Premapala Hewabatage

අජිත් පැරකුම් ජයසිංහ

අප දයාබර මිත්‍ර ප්‍රේමපාල හේවබටගේ සහෝදරයාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර හෙට මිහිදන් කරනු ඇත. වචනයේ පරිසමාප්ත අරුතින් ම ඔහුට විප්ලවීය ආචාරය පිරිනැමිය හැකි ය. ඔහු වචනයේ පරිසමාප්ත අරුතින් ම විප්ලවවාදියකු විය.

Sinhala Tamil English Translations and Content Writing

විප්ලවවාදියා යනු සමාජය විප්ලවීය ලෙස වෙනස් කළ හැකි යයි විශ්වාස කරන්නෙකි. ඒ වෙනුවෙන් සමාජය බලමුළුගැන්වීම ජීවිතයේ ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකන්නෙකි. ප්‍රේමපාල සහෝදරයාත්, තවත් බොහෝ අයත් එවැනි ය. ජීවිතයේ අන් කවර දේ කළත් විප්ලවවාදීන් සිතන්නේ ජීවිතය තිබෙන්නේ අන් තැනක ය කියා ය. ඒ වනාහි සමාජය වෙනස් කිරීම සඳහා වන අරගල භූමියයි.

මෙකී අරගල භූමිය ඇත්තට ම පවතින්නක් ද ෆැන්ටසියක් ද නැතිනම් ඇත්ත හා ෆැන්ටසිය මුසු වුණ දෙයක් ද විය හැකි ය.

සමාජය වෙනස් නොවන එකක් නොවේ. සමාජ වෙනස ප්‍රගතිශීලී මෙන් ම ප්‍රතිගාමී ද, ප්‍රගතිශීලී ප්‍රතිගාමී දෙකේ ම මුසුවක් ද විය හැකි ය. උදාහරණයක් ලෙස, දිළිඳුකම නැති කරන වෙනසක් ප්‍රගතිශීලී විය හැකිවා සේ ම, එම වෙනස සමග දැවැන්ත පරිසර සංහාරයක් සිදු වී ලෝකය විනාශයට ළං කරන්නේ නම් එය ඒ සමග ම ප්‍රතිගාමී ද විය හැකි ය.

ඇත්තෙන් ම සමාජය ප්‍රගතිශීලී අන්දමින් වෙනස් වන්නේ විප්ලවවාදීන් නිසා ද? විප්ලවවාදීන් බලය අතට ගෙන කරන දෙයක් නැති වුණත්, විප්ලවවාදීන්ගේ අරගල, සටන් පාඨ, සාහිත්‍යය, මැයි දින ආදී අභිචාර ආදිය නිසා වෙනස්කම්වලට අනුපූරක වීම් සිදු වෙනවා විය හැකි ය.

එහෙත්, අද වන විට විප්ලවවාදීන් ඇත්තට ම ඉදිරිගාමී ද යන්න සැක සහිත ය. විප්ලවවාදීන්ට වඩා සිවිල් සමාජ නායකයන් වෘත්තිකභාවයෙන්, දැනුමෙන් හා කුසලතාවන්ගෙන් සන්නද්ධ ය. වෘත්තික සමාජ වැඩකරුවන් තරම් විපර්යාසකාරකයන් වීමේ හැකියාවක් විප්ලවවාදීන්ට නැත. විප්ලවවාදීන් නූතන උද්දේශන සංකල්ප දන්නේ නැත. වෙනස්කම් ඇති කිරීම සඳහා ඔවුන් දන්නේ පිකටිං, පෙළපාලි, වැඩවර්ජන වැනි සම්ප්‍රදායික ක්‍රියාමාර්ග පමණි. එහෙත්, ඒවායින් අද වන විට බොහෝ විට සිදු වන්නේ සාධනීය සමාජ වෙනස්කම් වැළැක්වීම පමණි. විප්ලවවාදීන් ජයග්‍රහණවලින් මෙතරම් දුරස්ථ වී තිබෙන්නේ ඔවුන් වෙනස්කම් වෙනුවෙන් උද්දේශනය කරනවා වෙනුවට බලය ගැනීම කෙරෙහි ම මූලික අවධානය යොමු කර තිබෙන හෙයිනි. ඔවුන්ගේ සියලු බලාපොරොත්තු තිබෙන්නේ බලය ගැනීමෙන් පසු සමාජය උඩු යටිකුරු කරන්නට ය. සියලු ආයෝජන කරන්නේ බලය තනිව අල්ලාගැනීමේ සිහිනය වෙනුවෙනි.

