අජිත් පැරකුම් ජයසිංහ (2019 ජුලි 21 ලංකා පුවත්පතේ පළ විය)

අල් කුර්ආනයේ ඇතැම් පාඨ මගින් මුස්ලිම් නොවන සෙසු ආගමිකයන්ට එරෙහිව යුද්ධය, ප්‍ර‍චණ්ඩත්වය, ඝාතනය හා හිංසනය දිරිගන්වන බව උපුටාගැනීම් සහිතව සිංහල බලවේග විසින් පසුගියදා පෙන්වා දෙන ලදී. සාමය, සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින අය පවා එයින් කම්පනයට පත් වූ බවක් පෙනිණි.

පහත දැක්වෙන්නේ එවැනි ෆේස්බුක් පිටුවකින් උපුටා ගත් කුරාණ වාක්‍ය කිහිපයකි:

කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්‍රස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්‍රස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.

කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත.

කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවසෙන තැන්වල සැංගී සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.

කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝ වෙත්. එමෙන්ම සත්‍ය වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්‍රිස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද ගෙවන තුරු සටන් කරනු. (ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්‍යයෙන් ගෙවිය යුතු බද්ද)

කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත. ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත.

අප්‍රේල් 21 ප්‍ර‍හාර දියත් කළ ඉස්ලාම් අන්තවාදී සංවිධාන අනිවාර්යයෙන් ම මෙම පාඨ මේ අන්දමින් ඇදහූ පිරිසක් බවට සැක නැත. අල් කුර්ආනයේ එසේ තිබේ නම්, ඒවා අනුගමනය කරන පිරිස් ද සිටී නම් දැන් ඉතින් ඉස්ලාම් නොවන සෙසු ජනයා මුස්ලිම් ජනයා සමග සාමයෙන් ජීවත් වන්නේ කෙසේ ද යන ප්‍ර‍ශ්නය හා බිය ජනිත වීම සාධාරණ ය. එම සැකය දුරුකිරීමේ වගකීම මූලිකව ම මුස්ලිම් සමාජය වෙත පැවරේ. සමස්ත මුස්ලිම් සමාජය ම ප්‍රචණ්ඩ ද? ඔවුන් සිටින්නේ සෙසු ජනයා ආක්‍රමණය කරන්න ද?

මෙකී කරුණු පැහැදිලි කරමින් සාමය හා සංහිඳියාව වෙනුවෙන් වැඩ කරන මුස්ලිම් කණ්ඩායමක් විසින් පළ කරන්නට සූදානම් කරමින් තිබෙන කෘතියක් සංස්කරණය කිරීමේ වගකීම මා හට පසුගියදා පැවරිණි. එය රසවත් අත්දැකීමක් වූ අතර, පහත සටහන තබන්නේ එම අධ්‍යයනයෙන් කරුණු උපුටා ගනිමිනි. ඒ වෙනුවෙන් ‘අල් කුර්ආනය ප්‍රචණ්ඩත්වයට පොළඹවන්නේ ද?’ යන ග්‍ර‍න්ථය සම්පාදනය කළ උස්තාද් එම්.ඒ.එම්. මන්සූර් මහතාටත්, එය ප්‍ර‍කාශයට පත් කළ මිෂ්කාත් පර්යේෂණ ආයතනය අංක 25, විහාර මාවත, කොළොන්නාව ලිපිනයේ මිෂ්කාත් පර්යේෂණ ආයතනයටත් ස්තුතියි.

අල් කුර්ආනයේ ප්‍රචණ්ඩත්වය පොළඹවන අදහසට සාපේක්ෂව ඇති පාඨයන් පමණක් සැලකිල්ලට ගෙන යුද්ධය පිළිබඳ අල් කුර්ආනයේ දැක්ම ඉදිරිපත් කිරීම වැරදි ක්‍රමවේදයක් බව ද එසේ කිරීම පර්යේෂණ ආචාරධර්මයන්ට ද පටහැනි බව ද උස්තාද් එම්.ඒ.එම්. මන්සූර් පෙන්වා දෙයි.

