සංවාද මණ්ඩපය අද

වධහිංසනයට ලක්වූවන්ට සහාය සඳහා වන ජාත්‍යන්තර දිනය ජුනි 26දා ය. මෙම රූපයේ දැක්වෙන ආරාධනය මට ලැබුණේ එහෙයිනි.

මම වධකාගාර කීපයක ‘ජීවත් වී’ මරණයෙන් බේරී පැමිණියෙක්මි. ඒ 1983 සිට තහනම් කර තිබුණු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු ලෙස දේශපාලනය කිරීමේ ප්‍ර‍තිඵලයක් ලෙස ය. ජවිපෙ ද එම වකවානුවේ ප්‍ර‍චණ්ඩත්වයේ යෙදුණු ව්‍යාපාරයක් විය.

ප්‍ර‍චණ්ඩත්වය හා වධහිංසනය අතර වෙනසක් ඇතැයි මම සිතමි. ප්‍ර‍චණ්ඩත්වය පුළුල් පරාසයක විහිදෙයි. වධහිංසනය එහි කොටසකි. එසේම, වධහිංසනය ප්‍ර‍චණ්ඩත්වය ඉක්මවා යන්නක් ද වෙයි.

වධහිංසනයේ විවිධ ස්වරූප සමාජ දේහය පුරා ම පැතිරී තිබේ. පවුලෙන් පටන් ගන්නා එය පාසල, විශ්වවිද්‍යාලය, ආදරය, පවුල, ආදී විවිධ පැතිකඩ ඔස්සේ දේශපාලන සිරකරුවන් වධහිංසනය කරා ද පැමිණේ. සිරකරුවන් වධහිංසනයට ලක්කිරීම

නීතිය හා ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවයුතු අංශ විසින් වධහිංසනය මෙවලමක් ලෙස භාවිතා කිරීම කෙරෙහි සමාජයේ සුවිසල් අවධානයක් යොමු වී තිබේ. එය පුළුල්ව පැතිරී තිබීම හා සිදුවන්නක් ලෙස පිළිගැනීමට ලක් වී තිබීම එයට හේතුවයි. පාසල්වල සිදුවන ශාරීරික හා මානසික වධහිංසනය වැනි කාරණා කෙරෙහි අවශ්‍ය අවධානය යොමු වී නැත.

වධහිංසනයේ වින්දිතයකු ලෙස මගේ අත්දැකීම් සමහරක් මා ‘කේපොයින්ට්’ නවකතාවේ රචනා කළෙමි. පහත පළ වන්නේ එයින් කොටසකි.

එකල කඳවුරේ කපා දමා තිබූ ගසක මහ කොටයක් ද මීහරක් පීටී දීම සඳහා යොදා ගැනිණි. දහදෙනෙකු පමණ ලවා එය ඔසවා දෙදෙනෙකුගේ උර මත තබා කඳවුර වටා දුවන්නට බල කරන ලදී. බොහෝ දෙනෙකු පය ඔසවා ගැනීමට බැරිව කොටයත් සමගම ඇද වැටී කොටයට යට වී තුවාල වූ හ. වැටෙන අයට පහර දී නැවතත් කොටය උර මත තබන ලදී. එය බැරි අයට අනෙකුත් ව්‍යායාම වර්ග නොකඩවා කරවන ලදී. එය ද බැරිවුන්ට පොලුවලින් පහර දෙන ලදී.මේ සියල්ල අවසානයේදී ශාලාව තුළට පන්නා දමන ලද එක් සිරකරුවකු සූ සූ හඬ නගමින් පැමිණ කොරිඩෝවේ ඇද වැටුණේ ය.

‘‘ඒයි නැගිටපන්. ඔතන නිදා ගන්න බැහැ ’’ උදේනි ගුගුළේ ය.

සිරකරු වහා කෙළින් වී හිඳ ගත්තේ ය. ඔහු වේගයෙන් වෙව්ලූවේ ය. එක තැන සිටිය නොහැකිව අත පය ගැසුවේ ය. ඔහුගේ ගතින් දහදිය ගඟක් ගලා ගියේ ය.

‘‘මොකද තෝ දඟළන්නෙ. තව ගුටි කන්න ඕනැ වෙලා ද?’’

‘‘සමාවෙන්න සර්, මං දඟලන්නෙ නැහැ. මං දඟලන්නෙ නැහැ සර්. සමාවෙන්න සර්.’’ සිරකරුවා දෙඩෙව්වේ ය.

සිරකරු බිත්තියට හේත්තු විය.

‘‘බිත්තියට හේත්තු වෙන්නෙ නැහැ එකෙක්වත්. කොන්ද කෙළින් තියාගෙන හිටපියව්!’’

සිරකරු වේගයෙන් හුස්ම ඉහළ ඇද්දේ ය. තද සීතලකින් සේ වෙව්ලුවේ ය.

‘‘අනේ සර් මං බිත්තියට විතරක් පොඞ්ඩක් විතරක් හේත්තු වෙන්න ද?’’ ඔහු ඇසී ය.

ඔහුගේ පාලනයකින් තොර හඬ උවමනාවට වඩා උස් හඩක් විය. උගුරේ හිර කරගෙන සිටි වේදනාබර ළතෝනියක් වචනත් සමග පිටවන්නට විය.

‘‘හේත්තු වෙන්නෙ නැහැ තෝ. ඔහොම හිටපිය.’’

‘‘අනේ සර්, මට අමාරුයි.’’ ඔහු කීවේ පාලනයකින් තොර මහ හඬකිනි.

‘‘ඇයි තෝ බබා උකුං ද?’’ උදේනි සිරකරු දෙසට අඩියක් දෙකක් තැබුවේ ය.

‘‘නෑ සර්. අනේ ගහන්න එපා. මං මෙහෙම ඉන්නම්. මං බිත්තියට හේත්තු වෙන්නෙ නැහැ සර්. ගහන්න එපා.’’

එසේ කියා නිමේෂයක් ගත වන විට ඔහු ඇද වැටුණේ ය. මරණ මංචකයේදී පවා බිත්තියෙන් හෝ වාරු ගැනීමට බියෙන්, මුල් දිරා ගිය ගසක් හිටි හැටියේ බිම ඇද වැටෙන්නා සේ ඔහු මැරී ම වැටුණේ ය.

මරණය ඇතැම් විට එතරම් ක්ෂණික විය. තවත් විටෙක වේදනාකාරී ලෙස මන්දගාමී විය.

මෙම පොතේ පළමු මුද්‍ර‍ණයේ අවසන් පොත් කීපය සරසවි, විජිත යාපා, ගුණසේන, ගොඩගේ පොත්හල්වල තිබිය හැකි ය සොයාගත නොහැකි නම් www.kathandara.com වෙතින් විමසන්න.

1 thought on “පුරවැසි ගෞරවය රකින හිංසාවෙන් තොර ශ්‍රී ලංකාවක්

  1. Den bahuthara janayaata 225 ma epaalu . Pilikul lu . Mata hithenne chanda paththrikaawe ‘ Yoogitha ‘ , ( kiciwekuta kamathi netha ) yatathe kathira wediwei wage jana maanasikathwaye dravieyakaranaya chande lanwanavita ihatha lesa sidu wonothin !

Leave comment

Your email address will not be published. Required fields are marked with *.