අජිත් පැරකුම් ජයසිංහ

ලෝක ඉතිහාසය දෙස බැලූ විට වාර්ගික හා ජාතික ජන සංයුතීන් හැමදාමත් වෙනස් වෙමිනුයි තිබුණේ. උදාහරණයකින් බැලුවොත්, අතීත ලංකාව කියන්නෙ විජයාගමනයෙන් පෙර යුගයේ යක්ෂ, නාග වැනි ගෝත්‍රික ජනතාවක් වාසය කළ රටක්. විජයාගමනයෙන් සංකේතවත් කරන සංක්‍රමණයන්ගෙන් පසුව ලංකාවේ ජන සංයුතිය වෙනස් වුණා. රටට සංක්‍රමණය වූ ජනයාත්, රටේ සිටි ජනයාත් අනුකලනය වීමෙන් සිංහල ජාතිය ගොඩනැගුණා. මේ ගොඩනැගීම මෑතක් වනතුරු ම සිදු වුණා. උදාහරණයක් ලෙස කරාව, සලාගම වැනි කුල ප්‍රජාවන් දකුණු ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වී සිංහල ජනයා බවට පත් වුණා. අද වුණත්, මීගමුවේ මීට පරම්පරාවකට දෙකකට පෙර දෙමළ වූ ජනයා සැලකිය යුතු දුරකට සිංහල වෙලා තිබෙනවා. කොළඹ දෙමළ ජනයා ගත්තත් එහෙමයි. උතුරේ සිටි සිංහල ජනයාත් එහි මහා ප්‍රජාව වන දෙමළ ජාතිය වෙත අනුකලනය වුණේ එහෙමයි.

(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
Sinhala Tamil English Translations and Content Writing

මෙසේ මිනිසුන් සිය කැමැත්තෙන් ජාතිය, ආගම, කුලය වැනි අනන්‍යතා ඉවත දමා අලුත් අනන්‍යතා වැළඳ ගැනීමේ ක්‍රියාවලිය ස්වීකරණය (assimilation) ලෙස හැඳින්වෙනවා. ස්වීකරණය සඳහා බොහෝ විට හේතු වන්නේ සංක්‍රමණය, වෙළඳාම,  රැකියා, සංස්කෘතික අන්තර් සම්බන්ධතා ආදියයි. ස්වීකරණයේදී බොහෝ විට සිදු වන්නේ බහුතර හෝ බලවත් ප්‍රජාව තුළට සුළුතරයන් ස්වීකරණය වීමයි.

1940 දශකයේ අගභාගයේදී හා 1950 දශකයේ මුලභාගයේදී ගෙන එන ලද පුරවැසි පනත් මෙම ස්වාභාවික ජාතික අනුකලනයට බාධාකාරී වුණා. සිංහල වූ අප දන්නා බොහෝ මිනිසුන්ගේ අනන්‍යතා සහතිකවල තවමත් තිබෙන්නේ වෙනත් ජාතික අනන්‍යතා. ඇතැම් විට ඔවුන් එකී ජාතීන්ට අදාළ භාෂා දන්නෙත් නැහැ. ජාතිය වෙනස් කිරීම විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයෙන් ද තහවුරු කර තිබෙන අයිතිවාසිකමක්. ඒත්, ලාංකිකයන්ට රට තුළ වුණත් ජාතිය වෙනස් කිරීම පහසු නැහැ.

ලංකාවේ සිංහල මූලික රාජ්‍යය තමයි ජාතීන්ට සිංහල ජාතිය තුළට ස්වීකරණය වීම දුෂ්කර කර තිබෙන්නේ. ලංකාවේ මුස්ලිම් ජනයා අරාබි බස කතා කරන ප්‍රජාවක් නෙමෙයි. දෙමළ භාෂාව වුණත් ඔවුන්ගේ උරුමයක් නෙමෙයි. එය ඔවුන් ජීවත් වූ ප්‍රදේශ අනුව ව්‍යවහාරයට හුරු වුණ භාෂාවක් පමණයි. මුස්ලිම් ජනයාට සිංහල භාෂාව සම්බන්ධයෙන් තිබෙන්නෙත් දෙමළ බස සමග තිබෙන සම්බන්ධය ම තමයි. ඔවුන් කැමති නම් සිංහල මුස්ලිම්වරුන් වෙන්නට, ඇය සිංහල අය එයට ඉඩ නොදෙන්නේ. සිංහල මුස්ලිම් යන අනන්‍යතාවත්, සිංහල ක්‍රිස්තියානි යන අනන්‍යතාවත් අතර වෙනසක් තිබෙනවා ද?