අල් කුර්ආනය යනු තම ප්‍රතිපත්තිය සමාජගත කිරීම සඳහා අවුරුදු 23ක දීර්ඝ කාලයක් තිස්සේ අල්ලාහ් දෙවිඳුන්ගෙන් මුහම්මද් නබිතුමා වෙත වරින් වර පහළ කරන ලද්දකි.

අල් කුර්ආනයේ කිසිදු පරිච්ඡේදයක් ඒවායේ මාතෘකා විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරන්නේ නැත. එබැවින් යම් කරුණක් සම්බන්ධයෙන් අල් කුර්ආනයේ ප්‍රතිපත්තිය විශ්ලේෂණය කළ යුතු හොඳම ක්‍රමය වන්නේ වන්නේ නම්, විවිධ පරිච්ඡේදවල ඒ සම්බන්ධයෙන් සඳහන් වී තිබෙන වාක්‍ය එක්කොටගෙන විශ්ලේෂණය කිරීම ය. එසේ නොමැතිව, යම් කරුණක් සම්බන්ධයෙන් අල් කුර්ආනයේ යෙදෙන වාක්‍යයක් හෝ වාක්‍ය කීපයක් වෙන් කර ගෙන විශ්ලේෂණය කිරීමෙන් අල් කුර්ආනය විසින් ඉදිරිපත් කරනු ලබන සැබෑ ප්‍රතිපත්තිය පැහැදිලි කිරීම අවබෝධ කරගත නොහැකි ය. එසේම, එමගින් වැරදි වැටහීම් ද ප්‍රචාරය කරනු ලැබේ.

ප්‍රචණ්ඩත්වයට පොළඹවන බවට  අර්ථ දක්වා ඇති  අල් කුර්ආනයේ පාඨ ගැඹුරින් සැලකිල්ලට ගෙන ඒවා පහළ වූ සන්දර්භයන්, පසුබිම, පරිසරය, සමාජ වාතාවරණ යනාදී කරුණු අනුව ඒවා විග්‍රහ කරගත යුතු ය.

යුද්ධය කෙරෙහි නැඹුරුවක් දක්වන පාඨ කිහිපයක්  අල් කුර්ආනයේ සඳහන් වී ඇතැයි කියන අදහස කිසිවිටෙක ප්‍රතික්ෂේප කළ නොහැකි බව උස්තාද් එම්.ඒ.එම්. මන්සූර් ඉතා පැහැදිලිව පවසයි. පොතේ දෙවන පරිච්ඡේදයෙහි එම පාඨ පහළ වීමට හේතු වූ සමාජීය, මානුෂීය, මානසික ආදී කරුණු මත ඒවා සාධාරණීකරණය වූ පසුබිම මෙම කෘතියෙහි පෙන්වා දෙනු ලැබේ.

“ජිහාද් යන යෙදුම අල් කුර්ආනයෙහි සහ සුන්නාවෙහි සඳහන් වන අන්දමට ඉතා පුළුල් සංකල්පයකි. ආයුධ සන්නද්ධ අරගලය යනු එම සංකල්පයෙහි ඉතා කුඩා කොටසක් පමණි. ඉස්ලාමයෙහි මූලික පදනම වන්නේ සාමය හා සමගියයි. යුද්ධය යනු ව්‍යතිරේඛයක් හෙවත් සාමය හා සමගිය මුළුමනින් ම අසාර්ථක වූ විට පැනනගින දෙයක් පමණි.” – උස්තාද් එම්.ඒ.එම්. මන්සූර්, ‘අල් කුර්ආනය ප්‍රචණ්ඩත්වයට පොළඹවන්නේ ද?’, මිෂ්කාත් පර්යේෂණ ආයතනය – 2019

