Election Violence in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ (Read in English here>>)

ඡායාරූපයේ සිටින කාන්තාව කවුරු ද ඇයට මේ සිදු වී තිබෙන්නේ කුමක් ද යන්න ගැන දැනගන්නට ලිපිය අවසන් වනතුරු කියවන්න. මේ ඉතිහාසය දැනගැනීම වටී.

ලංකාව මැතිවරණ ආශ්‍රිත ප්‍රචණ්ඩත්වයේ යුග කීපයක් පසුකරලා දියුණුව කරා පැමිණ තිබෙනවා. 1977 වසරේ එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ පසු දින කීපයක් පොලිසියට නිවාඩු දුන්නා ය කියා කියනවා. එහි සත්‍ය අසත්‍යභාවය කුමක් වුවත්, පොලිසිය නිකම් බලා සිටිද්දී ජයග්‍රාහී එජාප ආධාරකරුවන් විරුද්ධ පාක්ෂිකයන්ට පහර දුන්නා; ගෙවල් ගිනි තිබ්බා; මංකොල්ලකෑවා.

1977 සිට 1994දී ජනාධිපති ඩී.බී. විජේතුංගගේ නායකත්වයෙන් පවත්වන ලද මැතිවරණය දක්වා සියලු මැතිවරණ අතිශය දූෂිතයි. හොර ඡන්ද දැමීම්, ඡන්දදායකයන් බියවැද්දීම්, මිනීමැරීම්, පහරදීම් වැනි ක්‍රියා ඉතා සුලබ වුණා. ඒ අතරින් 1981 යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය අතරතුර දකුණෙන් යවන ලද එජාප මැරවරයන් විසින් යාපනය පුස්තකාලය ගිනිතබන ලදී.

1988 පළාත් සභා මැතිවරණ හා ජනාධිපතිවරණය, 1989 මහ මැතිවරණය ජවිපෙ මැතිවරණ වර්ජන, ආණ්ඩු පක්ෂයේ දූෂණ සහ දෙපාර්ශ්වයේ ම ප්‍රචණ්ඩ ක්‍රියා මැද ලේ ගලන මැතිවරණ බවට පත් වුණා. මෙම මැතිවරණවලදී අපේක්ෂකයන් පමණක් නොව පළමුව ඡන්දය දුන් ඡන්දදායකයන් පවා මරා දැමුවා. ඡන්ද මධ්‍යස්ථානවලට පහර දුන්නා. ඒ වගේ ම ආණ්ඩු පක්ෂය විසින් විශාල වශයෙන් හොර ඡන්ද දැමීම ද කළා.

Sinhala Tamil English Translations and Content Writing

ලලිත් ඇතුලත්මුදලි හා හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස කොටි සංවිධානය විසින් මරා දමනු ලැබුවේත් පළාත් සභා මැතිවරණයක් අතරතුරයි.

1994 ජනාධිපතිවරණ සමයේදී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් එජාප අපේක්ෂක ගාමිණී දිසානායක මරාදැමුවා. මේ සිද්ධියේදීත්, ඉහත සඳහන් සිද්ධිවලදීත් තවත් විශාල පිරිසක් මියගියා.

1994 මහ මැතිවරණය යාපනය දිස්ත්‍රික්කය ඇතුළු දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ පාලනය තුළ පැවති යාපනය දිස්ත්‍රික්කයේ පවත්වන්නට හැකිවුණේ නැහැ. ඩග්ලස් දේවානන්දාගේ ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ස්වාධීන කණ්ඩායමක් ලෙස තරග කරමින් යාපනය දිස්ත්‍රික්කයෙන් ආසන නවයක් ම දිනාගත්තේ ඡන්ද 10,000කට මඳක් වැඩියෙන් ලබාගනිමිනුයි. එයිනුත් ඡන්ද 10,000කට ආසන්න ප්‍රමාණයක් වැටුණේ එම අතුරු හමුදා කණ්ඩායමේ පාලනය යටතේ තිබුණු දූපත් ප්‍රදේශවලිනුයි. ඇතැම් මන්ත්‍රීවරුන් පත්වුණේ මනාප දහයටත් අඩුවෙන් ඡන්ද ලබාගනිමිනුයි.

2000 ජනාධිපතිවරණයේ අවසන් රැස්වීමකදී කොටි සංවිධානය විසින් එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා. එයින් චන්ද්‍රිකාට එක් ඇසක් අහිමි වනමුත්, එය අවසන් ප්‍රතිඵලයට බලපානවා. ඇය ජයගන්නවා.

1994න් පසුව බලයට පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ජනාධිපතිත්වයෙන් යුත් රජය ද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා දිගට ගෙන ගියා. 1999 වසරේ පැවැත්වුණ වයඹ පළාත් සභා මැතිවරණය ප්‍රචණ්ඩ ක්‍රියා වැඩියෙන් ම සිදු වූ මැතිවරණයක් ලෙස වාර්තා වෙනවා. ආණ්ඩුවට සම්බන්ධ මැරවරයෝ කාන්තාවක මහ දවාලේ ප්‍රසිද්ධියේ නිරුවත් කර පහර දුන්නා.

2001 වසරේ දෙසැම්බර් මස 05වන දින මහ මැතිවරණ දිනයේදී හිටපු ආරක්ෂක ඇමතිවරයකු වූ අනුරුද්ධ රත්වත්තේගේ කාර්යමණ්ඩලයක් විසින් මහනුවර උඩතලවින්න ප‍්‍රදේශයේ දී මුස්ලිම් තරුණයන් දස දෙනකු මරා දැමීම මැතිවරණ ප්‍රචණ්ඩත්ව ඉතිහාසයේ සලකුණු වන දිනයකි. මේ ඝාතනය සම්බන්ධ සියලු විත්තිකරුවන් පසුව නිදහස් වුණා.

