අජිත් පැරකුම් ජයසිංහ (2019 මැයි 5දා අනිද්දා පුවත්පතේ පළ විය)

2015 ජනවාරි 8 කියන්නෙ මහජන බලාපොරොත්තුවක්. 62 ලක්ෂයක් ඡන්දය දුන්නෙ ඒකට. හැබැයි, ඒ ඡන්දෙන් බලය ලබාගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, අගමැති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුව ඉතා තුච්ඡ විදියට ඒ බලාපොරොත්තු බිඳ දැම්මා.

(ලිපිය දැන්වීමෙන් පසු)
Media and Social Entrepreneur

ඒ වුණත්, පසුගිය වසර හතරහමාරක කාලය තුළ සිදු වූ හොඳ දේත් රැසක් තිබෙනවා. සාමාන්‍යයෙන් දේශපාලනයේ හෝ දේශපාලකයන්ගේ හොඳක් දකින්නට මාධ්‍ය හෝ ජනතාව එතරම් කැමති නැති නිසා, ආණ්ඩුව කළ දේ ජනප්‍රියත්වය වෙනුවෙන් අලෙවි කරගැනීම ඔවුන්ට අභියෝගයක්. කොහොම වුණත්, විවෘත වුණ නිදහස් වාතාවරණය මුළු ලංකාවට ම දරාගන්නට බැරි තත්වයක් තිබෙන බව මුල ඉඳන් ම පෙනුණා. මාර්ග විනයේ පටන් නිදහස වල්බූරු නිදහසක් බවට පත් කරගැනුණා. එහි අවසාන ප්‍රතිඵලය තමයි අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාර. එතනින් ඒ නිදහස් ලංකාව පූර්ණ වෙනසකට ලක් වුණා. මෙතනින් එහාට අප සියලු දෙනා ම දේශපාලනය ගැන අලුතෙන් සිතිය යුතුව තිබෙනවා.

ඉදිරියේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වේවි. එහිදී අනිවාර්යයෙන් ම දේශපාලන නායකත්වයේ වෙනසක් සිදු වෙනවා. මේ මොහොතේ ප්‍රශ්නය හරියට ගෝඨාභය ද, රනිල් ද වගේ එකක්. මේ දෙන්නගෙ වෙනස මම නම් දකින්නෙ මෙහෙමයි.

මේ දෙන්නට ම තියෙන්නෙ එක් ආර්ථික ප්‍රතිපත්තියක්. ඔවුන් දෙදෙනාට පමණක් නොවෙයි, ලංකාවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය බලයට ආවත්, මේ තියෙන මාර්ගයට විකල්ප නැති තරම්. ලංකාව ඒ තරම් හිරවෙලායි ඉන්නේ. අපට අනුගමනය කරන්නට තිබෙන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුම සම්බන්ධයෙන් ඉදිරියෙන් ඉන්නෙ රනිල්. හැබැයි, ඒ සඳහා අවශ්‍ය දේශපාලන, රාජ්‍ය හා සමාජ විනය නිර්මාණය කරගැනීමේ හැකියාව ඔහුට නැති බව දැන් ඔප්පු වී හමාරයි. ඔහු ජනප්‍රිය නායකයෙකු නෙමෙයි. එසේම, බලාපොරොත්තු වූ තරම් දක්ෂ පාලකයකු හෝ දේශපාලන කළමනාකරුවකුත් නෙමෙයි. ඔහුගේ රාජ්‍ය කළමනාකරණ නොහැකියාව ආරම්භ වන්නේ ඔහුගේ ම පක්ෂයේ ප්‍රධාන අනුග්‍රහයෙන් බලයට ගෙන එන ලද ජනාධිපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන සමග දේශපාලන සම්බන්ධය කළමනාකරණය කරගන්නට අසමත් වීමෙන්. අද වන විට එය කෙතරම් ගැඹුරට විහිදී ගිහින් තිබෙනවා ද යත්, මේ දෙන්නා මුහුණට මුහුණ සාකච්ඡා කරනවා ද යන්න පවා සැකසහිතයි. එවැනි සංදර්භයකදී රට අරාජික වෙන එක අමුතුවෙන් පුදුම විය යුතු තත්වයක් නෙමෙයි.

ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියකු ලෙස සිටි හෝ තවමත් සිටින කෙනෙක්. ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් එවකට ජනාධිපති වූ ඔහුගේ සොහොයුරාගේ බලය පාවිච්චි කරමින් කරගෙන ගිය වැඩකොටස තුළ දැකිය වූ ආර්ථික ප්‍රතිපත්තිය රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියමයි. රනිල්ට නොමැති ජනප්‍රියත්වයකින් හා රනිල් ළඟ නොතිබුණු හමුදා විනයකින් එය ක්‍රියාත්මක කරන්නට ඔහුට හැකි වනු ඇතැයි ඔහු පසුපස යන බලවේග බලාපොරොත්තු වෙනවා.

