නාලක ගුණවර්ධන

විද්‍යා ලේඛකයෙකු හැටියට වසර 25ක වැඩි වෘත්තිය අත්දැකීම් ඇති නාලක ගුණවර්ධන මෙරට පුවත්පත්, සඟරා, රේඩියෝ, ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් යන සියලුම මාධ්‍ය හරහා සන්නිවේදනය කොට තිබෙනවා. 2011 සිට රාවය පුවත්පතට “සිවුමංසල කොලුගැටයා” නමින් සතිපතා තීරු ලිපියක් ලියන නාලක, නව මාධ්‍ය පිළිබඳ ගවේෂණ හා පර්යේෂණ කරන්නෙක්. පුවත්පත් කලාවේ අනාගතය ගැන ඔහුගේ මේ කෙටි සටහන ඉතා වැදගත් එකකැයි අප සිතනවා – සංස්කාරක

2019දී අප සිටින්නේ 2015ට පෙර පැවති දරුණු මාධ්‍ය මර්දනය පහව ගොස් මාධ්‍ය නිදහස වඩාත් ස්ථාපිත කරනු ලැබූ අවධියකයි. යම් අස්වැසිල්ලක් ලත් මේ අවස්ථාවේ මෙරට මාධ්‍ය වෘත්තිකයන් කළ යුත්තේ දිගුකාලීනව සිය නිදහස තහවුරු කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවලට විචාරශීලීව සම්බන්ධ වීමයි. එසේ කරන අතරම සිය මාධ්‍යකරණයේ වෘත්තීමයභාවය (professionalism) වැඩි කර ගැනීමයි.

Sinhala Tamil English Translations and Content Writing

තාක්ෂණය, ආර්ථික සාධක හා ජනව්‍යුහාත්මක (demographic) සාධක යන තුනම මාධ්‍ය අනාගතයට තීරණාත්මකව බලපානවා. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ප්‍රගමනය මාධ්‍ය කර්මාන්තයට හා වෘත්තියට ප්‍රබල බලපෑම් එල්ලකිරීම තවදුරටත් සිදුවෙනවා.

තාක්ෂණය මාධ්‍ය අනාගතයට වැදගත් හා තීරණාත්මක වූවත්, එය මෙවලමක් පමණයි. ජනමාධ්‍යකරණයේ මූලික හරයන් ඊයේ මෙන්ම අදටත්, අද මෙන්ම හෙටටත් එක සේ අදාළයි.

නුදුරු අනාගතයේ යම් දිනෙක පත්‍රකලාව ඉතිරි වී පත්තර නැති විය හැකියි. ඒ කියන්නේ අප දන්නා ආකාරයට කඩදාසි ගොන්නක මුද්‍රණය කොට, රට පුරා බෙදා හරිනු ලැබ පත්තර ලෑලිවල විකුණන පත්තර තව කොපමණ කලක් පවතීදැයි සැක සහිතයි. සමහර විට අවුරුදු 15 – 20ක් විය හැකියි.

එහෙත් පොදු උන්නතිය උදෙසා පෙනී සිටින ජනමාධ්‍යවේදය (public journalism) කඩදාසි මාධ්‍යය නොමැතිව වුව තවත් දිගු කලක් වෙනස් ආකෘතීන්ගෙන් පවතිනු ඇති. පත්‍ර කලාවට හරි හමන් අනාගතයක් හා සමාජ අදාළත්වයක් දිගටම තිබීමට නම් එය කරවන ඇත්තන් නවෝත්පාදනයට හා නව අදහස්වලට විවෘත විය යුතුයි.

සමාජ මාධ්‍ය මේ වන විට හුදෙක් සාමීචි කථා කරන පුද්ගලික වේදිකා ඉක්මවා ගොසින්, පොදු තොරතුරු බෙදා ගන්නා, මහජන සංවාද කරන අවකාශයන් බවට පත් වෙලා. මෙතෙක් නොතිබූ බලයක් සාමාන්‍ය ජනයාට මේ හරහා ලැබෙනවා.

මන්ද සමාජ මාධ්‍යවල වැඩිම අවධානයට යොමු වන්නේ සිය සහෘදයන් නිර්දේශ කරන හෝ බෙදා ගන්නා (ෂෙයා කරන) අන්තර්ගත මිස නාමධාරී මහා මාධ්‍ය ආයතනවල අන්තර්ගතයම නොවෙයි. මේ නිසා සමාජ මාධ්‍ය වේදිකාවල නිසි අවධානයට ලක් නොවන, ඇති තරම් මිතුරු/අනුගාමික පිරිසක් ගොඩනඟා නොගත් මහා මාධ්‍ය ටිකෙන් ටික කොන් වී යා හැකියි.

ඉක්මනින් පුවත් ආවරණය කිරීමේ බලය සජීව ටෙලිවිෂන් නිසා පත්තරවලින් ගිලිහී ගියා සේ, මීළඟට මුද්‍රිත හා විද්‍යුත් මහා මාධ්‍ය දෙකෙහිම සමාජ බලපෑම හීන කරනුයේ සමාජ මාධ්‍ය විසිනුයි. මහා මාධ්‍ය කැමති වුණත් නැතත් ඔවුන්ගේ ඉරණම තීන්දු කරනුයේ ඩිජිටල් හා වෙබ් අවකාශයෙහිය.

එහෙත් වෙබ් අවකාශයේ සැරිසරන සුවහසක් ජනයාට බෙදා ගන්නට තවදුරටත් විශ්වසනීය, වෘත්තීමය ලෙස සම්පාදිත අන්තර්ගතයන් අවශ්‍යයි. ඒවා ඇති තරම් ජනනය කිරීමට වෘත්තිය පුහුණුවක් ලද, ආචාර ධර්මීයව ක්‍රියා කරන මාධ්‍යවේදීන්ද අත්‍යවශ්‍යයි.

මේ නිසා මහා මාධ්‍ය හා සමාජ මාධ්‍ය යන දෙකම වෘත්තීමය ලෙස හැසිරවීමේ හැකියාව ඇති මාධ්‍යවේදීන්ට ලොකු ඉල්ලුමක් මතුවෙනවා. මේ රැල්ලට සාර්ථකව අනුගත වන තරුණ මාධ්‍යකරුවන් දැනටමත් අප අතර සිටිනවා.

සමාජ මාධ්‍ය වේදිකා හරහා ව්‍යාජ පුවත් (fake news), අර්ධ සත්‍යයන් හා කුමන්ත්‍රනවාදී ප්‍රබන්ධයන් ගලා යාම වැඩිවෙමින් තිබෙනවා. මෙයට එක් පිළියමක් නම් විශ්වසනීයත්වය දිනූ, වෘත්තිය මාධ්‍යවේදීන් වඩාත් සමාජ මාධ්‍ය වේදිකාවල සක්‍රිය වීමයි. එසේම අප සැමගේ ඩිජිටල් සාක්ෂරතාව (digital literacy) ඉක්මනින් දියුණු කර ගැනීම හදිසි අවශ්‍යතාවක්.

1 thought on “පුවත්පත් කලාවේ හෙට දවස කෙබඳු ද?

Leave comment

Your email address will not be published. Required fields are marked with *.