2004 අප්‍රේල් මස පැවැත්වුණ මහමැතිවරණයේදී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය ඡන්දදායකයන්ට දැඩි බලපෑම් කළ බවට චෝදනා එල්ල වෙනවා. ඔවුන්ගේ සහාය ලැබූ දෙමළ ජාතික සන්ධාන කණ්ඩායම එම මැතිවරණයේදී අති විශාල ජයග්‍රහණයක් ලැබුවා.

2011 ඔක්තෝබර් 8 දින පැවැත්වුණ පළාත් පාලන මැතිවරණය අතරතුර එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සමීප හිතවතකු වූ දුමින්ද සිල්වා සහ ඔහුගේ සහචරයන් විසින් ඔහු නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ම තවත් නායකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් මරාදැමුවා.

2015 ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආධාරකරුවකු ඝාතනය කරනු ලැබූ බවට චෝදනා එල්ල වුණා.

2015න් පසු මැතිවරණ ප්‍රචණ්ඩත්වය බොහෝ දුරට අවම වුණා. ඇත්තෙන් ම මැතිවරණත් අඩු වුණා.

ඉහත ඡායාරූපයේ සිටින කාන්තාවගේ කතාව ඔබ කියවිය යුතුයි. ඇගේ නම සුජීවා අත්තනායක. ගම තිබෙන්නේ ආනමඩුව ප්‍රදේශයේයි. ඇයත්, ඇගේ සැමියාත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ආධාරකරුවන්. 1994 මහ මැතිවරණ සමයේ එම ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වූ ද.මු. දිසානායකගේ මැරවරයන් විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් ඇය ලැබූ තුවාල තමයි ඡායාරූපයේ පෙනෙන්නේ.

ඊටත් වඩා කණගාටුදායක කතාව දන්නවා ද? මැරවරයන්ගේ තර්ජන නිසා ඔවුන් පන්සලට ගිහින් එහි සිටියා. පන්සලේදී ඔවුන්ගේ දුව වැඩිවිය පැමිණියා. ආපසු ගෙදර යන්නැයි හාමුදුරුවන් ඔවුන්ට කිව්වා. ඔවුන් ගෙදර ගිහින් බයෙන් බයෙන් හිටියා.

රෑ දුවට වැසිකිළි යන්නට ඕනෑ වුණා. නිවසින් පිටත තිබුණ වැසිකිළියට බිරිය දරුවාත් කැටුව ගියා. දරුවාගේ ආරක්ෂාවට ඇයත් එහි සිටියා. සතුරු බෝම්බ ප්‍රහාරය එල්ල වුණේ ඒ වෙලාවේ.

අර වැඩිවිය පත් වී සිටි දියණිය එම බෝම්බ ප්‍රහාරයෙන් මියගියා.

මැතිවරණ ප්‍රචණ්ඩත්වය පිටුදකිමු. කවුරු ඡන්ද දිනුවත් කමක් නැත. 2015න් පසු සිදු වූ වෙනස රැකගන්නට සංවේදී වෙමු.

3 thoughts on “මැතිවරණ ප්‍රචණ්ඩත්වය ගැන දුක්බර කතාවක්

  1. ලලිත් ඇතුලත්මුදලි සහ ප්‍රේමදාස මරා දැමුණේ ද පළාත් සභා මැතිවරණ ජන්ද ව්‍යාපාරය අතරතුරදී ය.

    ඒ අවස්ථාවල දී සහ ඔබ දක්වා ඇති ගාමිණී දිසානායක මරා දැමුණු මොහොතේ ද තවත් විශාල සංඛ්‍යාවක් මිය ගිය බව ද ඔබේ ලිපියේ සඳහන් කළ යුතුය.

  2. මැතිවරණ ප්‍රචන්ඩත්වය කැපීපෙනෙන අයුරින් වර්ධනය වුනේ 1970 සමගි පෙරමුණ ජයග්‍රහණයේදීයි. අත්තනගල්ලට ආසනයට අයත් වේයන්ගොඩ නගරයේ දුම්රිය කපොල්ලෙ බෝගහ යට තරුණයො ටිකක් ඉදගෙන එතනින් යනඑන යූ.එන්.පී. කාරයෝයි සැකසිතෙන එවුන් ලව්වා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ පින්තූරෙට වන්දවනවා පාසැල් සිසුවෙක් වශයෙන් මම දැක්කා. ඒකෙ ජරාම පැත්ත තමයි වේයන්ගොඩ පේෂකර්ම සංස්ථාවේ වැඩට ආපු සායකින් හා කොළපාට හැට්ටයකින් සැරසුනු තරුණියකගේ හැට්ටය මේ පාදඩයින් ඉරා දමපු එකත්, එ තරුණිය තම අත්බෑගය හා හැකි අන් සැම අයිරින් සිය ව්ළිවසාගෙන දිවගිය අයුරු. 77දී යු එන් පී කාරයො ඒක පොළියත් එක්ක ගත්ත. දැදිගම අතුරු මැතිවරණයේදීත් දැදිගම ආණ්ඩු පක්ෂයට ගන්න ආණ්ඩුවෙන් සෑහෙන්න ප්‍රචණ්ඩකාරී බළපෑම් කලා. ඒවායෙ අනිසි ප්‍රථිඵල තමා 77 ප්‍රචණ්ඩත්වය. මම මේවා අනුමත කරන්නෙ නැහැ. නමුත් ඒකයි යථාර්තය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.