රනිල් බලයට පත් වූ හැටියේ ම මුහුණ දුන් දැවැනතම අභියෝගය අන් කිසිවක් නොව ජනාධිපතිවරණ, මහ මැතිවරණ ආදී ප්‍රචාරණ ක්‍රියාමාලාවලට අරමුදල් සම්පාදනය සමග සම්බන්ධව අති විශාල දූෂණයක් වූ මහ බැංකු වංචාවට නොපැටලී ඉන්නට ඔහුත් ඔහුගේ සමීපතමයිනුත් අසමත් වීමයි. ගෝඨාභය රාජපක්ෂ ප්‍රවර්ධනය කරන පිරිස දෙස බැලූ විට ඔවුන් දූෂණ කප්පිත්තන් පිරිසක්. ගෝඨාභය ද ඇතුළු මේ දේශපාලක නඩයේ ඉදිරි පෙළට එරෙහිව දැනටමත් අධිකරණයේ නඩු තිබෙනවා. එවැනි දූෂිතයන් පිරිසක් සමග ධනවාදයට මේ මොහොතේ අවශ්‍ය සමාජ, ආර්ථික විනය ගොඩනගන්නට පුළුවන් වේ ද යන්න සැක සහිතයි. එසේම, බටහිර ඇතුළු ජාත්‍යන්තර සහයෝගය දිනාගැනීම ගෝඨාභයට දැවැන්ත අභියෝගයක්.

කෙසේ වෙතත්, පසුගිය අප්‍රේල් 21 ප්‍රහාර ආශ්‍රිතව සිදු වුණ දේශපාලන පෙළගැසීම් ගෝඨාභය රාජපක්ෂට සිය කඳවුර අභ්‍යන්තරයේ මෙන් ම බාහිරවත් තිබුණු අභියෝග රැසක් ජයගන්නට ඉවහල් වී තිබෙන බව පෙනෙනවා. මෙම සිදුවීම් දාමය මෙසේ පෙළගැස්විය හැකියි.

  1. බටහිර හා ඇමරිකානු ඒජන්තයකු වන රනිල් වික්‍රමසිංහ 2015දී බලයට පැමිණීම සහ ඔහු හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ඇති සන්ධානය ඔස්සේ බටහිර හා ඇමරිකානු උවමනාවන් ඉදිරියට පැමිණීම
  2. මෛත්‍රීපාල-රනිල් රෙජිමය ද චීනය සමග සමීපත්වය වර්ධනය වීම
  3. ඇමරිකානු පුරවැසියකු වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම
  4. මෛත්‍රීපාල-රනිල් සන්ධානය බිඳවැටීම හා දේශපාලන අර්බුදය තීව්‍ර වීම
  5. බටහිර හා ඇමරිකානු අවශ්‍යතා නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ ජනප්‍රියත්වයෙන් පිරිහීම
  6. ගෝඨාභය රාජපක්ෂට ඇමරිකා එක්සත් ජනපදයේදී නඩු පැවරීමේ ක්‍රියාමාර්ගයක් ඔස්සේ ඔහුට ශ්‍රී ලංකාව තුළ අති විශාල අවධානයක් යොමු වීම හා ඔහුගේ ජනප්‍රියත්වය වර්ධනය වීම
  7. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සමග ආණ්ඩුවේ ජනප්‍රියත්වය අන්තයට ම පිරිහීම සහ මුස්ලිම් ජනයා ආරක්ෂක විධිවිධාන හා පළිගැනීම්වලට බිය හේතුවෙන් දැඩි පීඩනයකට ලක් වීම
  8. බුද්ධි අංශ ශක්තිමත් කර මුස්ලිම් අන්තවාදය පරාජය කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රසිද්ධියේ පැවසීම. රාජපක්ෂ පවුල තුළ ඔහු තත්වය කළමනාකරණය කරගත් බව ප්‍රදර්ශනය වීම
  9. ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර ඇති බව රාජපක්ෂවාදී දෙරණ මාධ්‍ය ජාලයට අයත් අරුණ පුවත්පතේ ප්‍රධාන පුවත ලෙස වාර්තා කිරීම

