිටින බව පෙනේ.

මේ වන විට බන්ධනාගාරවල මරණීය දණ්ඩනයට ලක් වූ පුද්ගලයන් 450කට වඩා සිටිති.

ජනාධිපතිවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හඳුන්වන්නේ මත්ද්‍ර‍ව්‍යවලට එරෙහිව ඔහු කරන බව කියන අරගලයේ පියවරක් ලෙසයි. එහෙත්, ඔහුගේ සමීපස්ථ පවුලේ ඇතැම් අය ද බලපත්‍ර‍ සහිතව මත්පැන් අලෙවියෙන් මුදල් උපයති.

මේ වන විට සිය ධුර කාලයේ අවසන් මාස හයට පිවිසී සිටින ජනාධිපතිවරයා නීති තර්ක ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණය කල් දමාගැනීමට ද, එසේම, ඉදිරි ජනාධිපතිවරණයකදී නැවත පත්වීමට ද උත්සාහ කරයි. එහෙත්, රටේ ප්‍ර‍ධාන දේශපාලන බලවේග දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔහුට සහාය දක්වන්නේ නැත. පසුගිය වර ඔහු ජනාධිපතිවරණය ජයග්‍ර‍හණය කළේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍ර‍ධාන අනුග්‍ර‍හයෙනි. එහෙත්, ඔහු මේ වන විට සිය පරම හතුරා ලෙස සලකන්නේ එම පක්ෂය හා එහි නායක අගමැති රනිල් වික්‍ර‍මසිංහ ය.

මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරමින් සිටින්නේ ඔහු බලයට පත් කිරීම සඳහා ඡන්දය දුන් ලක්ෂ 62ක් ජනතාවගේ යහපාලන අපේක්ෂාවන්ට සපුරා ප්‍ර‍තිවිරුද්ධ අයුරිනි. මානව හිමිකම් සුරක්ෂිත කිරීම එම අපේක්ෂා අතර ප්‍ර‍මුඛ කාර්යයක් විය. එක අතකින් මරණ දඬුවම ක්‍රියාත්මක කරන අතර අනෙක් අතින් ඔහු අපරාධකරුවන්ට නිදහස ලබාදෙමින් ද සිටියි. අධිකරණයට අපහාස කිරීමේ වරදකට දඬුවම් ලැබ සිරගත වී සිටි ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට සහ අල්ලස් ගැනීම සම්බන්ධයෙන් සිර දඪුවම් ලැබ සිටි ඔහුගේ පක්ෂයේ සාමාජිකයකු වූ වරකාපොල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මාකාවිටගේ ලක්ෂ්මන් පතිරාජ සමරසිංහ යන අය නිදහස් කිරීමට ඔහු පසුගියදා කටයුතු කළේ ය.