පශ්චාත් පනත් සුපරීක්ෂාව යනු කුමක් ද?

බර්නාඩ් එදිරිසිංහ

යම් පනතක් පාර්ලිමේන්තුව විසින් සම්මත කළාට පසු, පාර්ලිමේන්තුව මෙන්ම පුරවැසියන් ද ඒ පිළිබඳ පසුවිපරම් කිරීමක් කරන්නේ අහඔු ලෙස ය. විශේෂයෙන් පුරවැසියන් අවදි වන්නේ යම්කිසි පනතකට අදාළ බරපතළ ප්‍රශ්නයක් පැන නැගුන විට පමණි.

(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
Sinhala Tamil English Translations and Content Writing

පාර්ලිමේන්තුව විසින් සම්මත කරන කවර පනතක් වුවත් ක්‍රියාත්මක කිරීම සංකිර්ණ කටයුත්තකි. ඒ සඳහා බලපාන සාධක අතර මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම, පවතින නීති හා රෙගුලාසිවලට අනුගත කිරීම, පුරවැසියන්ගේ හා රාජ්‍ය ආයතනයන්හි අනෝන්‍ය සහයෝගය මෙන්ම කැපවීම වැනි කාරණා වැදගත් යැයි සැලකේ.

මෑත කාලයේ දිය හැකි කදිම උදාහරණය වන්නේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සිට එය ගෙන ඒමට ඡන්දය දුන් විවිධ පුද්ගලයන් දැන් මැසිවිලි නගන හැටි ය. තවත් උදාහරණයක් ලෙස “ත්‍රස්ත විරෝධී” පනත් කෙටුම්පතට අත් වු ඉරණම සැලකිය හැකි ය. ඇත්ත වශයෙන්ම එම පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලද්දේ 1978 සම්මත කළ “ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන ) පනත” අහෝසි කොට ඊට සහ අනුෂාංගික කරුණු සඳහා නීති පැනවීමට ය. නමුත් පසුගිය දශක හතර තුළ එම පනත ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ විධිමත් ඇගයීමක් කිරීමෙන් පසු එම පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා වෙනුවට, ඉදිරිපත් කරනු ලැබුයේ ආරක්ෂක අංශ හා නීතිපති දෙපාර්තුමේන්තුවේ උවමනාව අනුව සංශෝධනය කළ පනත් කෙටුම්පතකි. 

පුරවැසි සහභාගිත්වය සහිතව පාර්ලිමේන්තුව විසින් අණ පනත් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විමර්ශනයක් කිරීමේ වැදගත්කම පිළිබඳ විරල උදාහරණයක් යහපාලන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට හඳුන්වා දුන් අංශික කමිටු  ක්‍රමය විසින් සපයයි. ශ්‍රී ලංකාවේ අපරාධ නඩුවක් අවසාන කිරීම පිණිස දළ වශයෙන් වසර 17ක් ගත වන බව කියා සිටි නීති කටයුතු (දුෂණ විරෝධී) හා මාධ්‍ය පිළිබඳ අංශික අධික්ෂණ කමිටුව විසින් 2017 සැප්තැම්බර් මස ප්‍රකාශයට පත් කරන ලද “අපරාධ යුක්තිය පසිඳලීම කඩිනමින් හා කාර්යක්ෂමව සිදු කිරීමට අදාලව නිර්දේශ පිළිබඳ වාර්තාව”  විසින් අධිකරණ ක්ෂේත්‍රයේ පවතින තත්ත්වය පිළිබඳ වාර්තාව සකස් කළේ උපදේශන ක්‍රියාවලියක් ඔස්සේය. අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැනි වෘත්තික සංවිධාන වල අදහස් ද එම කමිටුව විසින් ලබා ගෙන තිබුණි. උදාහරණයක් වශයෙන් අධිකරණ අමාත්‍යංශය විසින් නඩු ප්‍රමාදය වළක්වා ගැනීම පිණිස උසාවි සංඛ්‍යාව ඉහළ දැමීමට යෝජනා කරන්නේ මෙම වාර්තාවේ ප්‍රතිඵලයක් වශයෙනී.