ගෝඨාභය රාජපක්ෂ පාස්කු ඉරිදා ප්‍රහාර සමග වක්‍ර හෝ සම්බන්ධයක් ඇතැයි අප සිතන්නේ නැහැ. එහෙත්, එම ප්‍රහාර යනු ඔහුට අතිවිශාල වාසියක් අත්පත් කරදුන් අවස්ථාවකි. මෙවැනි ඉස්ලාමීය අන්තවාදී සංවිධාන බලවත් විදේශීය රහස් ඔත්තු සංවිධානවල පාලනයට යම් යම් ආකාරවලින් හසු වන බවට සාධක එමට ය. අනුමාන වශයෙන් ගත් කල, ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කරගැනීමට බටහිර බලවේග තුළ කැමැත්තක් ගොඩනැගී තිබිය හැකියි. එක පැත්තකින් ගෝඨාභය ඇමරිකානු පුරවැසියකුව සිටි අයකු නිසාත්, ඔහුගේ සමීප ඥාතීන් ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන නිසාත්, ඔවුන්ගේ දේපල එහි තිබෙන නිසාත්, එපමණක් නොව, ගෝඨාභයට විරුද්ධව නඩු ද එහි ඇති නිසාත් ඔහුට රැහැනක් ඇමරිකා එක්සත් ජනපදයට තිබෙනවා. අනෙක් පැත්තෙන් බටහිර බලවේගවල දේශීය නියෝජිතයාත්, ඔහුගේ ලිබරල් දර්ශනයත් ශ්‍රී ලංකාව තුළ දැවැන්ත අර්බුදයකට ලක් වී තිබෙනවා. ඇමරිකාවට මෙන් ම ඉන්දියාවටත් තම අභිලාෂයන් ආරක්ෂා කරගැනීමටත්, චීනය සමග ගනුදෙනු බේරාගැනීම සඳහා ලංකාව උපයෝගී කරගැනීමටත් ලංකාවේ ජාතිවාදී පාලනයක් බලයට පත් වුවත් ඔවුන්ට ගැටලුවක් නැහැ. එසේම, ලංකාවේ දේශපාලකයන් බලයට එන්නට කොයි තරම් ජාතිවාදය භාවිතා කළත්, ඔවුන්ට ජාතිවාදයෙන් පාලනය ගෙන යන්නත් බැහැ. අනෙක් පැත්තෙන්, බටහිරට විරුද්ධ බලවේග වුණත් මෙවැනි ත්‍රස්ත සංවිධාන විවිධ අරමුණුවලට යොදාගැනීමට ඉඩ තිබෙනවා.

(ලිපිය දැන්වීමෙන් පසු)
Sinhala Tamil English Translations and Content Writing

පාස්කු ඉරිදා ප්‍රහාර සමග ගෝඨාභය රාජපක්ෂ සාධකයේ ඉදිරියට පැමිණීම කුමන්ත්‍රණ න්‍යායකින් විග්‍රහ කරනවා නම් විග්‍රහ කළ හැක්කේ මේ අන්දමටයි. එහෙත්, මේවා හුදෙක් නිරීක්ෂණ මිස කරුණු සහිතව සනාථ වූ ඒවා නෙමෙයි. රනිල් වික්‍රමසිංහ සමග ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙන සමීපත්වය කෙතරම් එකක් ද යත්, ඔක්තෝබර් කුමන්ත්‍රණයේදී ඔහු ආරක්ෂා කිරීමට ඇමරිකාව කෙළින් ම ඉදිරිපත් වුණා විතරක් නෙමෙයි, අප්‍රේල් 21 ප්‍රහාරවලින් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් කෙළින් ම දුරකථනයෙන් කතා කළේත් රනිල් වික්‍රමසිංහටයි. රනිල්ගේ අනාගතය තීරණය කිරීමේදී රට අප්‍රේල් 21දායින් පසු ඇද වැටී තිබෙන අර්බුදකාරී තත්වයෙන් විශේෂයෙන් ම ආර්ථිකය ගොඩගැනීමට ඔහු සමත් වේ ද යන්න වැදගත් වෙනවා.

කෙසේ වෙතත්, එකක් පැහැදිලියි. අනාගත ශ්‍රී ලංකා දේශපාලන නායකත්වය තෝරාගැනීම ඔබේත්, මගේත් ඡන්දයෙන් සිදු වන බව අවසානයේදී පෙනුණත්, කලින් ජනාධිපතිවරණවලදී වගේ ම ඉදිරි ජනාධිපතිවරණයකත් විදේශ අභිලාෂයන් රැසක් පසුබිමේ ක්‍රීඩා කරාවි.

1 thought on “පාස්කු ඉරිදාට පසු දේශපාලන නායකත්ව තරගයේ නව ප්‍රවණතා

  1. Mahinda not declare Mitre or Gotabhaya as upcoming election as presidential candidate at the movment. Why the hesitation .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.