ජාතීන් අතර සංහිඳියාව ගොඩනගන්නට ස්වාභාවික ස්වීකරණය තරම් හොඳ වෙනත් මාර්ගයක් නැහැ. හැබැයි, ස්වීකරණයට බාධාකාරී වන ජාතිවාදී ප්‍රවණතා නීතියෙන් ම පිටුදකින්නට අවශ්‍යයි. එසේම, ස්වීකරණය වෙනුවෙන් තරග කරන්නට, ආයෝජන කරන්නට යාමෙනුත් සිදුවන්නේ ස්වාභාවික ස්වීකරණයට බාධාවක්. ස්වාභාවික ස්වීකරණයෙන් ජාතියක් විනාශ වන්නේ නැහැ. ඒක හුඹස් බියක්.

දේශපාලන ප්‍රජාව කියන්නෙ නිරන්තරයෙන් පුළුල් වෙමින් තිබෙන එකක්. කවුරු කැමති වුණත්, නැති වුණත් එය සිදුවෙනවා. විශේෂයෙන් ම, ගෝලීයකරණය නොවැළැක්විය හැකිව තිබෙන වර්තමාන සංදර්භය තුළ මිනිසුන් අතර පවතින සියලු වෙනස්කම් ඉක්මවා යමින් ලෝක ප්‍රජාවක් නිර්මාණය වෙමින් ඉන්නවා. ලංකාවේ ගත්තත්, වර්තමාන අගනාගරික තරුණ ප්‍රජාව ලංකාවේ ගැමි අනන්‍යතා ඉක්මවා ගිය ලෝක ප්‍රජාවක් ලෙස හඳුනාගත හැකියි. ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජාතික දේශපාලන ප්‍රජාවන් අතීතයට අයත් ඒවායි. ඒ වෙනුවට අලුත් දේශපාලන ප්‍රජාවක් ගොඩනගාගැනීමට තමයි අප අරගල කළ යුතුව තිබෙන්නේ. ඒ අලුත් දේශපාලන ප්‍රජාවේ හැඩය තීරණය වන්නේ අපේ මැදිහත්වීම අනුවයි. මෙය අසාර්ථක වුණ ශ්‍රී ලාංකික අනන්‍යතාව එක්ක පටලවා ගන්නට එපා.

ජන අනුපාතයන් සම්බන්ධයෙන් ජාතීන් අතර ඇති වී තිබෙන විවාදය කෙරෙහි අපේ අවධානය යොමු කළ යුතු වන්නේ මෙම සංදර්භය තුළයි.

2012 ජන සංගණනයේ තොරතුරු පදනම් කරගෙන ළමා ජනගහනයේ ජනවාර්ගික සංයුතිය සකසා දෙන ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉන්දු බණ්ඩාර මහත්මියගෙන් කරන ලද ඉල්ලීමකට පිළිතුරු ලෙස ලැබුණු බව කියන කරුණු ප්‍රමාණයක් පාදක කරගෙන පසුගියදා පිවිතුරු හෙළ උරුමය තර්ක කළේ මෙහෙමයි:

“2012 දී සමස්ත ජනගහනයෙන් 75%ක් සිංහල, 11%ක් ලංකා දෙමළ, 4%ක් ඉන්දියානු දෙමළ සහ 9%ක් මුස්ලිම්. ඒ වසරේ දීම ළමා ජනගහනයෙන් 71%ක් සිංහල, 12%ක් ලංකා දෙමළ, 5%ක් ඉන්දියානු දෙමළ සහ 12%ක් මුස්ලිම්. සමස්ත ජනගහනයට සාපේක්ෂව ළමා ජනගහනයේ දී ලංකා දෙමළ, ඉන්දියානු දෙමළ සහ මුස්ලිම් කියන ජනවර්ගවල ප‍්‍රතිශතය ඉහළ ගිහින්. නමුත් සිංහල පමණක් 75% සිට 71% දක්වා 4%කින් අඩු වෙලා. වැඩිම වර්ධන වේගයක් පෙන්වන්නේ මුස්ලිම්. මුස්ලිම් ජනගහනය 9% සිට 12% දක්වා වැඩි වෙලා. 9 සහ 12 කුඩා ඉලක්කම් ලෙස පෙනුනත් එය බරපතල වර්ධනයක්. 33% වඩා වැඩි වර්ධනයක්,” යි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පුවත්පත් සාකච්ඡාවේදී පවසනවා. 

