රිට්සු නකෙන් , එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නියෝජිත

මෙම වසරේදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ගෝලීයව පිහිටුවා වසර 50ක් සපිරෙයි. පනස් වසරකට පෙර, ලෝකය වෙනස් ස්ථානයක් විය. එහි කාන්තාවන්ට තමන් අධ්‍යාපනය සම්පූර්ණ කළ යුත්තේ කවදා ද, රැකියාවක් සැලසුම් කළ යුත්තේ කවදා ද, පවුලක් ආරම්භ කළ යුත්තේ කවදා ද යන කරුණු තීරණය කිරීමේ හැකියාව අද තිබෙන තරමට නොතිබිණි. තමන් දරුවන් ලබාගන්නවා ද, කවදා ද, කීදෙනෙකු ද යන්න තීරණය කිරීමේ ප්‍ර‍ජනන අයිතිවාසිකම භුක්ති විඳීම කාන්තාවන්ට දුෂ්කර විය. බොහෝ කාන්තාවෝ ගැබිනිව සිටියදී සහ දරු උපතේදී මියගිය හ. වර්තමානයේදී අප සෑහෙන දුරක් පැමිණ තිබේ. ගෝලීය වශයෙන්, පසුගිය පනස් වසර තුළ, මාතෘ සෞඛ්‍යය සහ පවුල් සැලසුම සම්බන්ධයෙන් දැවැන්ත සංවර්ධනයක් සිදු වී තිබේ.

ජනගහන ඉලක්කවල සිට පෞද්ගලික ඉලක්ක සහ තෝරාගැනීම් වෙත චලනය

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ පනස් වසරක චාරිකාවෙහි මධ්‍ය ලක්ෂයෙහිදී ඓතිහාසික මොහොතක් උදා විය. වසර 25කට පෙර, 1994දී ශ්‍රී ලංකාව ද ඇතුළු රාජ්‍යයන් 179ක් කයිරෝහිදී ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී (ICPD) හමු වූ හ. ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය සහ කාන්තාවන් සවිබලගැන්වීම එකට බැඳී තිබෙන බවත්, සංවර්ධනය සඳහා මේ දෙක ම අවශ්‍ය බවත් පිළිගනු ලැබුවේ මෙම ඓතිහාසික සම්මේලනයේදී ය. කාන්තාවන්ගේ ප්‍ර‍ජනන සෞඛ්‍යය සහ හිමිකම් ගෝලීය සංවර්ධන ප්‍ර‍යත්නයන්ගේ මධ්‍ය වේදිකාවට ගන්නා විප්ලවීය ක්‍රියාකාරී වැඩසටහනක් ICPD විසින් සම්මත කරන ලදී. මෙම සමුළුවෙන් පසු අත්පත් කරගන්නා ලද ජයග්‍ර‍හණ සමාජ සංවර්ධනය තුළ කැපී පෙනේ.

ජයග්‍ර‍හණ සැමරීම

එහි ප්‍ර‍තිඵලයක් ලෙස, වර්තමානයේදී, ගර්භණී සමය තුළ සහ දරු උපත් අතරතුර ලොව පුරා මියයන්නේ අඩු කාන්තාවන් සංඛ්‍යාවකි. වැඩිපුර තරුණ පිරිසකට ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය තොරතුරු සහ සේවාවන් වෙත ප්‍රවේශය හිමි වී තිබේ. සමලිංගික, ද්විත්ව ලිංගික, සංක්‍රාමීය ලිංගික, ලිංගිකත්වය ප්‍ර‍ශ්නකාරී වන සහ ලිංගිකත්වය විමසන ප්‍ර‍ජාවන්ගේ හිමිකම් කවර කලකටත් වඩා වර්තමානයේදී පිළිගැනීමට ලක් වී තිබේ. කාන්තාවන්ගේ ප්‍ර‍ජනන සෞඛ්‍ය හිමිකම් සහ තෝරාගැනීම් ජාතික සැලසුම්වලදී සහ ප්‍ර‍තිපත්තිවලදී වැඩිපුර සැලකිල්ලට ගනු ලැබේ. 1994දී, අඩුවෙන් ම සංවර්ධනය වූ රටවල විවාහක කාන්තාවන් අතරින් නවීන ප්‍ර‍තිසන්ධිරෝධක භාවිතා කළේ 15%ක් පමණි. වර්තමානය වන විට එය 37% දක්වා වැඩි වී තිබේ. වසර 25කට පෙර අඩුවෙන් ම සංවර්ධිත රටවල කාන්තාවන් 1000කට අටදෙනෙකු ගර්භණී සමයේදී හෝ දරු උපත අතරතුරදී මිය ගිය හ. වර්තමානයේදී එම අනුපාතිකය අඩකින් අඩු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සිය 50 වසර සම්පූර්ණ කරන විට, එහි ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ වී 46 වසරකි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කළේ 1973දී ය. මාතෘ සෞඛ්‍යයේ උසස්බව සහ ප්‍ර‍ගතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍ර‍ශංසාවට ලක් වී තිබේ. ශ්‍රී ලංකාවේ පළමු මාතෘ රෝහල වන ද සොයිසා මාතෘ රෝහල 1879දී විවෘත වූයේ ආසියාවේ විවෘත කරන ලද දෙවන මාතෘ රෝහල ලෙසයි. ඉන් පසු අවුරුදු 140 ඇතුළත ගොනු කරගන්නා ලද දැනුම හා ධනය ඔස්සේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ හොඳම මාතෘ සෞඛ්‍ය දර්ශක සහිත රට බවට පත් වී තිබේ.

