අජිත් පැරකුම් ජයසිංහ (2019 මාර්තු 10 දින ලංකා පුවත්පතේ ද පළ වේ.)

ක්ෂුද්‍ර මුල්‍ය ණය නම් වචන කට්ටලය සම්බන්ධයෙන් මේ වන විට දැඩි සමාජ භීතිකාවක් නිර්මාණය වී තිබේ. ක්ෂුද්‍ර මුල්‍ය ණය ලබාගන්නා අය සියදිවි නසාගන්නා තැනට තල්ලු වන තරමට එය ඉතා බියකරු දෙයක් ය යන අදහස ඒ පසුපස තිබේ.

එහෙත් ක්ෂුද්‍ර මුල්‍ය ණය යනු සංකල්පයක් ලෙස එවැනි නරක දෙයක් නොවේ. විශේෂයෙන් ම, දිළිඳු සමාජ ස්ථරවල ආර්ථිකය සවිබලගැන්වීම සඳහා ක්ෂුද්‍ර මුල්‍ය ණය උපයෝගී කරගත හැකි ය. එසේ කරන බොහෝ සංවිධාන මේ රටේ තිබේ.

Sinhala Tamil English Translations and Content Writing

බැංකු විධායක නිලධාරිවරයකු ලෙස සේවය කළ රාජේන්ද්‍ර විජේසිංහ ඒ පිළිබඳ උදාහරණයක් ලෙස කුලියාපිටිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් විසින් කලකට ඉහතදී දියත් කරන ලද ක්ෂුද්‍ර මුල්‍ය ණය යෝජනා ක්‍රමයක් පිළිබඳ විස්තර කළේ ය. රු. 3000 බැගින් වූ මෙම ක්ෂුද්‍ර මුල්‍ය ණය දෙනු ලැබුවේ සම්ප්‍රදායික කුඹල් ගමක පවුල්වල කාන්තාවන්ට ය. ඔවුන් සාමූහිකව ක්‍රියා කරමින් බැකෝ යන්ත්‍රයක් භාවිතා කර, ඔවුන් මැටි ලබාගන්නා ඈත ගම සිට වළං මැටි ගෙනැවිත් තම ගෙවත්තේ ගොඩගසා ගැනීමට සමත් වූ හ. එම මැටි ඔවුන්ගේ මාස හයක නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් විය. පසුව මෙම ගම්මානයේ පවුල් එකතුව පිහිටුවාගෙන තිබුණු වළං නිෂ්පාදකයන්ගේ සමුපකාර සමිතිය පණගන්වාගන්නා ලදී. ඔවුන්ට බැංකුව විසින් රු. 25,000ක ණයක් දුන් අතර එම මුදලින් ඔවුන් වළං තැනීම සඳහා මැටි සකසන යන්ත්‍රයක් මිළ දී ගත් හ. මෙම පියවර ඔස්සේ තම නිෂ්පාදන පිරිවැය අඩු කරගත් ඔවුහු අලෙවිය ද සමුපකාර සමිතිය හරහා විධිමත් කරගත් හ.

ක්ෂුද්‍ර මුල්‍ය ණය යෝජනා ක්‍රම සාර්ථක වීමට නම් බැංකුව හෝ මුල්‍ය ආයතනය ඉතා සමීපව ගනුදෙනුකරුවන් සමග වැඩ කළ යුතු ය. නැතිනම්, මෙම ණය ඉතා පහසුවෙන් ආපසු නොගෙවන ණය බවට පත් වීමේ අවදානම පවතී.

විශේෂයෙන් ම දිළිඳු ජනයාගේ ආර්ථික සංවර්ධනය සඳහා යොදාගත හැකි ක්ෂුද්‍ර මුල්‍ය ණය පසු කලෙකදී අධික ලාභ ගරාගැනීමේ මාර්ගයක් බවට පත් කරගන්නා ලදී. විශේෂයෙන් මෙ රට පුරා හතු පිපෙන්නා සේ බිහිවෙන්නට පටන් ගත් කුඩා මුල්‍ය සමාගම් විසින් මෙම ක්ෂේත්‍රය ආක්‍රමණය කරන ලදී. ක්ෂුද්‍ර මුල්‍ය යෝජනා ක්‍රමවල මූලික අරමුණ වූ දිළිඳු ප්‍රජාවන්ගේ ආර්ථිකය සංවර්ධනය කිරීම වෙනුවට ඔවුන් සූරාකෑම ආදේශ විය.