“අවුරුදු 5 සිට 9 දක්වා වයස් කාණ්ඩයට සාපේක්ෂව අවුරුදු 0 සිට 4 දක්වා වයස් කාණ්ඩය තුළ සිංහල ජනගහනය වැඩි වී ඇත්තේ 0.5%කින්. නමුත් මුස්ලිම් ජනගහනය 1.4%කින් නැතිනම් තුන් ගුණයකින් වැඩි වී තිබෙනවා. මෙය අද තත්ත්වය නෙමෙයි. 2012 තත්වයයි. වත්මන් තත්ත්වය දැනගන්න වෙන්නේ 2021 පවත්වන ජන සංඝනනයෙන් පසුවයි. මෑත කාලයේ මුස්ලිම් ජනගහනයේ සීඝ‍්‍ර වර්ධනය දශක ගණනාවක් පුරා දකින්න ලැබෙන දෙයක්. 1953 දී 6%ක් වූ මුස්ලිම් ජනගහනය අවුරුදු 28කට පස්සේ 1981 දී වර්ධනය වී තිබුණේ 7% දක්වා පමණයි. නමුත් එයින් අවුරුදු 30කට පස්සේ 9% දක්වා වර්ධනය වෙලා. ළමා ජනගහනයේ ප‍්‍රවණතා සලකා බලන විට ඉදිරි වසර දහය තුළ මුස්ලිම් ජනගහනය 12% ඉක්මවා යනවා,” යි උදය ගම්මන්පිල වැඩිදුරටත් පැවසුවා.

දැන් මෙවැනි ඉදිරිපත් කිරීමකින් සිදුවන්නේ කුමක් ද? මුස්ලිම් ජාතිය සම්බන්ධයෙන් අසීමිත භීතියක් සිංහල ජාතිය තුළ ඇතිකිරීමයි. එකී භීතිය උදය ගම්මන්පිල විසින් ප්‍රවර්ධනය කරනු ලබන ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂට සිංහල ඡන්දවලින් පමණක් ජයග්‍රහණය කිරීමට උපයෝගී කරගත හැකි බවයි ඔහු විශ්වාස කරන්නේ. සුළු ජාතික විරෝධය නිසා ගෝඨාභය රාජපක්ෂට සිංහල ඡන්දවලින් 65-70% වැනි ප්‍රමාණයක් ලබා ගන්නට සිදුවෙනවා ජනාධිපතිවරණය ජයගන්නට නම්. ඒ වෙනුවෙන් තව තවත් ජාතිවාදය ඇවිස්සිය යුතුයි. සිංහලයන් බියෙන් ත්‍රස්ත කළ යුතුයි. එයයි මේ කරන්නේ.

ඉතින් බිය වූ පළියට වැඩක් වෙයි ද? රටක ජනගහනය අඩුත් නොවී, වැඩිත් නොවී ඒ මට්ටමෙන් ම පැවතීමට නම් ප්‍රජනන වියේ පසුවන කාන්තාවන්ගේ දරුවන් සංඛ්‍යාවේ සාමාන්‍යය 2.1ක් විය යුතු යි. ඒ අනුව, ප්‍රජනන වියේ හැම ගැහැණියකට ම ළමයින් දෙදෙනෙකු හෝ සිටිය යුතුයි. හැම ගැහැණියකට ම දරුවන් නොසිටින නිසා දරුවන් සිටින කාන්තාවන්ට අඩු ගණනේ දරුවන් තිදෙනෙකු හෝ සිටිය යුතුයි. එහෙත්, දරු තිදෙනෙකු හදා වඩාගැනීම වර්තමානයේ කොතරම් දුෂ්කර කාර්යයක් ද යන්නත්, ඒ වෙනුවෙන් විශේෂයෙන් ම කාන්තාවන් කොයි තරම් කැපකිරීමක් සිදුකරමින්, ශාරීරික, මානසික, සෞඛ්‍යමය, සමාජමය, වෘත්තීයමය අභියෝග ප්‍රමාණයක් දරාගත යුතු ද යන්න දරුවන් හැදූ අය දන්නවා. එහෙත්, මේවා ගැන සමාජයට උපදෙස් දෙන උදය ගම්මන්පිලගේ දරුවා මේ රටේවත් නැති ඕස්ට්‍රේලියානු පුරවැසියෙක්. විමල් වීරවංශට පවා ඉන්නේ දරුවන් දෙදෙනෙකු පමණයි.