මෙම කෘතිය විසින් පෙන්වා දෙනු ලබන පරිදි, කුර්ආන් වැකි පහළ වූ සංදර්භය වැදගත් ය. මතභේදයට තුඩු දී තිබෙන යුද්ධය දිරිගන්වන කුර්ආන් පාඨ පහළ වී තිබෙන්නේ මුස්ලිම්වරුන්ට තම පැවැත්ම වෙනුවෙන් ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කරන්නට සිදු වූ වකවානුවල ය. අවුරුදු 13ක දීර්ඝ කාලයක් තුළ මක්කමෙහි ඔවුන්ට ඇති වූ තාඩන, පීඩන දරාගත නොහැකිව ඔවුන් මදීනාවට ගිය විට අරාබීහු නැවත ඔවුන් ආක්‍රමණය කළ හ. පසු කලෙක, එම වකවානුවේ ලෝකාධිපත්‍යය දැරූ රෝමවරුන් සමග ද යුදවැදීමට ඔවුන්ට සිදු විය. එසේම, ඉස්ලාම් රාජ්‍යය ස්ථාපිත වූ පසුව ද ඔවුන්ට ගෝත්‍රික ජනකොටස්වල තර්ජනවලට මුහුණ දෙන්නට සිදු විය. මෙවැනි රණකාමී වැකි පහළ වූයේ එම වකවානුවේ තිබුණු සංදර්භය තුළ මුස්ලිම්වරුන් ආත්මාරක්ෂක යුද්ධයට දිරිගන්වන්නට ය.

නිදසුනක් ලෙස, ආත්ම ආරක්ෂාව සඳහා සන්නද්ධ අරගලයකට යාමට අල් කුර්ආනය අවසර දී ඇති බව පැහැදිලිව විදහා දක්වන අල් කුර්ආන් පාඨයක් පහත දැක්වේ. “නුඹලාව පිටුවහල් නොකළවුන්ටද යහපත කිරීම හා යුක්තිගරුකව කටයුතු කිරීමෙන් අල්ලාහ් නුඹලාව වළක්වන්නේ නැත. අල්ලාහ් යුක්තිගරුකව කටයුතු කරන්නන්ව ප්‍රිය කරන්නේහුය. (පරි60:08)’

ඊළඟ වැකියෙන්  කවරෙකු සමග සටන් කළ යුතු ද යන්න ඉතා පැහැදිලිව සඳහන් කරයි. ‘සැබවින්ම අල්ලාහ් නුඹලාව වළක්වන්නේ ධර්මය හේතුවෙන් නුඹලා හා සටන් කළ හා නුඹලාව නුඹලාගේ නිවාසවලින් පිටුවහල් කිරීමට සහයෝගී වුවන් සමග මිත්‍රත්වයක් පවත්වාගැනීමට යි. එසේ මිත්‍රත්වයක් පවත්වාගන්නන් අසාධාරණය කරන්නන් ය. (පරි60:08)’

සාමය සඳහා අවස්ථාවක් ඇතිවන සැමවිටකදීම යුද්ධයෙන් වළකින ලෙස ද අල් කුර්ආනය ඉල්ලා සිටී.

‘ඔවුහු නුඹලාගෙන් ඉවත් වී නුඹලාට විරුද්ධව සටන් නොකොට නුඹලා වෙත සාමය ඉදිරිපත් කරන්නේ නම්, එවැනි අයට විරුද්ධව යුද කිරීම සඳහා ඔබට අල්ලාහ් අවසර දෙන්නේ නැත. (පරි:04:90)’

‘ඔවුන් (සතුරන්) සාමයට කැමති වේ නම් එවිට නුඹ ද ඊට කැමති වනු. තවද අල්ලාහ් කෙරෙහි සියල්ල බාර කරනු. (පරි: 8:61)’

පහත දැක්වෙන්නේ අල් කුර්ආනයෙහි දැක්වෙන, නිතර උපුටා දක්වනු ලබන අතිශය ප්‍රචණ්ඩත්වයක් මුදාහරින වාක්‍යයකි.