අද වන විට ශ්‍රී ලංකාවේ සෑම මවක ම පාහේ දරු උපත් සිදුකරන්නේ සෞඛ්‍ය පහසුකම් ඇති ස්ථානයකදී පුහුණු වෘත්තිකයකුගේ මගපෙන්වීමෙනි. මව්වරුන් අතරින් 99%කට ම පූර්ව හා පශ්චාත් ප්‍ර‍සව සත්කාර ලැබේ. මෙම කැපී පෙනෙන ජයග්‍ර‍හණ සැමරිය යුතු ය. සියලු ආණ්ඩු මාතෘ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් සිදු කළ ආයෝජන අපි අගයන්නෙමු. කෙසේ වෙතත්, දැවැන්ත සංවර්ධනයක් සිදු වී තිබුණ ද, සැමට ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය හා හිමිකම් තහවුරු කිරීම සම්බන්ධයෙන් ජයගත යුතු අභියෝග තිබේ.

ලෝකයේත්, ශ්‍රී ලංකාවේත් ප්‍ර‍ජනන අයිතිවාසිකම් සම්බන්ධ අවදානමක් තිබේ

ගෝලීයවත්, දේශීයවත් විශාල සංවර්ධනයක් සිදු වී තිබෙද්දීත්, කාන්තා හිමිකම් සහ විශේෂයෙන් ම ප්‍ර‍ජනන අයිතිවාසිකම් අවදානමට ලක් වී තිබේ. ප්‍ර‍ජනන අයිතිවාසිකම් බොහෝ රටවල දේශපාලන කේවෙල්කිරීම් සඳහා පාවිච්චි කරනු දක්නට ලැබේ. එහි ප්‍ර‍තිඵලවලින් කාන්තාවෝ පීඩාවට පත්වෙති. එය නැවැත්විය යුතු ය.

අප ජීවත් වන ශ්‍රී ලංකාවේ වර්තමානයේදී මාතෘ මරණ අනුපාතිකය වසර 10ක් තිස්සේ එක ම තැන ය. සජීවී දරු උපත් ලක්ෂයකට මාතෘ මරණ 30ක් පමණ වන එහි යම් වැඩිවීමක් දක්නට ලැබේ. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අලුත් ම සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කරන පරිදි, වර්තමානයේ මාතෘ මරණ අනුපාතිකය 39.3%ක් වේ. එහි අරුත වන්නේ ගර්භණී අවධියේදී හෝ දරු උපත් අතරතුර වැඩිපුර මව්වරුන් සංඛ්‍යාවක් මියයන බවයි. එහිදී ප්‍රාදේශීය වශයෙන් මෙම අනුපාතිකයෙහි විශාල වෙනස්කම් තිබේ. පසුපසින් සිටින ප්‍ර‍ජාවන් වෙත වැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍ය ය.

අප ජීවත් වන ශ්‍රී ලංකාවේ වර්තමානයේදී පවුල් සැලසුම සහ ප්‍ර‍තිසන්ධිරෝධක පිළිබඳ වැරදි තොරතුරු හේතුවෙන් වාර්ගික ගැටුම් ඇති වේ. පවුල් සැලසුම මානව හිමිකමකි. එය මව්වරුන්ගේ ජීවිත බේරාගනියි. පවුල් සැලසුම සම්බන්ධ වැරදි අවබෝධය සහ වැරදි තොරතුරු 21වන සියවසේදී භාරගත නොහැකි ය. සාක්ෂරතාව 95%කට වැඩි ශ්‍රී ලංකාවේ එය සිදු නොවිය යුතු ය.