ප්‍රේමපාල හේවාබටගේ යනු විප්ලවවාදියාත්, වෘත්තිකයාත් අතර අවකාශයක රැඳුනෙකි. 1971 කැරැල්ලෙන් පසු සන්නාලියකු ලෙස ජීවිතය ඉදිරියට ගෙන ගිය ඔහු ජනතා සංගමයේ දේශපාලනය හරහා සමස්ත ලංකා ගොවි සම්මේලනය, ඉබ්බාගමුවේ දේවසරණ සංවර්ධන කේන්ද්‍රය ඔස්සේ ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය හෙවත් මොන්ලාර් ආයතනයේ මුල් පෙළේ නායකයන් දෙදෙනාගෙන් අයෙකු බවට පත් විය. අනෙක් නායකයා සරත් ප්‍රනාන්දු ය. ඔවුන් නායකත්වයේ සිටින තාක් කල් මොන්ලාර් ආයතනය හුදු රාජ්‍ය නොවන සංවිධානයක් වූයේ නැත. ආයතනගත නොවූ එය එහි වැඩ කළ අයටත්, සමාජ කටයුතු වෙනුවෙන් කොළඹ රස්තියාදු වූ තවත් බොහෝ අයටත් ගෙදරක් විය. ප්‍රේමපාල සහෝදරයා එය හැඳින්වූයේ ‘දොරවල් නොවැසූ රාජ්‍ය නොවන සංවිධානය’ ලෙසයි.

එහෙත්, මොන්ලාර් ද ඒ ස්වරූපයෙන් සාර්ථක වූයේ නැත. අවසානයේ එය ද ආයතනගත වන්නට ඇත. එහෙත්, මොන්ලාර් ආයතනයෙන් ඉවතට විසි වී සිකියුරිටි ගාඩ්කම දක්වා ඔඩ් ජොබ් කරමින් සිටි ප්‍රේමපාල සහෝදරයාට ජීවිතයේ අවසාන සමයේ නැවතත් මොන්ලාර් ආයතනය අත දුන් බව අවසාන වරට ඔහු මා සමග කතා කරද්දී කී විස්තරවලින් වැටහිණි.

අවසාන වරට ඔහු මා සමග කතා කරද්දීත් ඔහුට අවශ්‍ය වුණේ සමාජ වෙනස වෙනුවෙන් බලපෑම් සහගත යමක් කරන්නට ය. ඔහු හෝ මා හෝ අප කිසිවකු හෝ එසේ කිරීමේ හැකියාවක් ඇති තත්වයක නොසිටින බව තේරුම් නොගැනීම කලාවක් නම්, ප්‍රේමපාල එහි පිකාසෝ ය. දොස්තර රිචඩ් සහෝදරයා සමග දිනෙක හමු වෙමු යයි අපි කතිකා කරගත්තෙමු. අවංකව කීවොත්, මිත්‍රත්වයේ නාමයෙන් මා ඔහුට එකඟ වූ මුත්, මට අද වන විට මෙවැනි වැඩපිළිවෙල ගැන විශ්වාසයක් නැත.

සාමූහික ක්‍රියාකාරකම් පිළිබඳ අප වෙනස් අන්දමින් සිතිය යුතුව ඇත. තනිව වැඩ කරන අනන්‍යතාව රැකගෙන සමූහයන් සමග වැඩ කරන්නට මම හැමදාමත් උත්සාහ කරන්නෙමි. සාමූහික වැඩවලට හැම විට ම උපකාර කරන්නෙමි. වෙනත් අයගේ වැඩවලට ද හැකි හැම විට ම උපකාර කරන්නෙමි. එහෙත්, පොදුබව ගැන මගේ විශ්වාසය නැති කරන්නට හේතු වන කාරණය වන්නේ අප දස වසක් පමණ මාධ්‍ය ව්‍යාපෘති වෙනුවෙන් දරණ වෙහෙස වෙනුවෙන් පිටට තට්ටුවක් දමන්නට හෝ ඉදිරිපත් වන්නේ එහෙමත් කෙනෙකු පමණක් බව නිතිපතා අත්විඳීමෙනි. විප්ලවවාදීන් සියල්ලන්ගේ ම මූලික ලක්ෂණය වන්නේ ලොව තිබෙන වැදගත් ම කාර්යය තමන් කරන දෙය හා එය පමණක් ම වීමයි. සියලු විප්ලවවාදීන් අපෙන් උදව් ඉල්ලා සිටිනමුත්, අපත් යමක් කරමින් සිටින බව හෝ තේරුම් ගන්නේ කිහිපදෙනෙකු පමණි. ඔවුන් ද වැඩිදෙනෙකු සිතන්නේ අප මේ වෙහෙසෙන්නේ කාගෙන් හෝ ලැබෙන මොකක් හෝ දෙයකට ය කියා ය. විප්ලවවාදීන් එහෙම ය. තමන් හැර අනෙක් සියල්ලන් ම කරන්නේ කුමන්ත්‍රණ ය.