රාජ්‍යය ඉතිහාසය තුළ ගොඩ නැගෙන්නේ  බලයේ සිටින පාලක පංතියේ ආයුධයක් වශයෙන් වන නමුත්, ගෝලීයකරණය තුළ ජනතාවාදී නොවී හුදෙක් පාලක පංතියට පමණක් රාජ්‍ය බලය භුක්ති විඳීමට නොහැකිය. මේ නිසා විවර වී ඇති අභියෝගාත්මක ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ පාර්ලිමේන්තුවක් විසින් සම්මත කරන පනත් සුපරික්ෂාකාරී කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තවදුරටත් පුළුල් කරගැනීමට උපකාර වේ යැයි පසුගිය දා ලන්ඩනයේදී ප්‍රකාශයට පත් කළ “පශ්චාත් ව්‍යවස්ථා සුපරීක්ෂණ ප්‍රකාශය” කියා සිටියි. එම ප්‍රකාශයේ අරමුණ වන්නේ යම්කිසි පාර්ලිමේන්තුවකට  පනතක් සම්මත කළාට පසු, එම පනත ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පසුවිපරම් කිරීමට පාර්ලිමේන්තුවට හා පුරවැසියන්ට තිබෙන අයිතිය කියා පෑමයි. පශ්චාත් පනත් සුපරීක්ෂාව පිළිබඳ ලන්ඩන් ප්‍රකාශය විසින් පුරවැසියන්ට මෙන්ම පාර්ලිමේන්තුවටද  පනත් ක්‍රියාත්මක වන ආකාරය නියාමනය කිරීම හා ඇගයීමට ලක් කිරීමට සුදුසු යාන්ත්‍රණයක් මෙන්ම භාවිතයන් ද හඳුන්වා දෙයි. 

එම ප්‍රකාශනයට අනුව පාර්ලිමේන්තුව විසින් පශ්චාත් පනත් සුපරික්ෂාව පුළුල් සංකල්පයක් වන නමුත් පැතිමානයන් දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව පෙන්වා දෙයි. පළමුවැන්න සම්මත කළ පනත් බලාත්මක කරන ලද්දේ ද යන්න ඇගයීමට ලක් කිරීමයි. දෙවැන්න එම පනත් කෙටුම්පත විසින් ඇති කරන ලද බලපෑම ඇගයීමට ලක් කිරීමයි. එයින් අදහස් කරන්නේ පනත සම්මත කිරීමෙන් පාර්ලිමේන්තුව බලාපොරොත්තු වු ප්‍රතිපත්තිමය අරමුණු ඉටු වුයේ ද යන්න සොයා බැලීමයි. පාර්ලිමේන්තුව විසින් තෝරා ගන්නා පනත සම්බන්ධයෙන් ක්‍රියාකරන පාර්ලිමේන්තු කමිටුව විසින්  විද්වතුන් හා වෘත්තිකයින්ගේ මෙන්ම පුරවැසියන්ගේ ද විවේචනාත්මක ප්‍රතිචාර,  මාධ්‍ය වාර්තා, පෙත්සම්, අධිකරණය විසින් පෙන්වා දී තිබෙන පරතරයන්, අඩුපාඩුකම් සහ වෙනත් නීති සමඟ තිබෙන ගැටීම යනාදී තොරතුරු විමසිල්ලට ලක් කිරිමේ තිබෙන වැදගත්කම අවධාරණය කරයි. 

මෙම ප්‍රකාශනය එළි දක්වන ලද්දේ 2018 දි ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පැවති පශ්චාත් පනත් සුපරික්ෂාව පිළිබඳ විද්වතුන් ගේ සම්මන්ත්‍රණයේදී සංවාදයට භාජනය කරන ලද කරුණු අනුසාරයෙනී. 

සබැඳියාව: https://www.wfd.org/themes/post-legislative-scrutiny/

Leave comment

Your email address will not be published. Required fields are marked with *.