අප ජීවත් වන ශ්‍රී ලංකාවේ තරුණ ප්‍ර‍ජාවෙන් 50%කට වඩා ප්‍ර‍තිවිරුද්ධ ලිංගික පාර්ශ්වයේ ප්‍ර‍ජනන පද්ධතිය ගැන දන්නේ නැත. පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය පාසල් සහ විශ්වවිද්‍යාල තුළ මෙන් ම පාසලෙන් බාහිරව ද සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු ය. තරුණ ප්‍ර‍ජාවට තම වයසට ගැලපෙන පරිදි තම ශරීරය හා තෝරාගැනීම් පිළිබඳ මෙම වැදගත් අධ්‍යාපනය ලබා දිය යුතු ය. එමගින් ඔවුන්ට ජීවිත වෙනස් කරන තීරණ ගැනීමේදී තොරතුරු මත පදනම්ව එය සිදු කළ හැකි ය.

අප ජීවත් වන ශ්‍රී ලංකාවේ වර්තමානයේදී කාන්තාවන්ගෙන් 90%ක් පොදු බස්රථ හා දුම්රියවලදී ජීවිතයේ එක් වරක් හෝ ලිංගික හිංසනවලට මුහුණ දෙති. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වයට ප්‍ර‍තිචාර දැක්වීම සහ වැළැක්වීම සඳහා වන යාන්ත්‍ර‍ණයන් පරිපූර්ණ අන්දමින් ශක්තිමත් කළ යුතු ය. සෑම කාන්තාවකට ම ගෙදරදී, සේවා ස්ථානයේදී, පොදු ප්‍ර‍වාහනයේදී, පාසලේදී හා විශ්වවිද්‍යාලයේදී වඩා සුරක්ෂිත පරිසරයක, පූර්ව විනිශ්චයන්ගෙන්, ප්‍ර‍චණ්ඩත්වයෙන් සහ අසාධාරණයන්ගෙන් තොරව ජීවත් වීමේ හැකියාව එමගින් ලැබේ.

කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට වඩා යහපත් හෙටක්

මේ වනාහි අප අද ජීවත් වන ශ්‍රී ලංකාවයි. එහෙත් මෙය අප හෙට ජීවත් වන ශ්‍රී ලංකාව නොවිය යුතු ය. එක්සත් ජාතීන්ගේ ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය නියෝජිතායතනය වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වෙහෙසෙන්නේ එම වෙනස ඇතිකිරීමටයි. ගෝලීය මට්ටමෙන් අපගේ මෙහෙයුම් ආරම්භ කර වසර 50ක් සපිරෙන මෙම මොහොතේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඇපකැපවීමේ අපගේ ප්‍ර‍තිඥාව අපි අලුත් කරන්නෙමු. ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ ප්‍ර‍තිඥාවන් ඉටුකිරීම සඳහා අපි රජයට ආධාර කරන්නෙමු. ශ්‍රී ලංකාව වෙනුවෙන් බිංදු තුනක් අත්පත් කරගැනීම ඒ ජයග්‍ර‍හණ අතර වේ. ඒ බිංදු වන්නේ වැළැක්විය හැකි මාතෘ මරණ බිංදුවට අඩු කිරීම, සම්පූර්ණ නොකරන ලද පවුල් සැලසුම් අවශ්‍යතා සියල්ල සපුරා ඉතිරිය බිංදුව බවට පත් කිරීම සහ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වයත්, අහිතකර භාවිතාවනුත් බිංදුව කිරීමයි.

කොන් කර දමනු ලැබ තිබෙන ප්‍ර‍ජාවන් අමතක වී යාම වැළැක්වීම සඳහා අපි වැඩ කරන්නෙමු. සෑම කාන්තාවකට ම සහ ගැහැණු ළමයෙකුට ම ඇගේ හිමිකම් භුක්ති විඳීමට ලැබෙන බව අපි තහවුරු කරන්නෙමු. එමගින් ඔවුන්ට තිරසර සංවර්ධනයේ, සාමයේ සහ සංහිඳියා ප්‍ර‍යත්නයන්ගේ සම කොටස්කරුවන් වෙමින් සමෘද්ධිමත් විය හැකි ය.

මෙය අසම්පූර්ණ න්‍යායපත්‍ර‍යකි. මෙම පොරොන්දු ඉටුකිරීම වේගවත් කිරීම සඳහා අපි සියලුදෙනා වැඩකරන්නෙමු.

එහෙයින්, දැන්ම අරඹමු. දැන් අරඹන්නේ නැතිනම් වෙන කවදා ද?

පරිවර්තනය: අජිත් පැරකුම් ජයසිංහ

Leave comment

Your email address will not be published. Required fields are marked with *.