විප්ලවවාදීන් විෂයෙහි සිත් කලකිරවන මේ සියලු අලකලංචි මැද ප්‍රේමපාල අයියා තුළ දැල්වුණ ලොවම එකලු කළ ආලෝකයක් විය. ඒ වනාහි සමාජය හා විශේෂයෙන් ම සමාජ ක්‍රියාකාරිකයන් කෙරෙහි පැවති අචල ආදරයයි. විප්ලවවාදීන් සම්බන්ධයෙන් විවේචනාත්මක කෘතියක් වූ මගේ මුල් ම නවකතාව වූ ශාස්තෘ ගැන ඔහු කීවේ වචන කීපයක් පමණි. “මට ඒක කියවන්න බැහැ.” ඒ ඇයි ද යන්න මම ඔහුගෙන් කිසිදා නොඇසුවෙමි. විප්ලවවාදීන් බොහෝ විට තවෙකෙකුට උපකාර කරන්නේ නැත. එහෙත්, ප්‍රේමපාල අයියා එහිදී විප්ලවවාදියකුට වඩා කළු රංජිවාදියෙකි. අතේ සතේ නැතත්, ඔහු බොහෝ දෙනෙකුට අමතක කළ නොහැකි උපකාර කර තිබේ.

“ඔයාගෙ කතාව වැදගත් ඉතිහාසයක්. අපි ඒක ලියමු,” යි ඔහුට බොහෝ වර යෝජනා කළ මම ඔහු කම්මැලි කාර්යය වන ලිවීම ඔහු වෙනුවෙන් කර දීමට ඉදිරිපත් වුණෙමි. එහෙත්, කාර්යබහුලකම මැද ඒ සඳහා කාලය සොයාගන්නට පෙර ඒ මතකයන් සියල්ල ද රැගෙන ඔහු හදිසියේ ම යන්නට ගියේ ය. වරක් පිටගැස්ම හැදී මරණයේ දොරටුවෙන් ඇතුළට ගොස් ආපසු පැමිණි ප්‍රේමපාල හේවාබටගේ ඔහු සම්බන්ධයෙන් මා හැමදාමත් බිය වූ කාරණය වන ඉතිහාසයේ ඔහු සතු අලිඛිත විශ්ව කෝෂයත් රැගෙන ඔහු යන්නට ඇත. ඔහු ලියන්නට පටන් ගත් යම් යම් අසම්පූර්ණ සටහන් කොහේ හෝ ඇතැයි මම සිතමි.

ප්‍රේමපාල හේවාබටගේ යනු පත්තරවල කොටස් වශයෙන් කතා ලියැවුණ, පොත්පත්වල විග්‍රහ වුණ චරිතයක් නොවුණත්, ඔහු ලංකා ඉතිහාසය නම් සළුව මහන විට එහි ඔහු එහි වැදගත් නූල් පොටකැයි මම සිතමි.

(ඡායාරූපය: ප්‍රියන්ජිත් ආලෝක බණ්ඩාර)

1 thought on “ප්‍රේමපාල හේවාබටගේ නම් විප්ලවවාදී සන්නාලියා

  1. Maa piyavi asin nodutu Para , oba dakina Hewabattagelaa thawa kothekuth thawamath sitie . Namuth ae palenthiye aya nirmaanaya viemata apa sapayaa dena thothenna kawareada ? Apa nidrashielida ? Leo Tolsthoy kiyaviemedie obata kumak hangeda ?

Leave a Reply to Sarath warnakulasuriya Cancel reply

Your email address will not be published. Required fields are marked with *.