මෙම සංදර්භය තුළ බිය වීමෙන් කිසිවක් සිදුවන්නේ නැහැ. ඒ නිසායි අප කියන්නේ මෙයට විසඳුම ජාතික සීමාවන් ඉක්මවා ගිය අලුත් දේශපාලන ප්‍රජාවක් ගොඩනැගීම වෙනුවෙන් වැඩකිරීම බව.

ඒ වගේ ම පහත දැක්වෙන සංඛ්‍යා දත්තත් අප අමතක නොකළ යුතු යි.

පසුගිය ජන සංගණනයන්හි සංඛ්‍යාලේඛන ප්‍රතිපල අනුව එක් එක් ජනවර්ගයන්ට අදාළ ජනගහන ප්‍රතිශතයන් තමයි පහත දක්වා තිබෙන්නේ. 1991 වසරේ රටේ පැවති වාතාවරණය තුල, දස වසරකට වරක් පැවැත්වෙන මෙම සංගණනය නොපැවැත්වුණු අතර ඉන් අනතුරුව 2001 පැවති ජන සංගණනයේදී  උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක 7 ක තොරතුරු ආවරණය  කිරීමට නොහැකි වුණා. ඒ නිසා එම සංගණන දෙක මෙහි දක්වා නැහැ..

ජන වර්ගය1901197119812012
සිංහල65.4 %72.0 %74.0 %74.9 %
ශ්‍රීලංකා දෙමළ26.7 %11.2 %12.7 %11.2 %
ඉන්දියානු දෙමළ9.3 %5.5 %4.2 %
මුස්ලිම්/මුවර්6.4 %6.7 %7.0 %9.2 %
වෙනත්1.5 %0.8 %0.8 %0.5 %

ලංකාවේ ජනගහණය පිළිබඳ ඇති විධිමත් සංඛ්‍යාලේඛන අනුව ජාතීන් අනුව ජනගහනය පිළිබඳ පැහැදිලි දත්ත හමුවන්නේ 1881 ජනසංගණනය අනුවයි. එහෙත් ඒ වනවිටත් ජාතීන්ගේ නූතන ස්වරූපයන් තවමත් හැඩගැසෙමින් තිබුණා. නිදසුනක් ලෙස සිංහලයන් උඩරට, පහතරට ලෙස ප්‍රවර්ග දෙකක් ලෙස සැලකීමේ ප්‍රවණතාවක් සිංහලයන් තුළම පැවතිණි. 

කෙසේවෙතත්, සංගණනයට අනුව 1881දී සිංහලයන්ගේ ප්‍රතිශතය 66.91%කි. 2011 සංගණනය වනවිට මෙම ප්‍රතිශතය 74.88%කි. 

ශ්‍රී ලාංකික මුස්ලිමුන්ගේ ප්‍රතිශතය 1881දී 6.69%කි. 2011දී 9.23%කි. 

1881දී ශ්‍රී ලාංකික දෙමළ ප්‍රතිශතය 24.90%කි. එය 2011 වනවිට 11.21%කි වී තිබේ. 1911 සංඛ්‍යාලේඛන අනුව ඉන්දියානු දෙමළ ජනගහනය 12.93%ක්ද, ලාංකීය දෙමළ ජනගහණය 12.86%ක්ද විය. 2011 වන විට ඉන්දියානු දෙමළ ජනගහණය 4.16%කි. 

ඉහත සංඛ්‍යාලේඛන අනුව බලන කල ඉතා පැහැදිලිවම සිංහල ජනගහනයේ ප්‍රතිශතය වැඩි වී තිබෙනවා. වෙනත් ජාතීන් සිංහල ලෙස ස්වීකරණය වීමට වැඩි නිදහසක් ලැබේනම් තත්වය තවත් වෙනස්වන්නට පුළුවන්. සිංහලයන් මහ ජාතිය වීම නිසා ස්වීකරණය වැඩිපුර සිදුවිය හැක්කේ සිංහල ජනගහනය වැඩි විය හැකි පරිදියි. හැබැයි, එය ජාතිකවාදීන්ගේ වැඩක්. ප්‍රගතිශීලීන් ලෙස අපේ කාර්යය එය නෙමෙයි. අප වැඩ කරන්නේ පුළුල් දේශපාලන ප්‍රජාවන් ගොඩනගන්නටයි.  

Leave comment

Your email address will not be published. Required fields are marked with *.