“එබැවින් විශ්වාස කළවුන්ව ස්ථාවර කරවූ. ප්‍රතික්ෂේප කළවුන් සිත් තුළ ම බිය උපදවන්නෙමි. එබැවින් නුඹලා ඔවුන්ගේ බෙලිවලට ඉහළින් පහර දෙනු. තවද සෑම ඇගිලි තුඩක්ම නුඹලා කපා දමනු යනුවෙන් ඔබ දෙවිඳුන් ඔහුගේ සුරදුතයන් හට අණකළ බව ඔබ සිහිපත් කරන්න.” (පරි: අන්ෆාල් 8:12)

මෙය මුස්ලිම්වරුනට එරෙහිව සටන් කළ මක්කා වැසියන්ට  එරෙහිව මුස්ලිම්වරු විසින්  දියත්  කරනු ලැබූ පළමු යුද්ධය සිදු වූ බද්ර් පිටියෙහිදී පහළ වූ වාක්‍යයකි. එම යුද්ධය අතරතුර මුස්ලිම්වරු සෑම අංශයකින් ම දුර්වල වූහ. එවිට ඔවුන්ගේ මුළු සංඛ්‍යාව වුයේ ද 313කි. ඔවුනට එරෙහිව යුද කළ සතුරන්ගේ සංඛ්‍යාව 1000කි. මුස්ලිම්වරුන්ට සිටියේ අශ්වයන් දෙදෙනෙකු පමණි, ඔටුවන් 70ක්, අවි ආයුධ සහ  අනෙකුත් යුද භාණ්ඩ සුළු ප්‍රමාණයක් තිබිණි. සතුරන් හට  අශ්වයන් 100ක් සිටි අතර සන්නාහ 60ක් සහ ඔටුවන් විශාල සංඛ්‍යාවක් සිටිය හ. එවැනි සංදර්භයක් තුළ පහත දැක්වෙන ආකාරයේ පාඨ පහළ වුණේ මුස්ලිම්වරුන් නොවැළැක්විය හැකි වූ යුද්ධයටදිරිගැන්වීමට බව මෙම කෘතියෙහි පෙන්වා දී තිබේ.

විශ්වාසවන්තයින් සටනට පොළඹවනු. ඉවසිලිවන්ත විසි දෙනෙකු නුඹලා අතර සිටිනවා නම් ඔවුන් සතුරන් දෙසිය දෙනෙකු අභිබවා ජයගන්නෝය. සිය දෙනෙකු නුඹලා අතර සිටිනවා නම් ප්‍රතික්ෂේප කරමින් විරුද්ධව සටනට පැමිණෙන දහසක් දෙනෙක්ව අභිබවා ඔවුන් ජය ගනු ඇත. මෙයට හේතුව ඔවුන් අවබෝධය ඔවුන් වටහා නොගන්නා ජන පිරිසක් වීමයි.” (පරි:අන්ෆාල් 08:65)

“සටන් කිරීමට තහනම් කර ඇති ශුද්ධ වූ මාස හතරක් ඉක්ම වූ විට ඔබ සමග සටන් කරන අදේශිකයන්ව නුඹලා දුටු තැන මරා දමනු. තවද ඔවුන්ව වටලා ගනු. ඔවුන් ගැන විපරම් ලබා ගත හැකි, ඔවුන්ගේ ක්‍රියාවන් නිරීක්ෂණය කළ හැකි සෑම ස්ථානයකම රැදී සිටින්න.” (පරි:තව්බා:05)

මෙම වගන්තිය තිබෙන පරිච්ඡේදය වන තව්බා, අල්ලාහ්ගේ දූතයාණන් වන නබිතුමාණන්ගේ අවසන් කාලයේ හිජ්රි වර්ෂ නවවන වසර අවසානයේදී එතුමාණන්ගේ මරණයට මාස 15 කට පෙර පහළ වූ පරිච්ඡේදයකි. මක්කාව සහ තායිපේ වැනි ප්‍රධාන නගර ඉස්ලාමය සමඟ ඒකාබද්ධ වීමෙන් පසුව, ප්‍රචණ්ඩකාරී සංචාරක ගෝත්‍රිකයන් දිගටම විවිධ තැන්වල සටන් කරමින් සිටිය හ. ඔවුන්ව පාලනය කරගැනීම සඳහා මෙම වැකි කිහිපය පහළ වී ඇත. කෙසේ වෙතත්, මෙම වාක්‍ය සියල්ල එකට ගෙන විමසා බලන විට, මෙම වැකිය ද යුද්ධය පිළිබඳ පෙර පරිච්ඡේදයේ විස්තර කර ඇති ඉස්ලාමයේ මූලධර්මයන්ට අනුකූල වන බව නිරීක්ෂණය කළ හැකි ය. මෙම වැකියට පසුව සඳහන් වන හයවන වැකිය  පහත පරිදි වේ:

