මරනයට මුහුන දෙන අයුරු පෙන්වූ ඉරාන සෙන්පතිවරු

නීතිඥ ජගත් ගුණවර්ධන

මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ 1979 වසරේදී සිදු වූ ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් පසු මුලින්ම ඝාතනය කරන ලද ඉරාන හමුදා ජෙනරාල්වරුන් සිවුදෙනා ජීවතුන් අතර සිටියදී ගත් අවසන් මොහොතයි​. මොවුන් අත් පුටුවල බැඳ මේ ඡායාරූපයන් ගෙන සුලු වේලාවකින් මරා දමන ලදී.

මේ සිද්ධියේ ඇසින් දුටු වාර්තා අනුව, මෙම ජෙනරාල්වරුන් තම අවසානයට මුහුණ දුන් අයුරු විස්තර කර තිබිණි. ඒ පිළිබඳ 1979 පෙබරවාරි මාසයේ උගත් දේ දශක හතරකට පසුත් මගේ මතකයේ පවතී.

Sinhala Tamil English Translations and Content Writing

මෙහි වම් කෙලවරේ සිටිනා නසීරි, ඉරාන රහස් පොලීසියේ ප්‍රධානියාව සිටි, නපුරු පුද්ගලයෙකු ලෙස ප්‍රකට අයෙකි. නමුත්, ඔහුව මරා දැමීම සඳහා කිහිප දෙනෙකු විසින් ඇදගෙන විත් ඇති අතර අවසන් මොහොතේ වික්ශිප්තව ඉස්ලාම් යාඥා පාඨ මුමුනමින් අවසානයට මුහුණ දී තිබේ.

දෙවනුව ඝාතනයට ලක්වූ ජෙනරල් නජී (වමේ සිට තෙවැන්නා), ඍජුව සහ නිහඬව අවසන් ගමන් ගොස් තිබේ. ඔහු ගැන කෙසේ සිතුවද ඔහුගේ අවසානය ධෛර්‍යවත් ය.

තෙවැනිව ඝාතනය වූ ජෙනරාල් ක්‍රවුසෝඩඩ් (දකුණු කෙළවර​) සතුරු අත් අඩංගුවට​ පත් මොහොතේ සිටම නිර්භයව නමුත්, කිසිදු තැකීමක් නොමැතිව කල් ගෙවා ඇති අතර​, අවසන් ඡායාරූපයේද සිටින්නේ සිනාමුසු මුහුණෙනි. මරා දැමීමට පෙර​, තම ඇස් සහ අත් නොබඳින ලෙස සහ තමාගේ මරණය දැක බලා ගැනීමට ඉඩදෙන ලෙස ද කළ ඉල්ලීම මුරට සිටි සෙබළුන් විසින් ඉටුකර තිබේ. ඔහුගේ නිර්භීතභාවය කෙරේ ඔවුන්තුළ ද මහත් ගෞරවයක් තිබූ බව දුටුවන් ප්‍රකාශකර තිබේ. ඍජුව සිටගෙන​, ඝාතකයන් දෙස බලා ඔහු විසින්ම​ තමා මරණයට පත්වීමට​ සූදානම් බවට​ සංඥාකර​ තිබීම විශේශයකි.

අවසානයේ මියගිය ජෙනරල් රහීමි (වමේ සිට දෙවැන්නා), අත් අඩංගුවට​ පත් අවස්ථාවේ සිට අවසානය තෙක්, නිර්භයව තමන්ට හැකි සියලු අවස්ථාවලදී කලහකාරී ලෙස ප්‍රතිවාදීන්ට මුහුණ දී ඇත​. අවසානයේදී ද​, තම අත් සහ ඇස් බැඳීමෙන් වළකින ලෙස අණ කර තිබෙන ඔහු, අවසානයේදී ෂා රජු දිනේවා යනුවන් මොරගා තිබේ. ඉරාන ඉස්ලාමීය විප්ලවයේදී සිදු වූයේ මොහොමඩ් රේසා ෂා පාලවි රජුගේ පාලනය පෙරළා සමා අයතුල්ලා කොමෙයිනිගේ නායකත්වයෙන් ඉස්ලාමීය ජනරජයක් පිහිටුවීමයි.

මේ සිවුදෙනා අතරින් එදා මා විශේෂයෙන් ගෞරවයට ලක් කළේ රහීමිගේ චර්යාව මුත්, පසුකලකදී, කිසිවක් සහ කිසිවකු පිලිබඳ නොතකමින් තම ඉරණම ද සැහැල්ලුවෙන් බැහැර කිරීමට සමත් වූ ජෙනරාල් ක්‍රවුසෝඩඩ් වඩාත් මගේ සිත්ගත් බව කිවමනා ය​.

අද වනවිට මා සිටිනුයේ එදා ජෙනරාල් රහීමි සහ ජෙනරාල් ක්‍රවුසෝඩඩ් සිටි වයසට ආසන්න වයසක ය​. ඒනිසා මේ පිලිබඳව මෑත දිනයකදී නැවතත් සිතුවෙමි. ජෙනරල් රහීමි කෙරේ ගරුත්වය අඩුවක් නැතත්, ජෙනරාල් ක්‍රවුසෝඩඩ් පිලිබඳ ගරුත්වය මේ වන විට තවත් වැඩිවී තිබේ. මේ වනවිට ඔහු සිතූ සහ ක්‍රියා කළ ආකාරය වඩාත් මට සමීප චර්යාවක් බව වටහාගෙන සිටිමි.

මේ දශක හතර තුළ​ ,අවස්ථා ගණනාවකදී, මා ද මරණයට ආසන්න තත්වයන්ට මුහුණ පෑ අතර​, ඒ සියලු අවස්ථාවලදී, මේ සිද්ධියෙන් උගත් දේ යළි යළිත් මතකයට නැගිණි. මිය ගියායින් පසුව නම් දැනගත් සහ ඡායාරූපයෙන් දුටු මේ ඉරාන ජෙනරාල්වරුන් තිදෙනා මරණය පිලිබඳ වැදගත් පාඩම් මා වෙත ලබා දී තිබේ.

තම මරණයෙන් අපට ඉතා වටිනා පාඩමක් ලබා දුන් ඔවුන් තිදෙනාට මාගේ ප්‍රණාමය​!