අදේශිකයන්ගෙන් කවරෙකු හෝ ආරක්ෂක හේතු මත ඔබ හා සම්බන්ධ වූ විට ඔහුට ආරක්ෂාව ලබා දෙන්න. ඔහුට දෙවියන් වහන්සේගේ වචනවලට සවන් දිය හැකි ය. ඉන්පසු ඔහුව ආරක්ෂා කළ හැකි ස්ථානයකට ගෙන යන්න. (තබ්බා 09:06)

මෙම වැකිය තවදුරටත් පැහැදිලි කරන්නේ මෙයට පෙර සඳහන් වී ඇති වැකිය ඉස්ලාමීය ආගම බලහත්කාරයෙන් පැනවීමට අදහස් නොකළ බවයි.

අවසාන වශයෙන් කරනු ලබන තර්කය වන්නේ මුස්ලිම්වරුන් රාජ්‍යයක් වෙනුවෙන් සටන් කරමින් සිටි සංදර්භයකදී පහළ වූ යුදවාදී වාක්‍ය කිසි සේත් ම, ශ්‍රී ලංකාව වැනි සුළුතර මුස්ලිම් සමාජයකට අදාළ කරගත නොහැකි බවයි. එසේම, ප්‍රචණ්ඩ ස්වරූපයක් තිබෙන අල් කුර්ආන් පාඨ ඒවා යෙදෙන සංදර්භයන්ගෙන් හා ඒවා පහළ වූ ඓතිහාසික පසුබිමෙන් වෙන් කර උපුටා දැක්වීමෙන් සිදුවන්නේ ඒවායේ සැබෑ අරුත වෙනුවට වෙනත් අර්ථයක් මතු වීමයි.

2 thoughts on “ප්‍රචණ්ඩත්වයට දිරි දෙන බව කියන අල් කුර්ආන් අදහන මුස්ලිම් ජනයා සහ සාමය

  1. අවුරුදු තිහක් තිස්සේ උතුරේ ත්‍රස්ථවාදීන් හා කළ සටනේදී අපේ සන්නද්ධ හමුදාව අනුගමනය කළේ මෙම ක්‍රමය හැර කුමක්ද? ඔවුන් සතුරාවෙත පියනැගුවේ නවගුණවැල ගෙන, දෑත් දිගුකරගෙන ළොව්තුරා පිරීගිය මයිත්‍රී ගුණයෙන් යුතුවද? තව්බා 9.06 ජිනීවා ප්‍රකාශණයන්ට මූළික පදනමක් නොවූයේද? මෙම ළිපිය පළකිරීම ගැන පැරාට අපේ ප්‍රණාමය!

  2. හමුදාවක් යුද්ධයකට යද්දී නවගුණ වැල ගනන් නොකරන එක සාමාන්‍ය දෙයක්. මෙහිදී සැලකිය යුත්තේ වෙන ආගම් කතෘ වරු යුද්ද කල යුත්තේ නවගුන වැල ගනිමින්ද නැද්ද යන කරුනු ලෞකික මිනිසුනට විසදා ගැනීමට ඉඩ හැර ලොකොත්තර කරුනු ගැන මූලික අවදානය යොමු කර තිබීමයි. මේ නිසා ආගමික කරුනු තමන්ගෙ පුද්ගලික න්‍යායපත්‍ර සාක්ශාත් කර ගැනීමට ඇත්තේ සාපෙක්ශව අඩු ඉඩකි.
    සාමකාමි මුස්ලිම් උගතුන් මෙහිදී හඩක් නැගීම මේ නිසා අත්‍යවශ්‍ය වේ.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.