බොහෝ විට මෙම ක්ෂුද්‍ර මුල්‍ය ණයවලට සම්බන්ධ කරගනු ලබන්නේ දිළිඳු පවුල්වල කාන්තාවන් ය. ඔවුන් පස් හය දෙනා බැගින් සම්බන්ධ කරගෙන ගොඩනගන කුඩා සමිති ඔස්සේ ණය ලබා දීම සිදු විය. සෑම පුද්ගලයකුගේ ම ණය සම්බන්ධයෙන් සමිතියේ සියලුදෙනා ම වගකිව යුතු විය. නිතිපතා රැස්වීම් පැවැත්විණි. රැස්වීම්වලට සහභාගි වීම අනිවාර්ය විය. ණය වාරික අය කරගනු ලැබුවේ ද මෙම රැස්වීම් අතරතුරදී ම ය. ණය ගෙවීමට අසමත් වීම අසල්වැසි සමාජය ඉදිරියේ ලජ්ජාවට පත් වීමට සිදු වන දෙයක් විය. ඇතැම් ණය නිලධාරීන් කාන්තාවන්ගෙන් ණය අය කරගැනීම සඳහා දැඩි බලපෑම් කළ හ.

ක්ෂුද්‍ර මුල්‍ය ණයවල පොළිය හැම විට ම පාහේ ඉහළ ය. ඇතැම් විට මෙම ණය ලබාදෙන්නේ දෛනික පදනමිනි. වෙළඳපොළවල වෙළඳුන් අතර උදේ ණය දී සවස 5%ක 10%ක පොළියක් සමග එකතු කරගන්නා ණය ක්‍රම පවා ක්‍රියාත්මක වේ. එහෙත්, ඒවායේ පැවැත්ම එම සංදර්භයන් තුළ අවශ්‍ය ය. ඒවායේ වාර්ෂික පොළී ගණනය කිරීම තේරුමක් නැත. ඒවා ක්‍රියාත්මක වන සංදර්භය වෙනස් ය.

යම් ආයෝජනයක් වෙනුවෙන් ක්ෂුද්‍ර මුල්‍ය ණය ලබාගැනීමෙහි වරදක් නැත. බැංකු වැනි ප්‍රධාන මුල්‍ය ආයතන විසින් අතහැර දමනු ලබන දිළිඳු ජන කොටස් අතර එය පහසුකමකි. එහෙත්, ගැටලු මතු වන්නේ සීමාවකින් තොරව ආයෝජන නොවන කටයුතු සඳහා ක්ෂුද්‍ර මුල්‍ය ණය ලබා දීමේ ප්‍රතිඵලයක් ලෙස ය. මෙය ඉතා පුළුල් ගැටලුවකි. ගම්වලට එන විවිධ ජංගම වෙළඳ වාහන විසින් පවා බඩු මුට්ටු මිළ දී ගැනීම සඳහා ණය දෙන්නට පටන් ගත්තේ ය. දිළිඳු සමාජයන් අතර ඉහළ වටිනාකමක් ඇති උපභෝග භාණ්ඩ මිළ දී ගැනීම සඳහා ණය දීමත් සමග ණය ගැනීම වේගයෙන් ව්‍යාප්ත විය. තරගකාරී මුල්‍ය ආයතන රැසක් ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන්නට පටන් ගැනීමත් සමග ම ණය ලබා ගත හැකි මාර්ග ද රාශියක් බිහි විය.

නිදහසේ ණය ගන්නට පුළුවන් වීම දිළිඳු සමාජයන් අතර අලුත් තත්වයක් නිර්මාණය කළේ ය. එක් ණයක් ගෙන ඒ ණය වාරික හා පොළිය ගෙවන්නට තවත් ණය ගැනීම සුලබ තත්වයක් විය. ණය උගුල පුළුල් වන්නට පටන් ගත්තේ ය. ඒ සමග ම ක්ෂේත්‍රයට වෙනත් මැදිහත් වීම් ද සිදු විය. කලකට ඉහතදී ජනතාව අතරින් ම පැන නැගුණු ජනතා සංවිධාන විශේෂයක් වූ සමුපකාර ණය දෙන සමිති හෙවත් සණස සමිති ද බොහෝ තැන්වලදී ක්ෂුද්‍ර‍ මුල්‍ය සමිති පරිද්දෙන් ම ක්‍රියාත්මක වේ. සමුපකාර දෙපාර්තමේන්තුව මෙම ආයතන නිසි පරිදි නියාමනය කරන්නේ නැත. මුල්‍ය කළමනාකරණය පිළිබඳ ලොකු අවබෝධයක් නැති ග්‍රාමීය ප්‍ර‍භූවරුන් තනතුරු දරන මෙම සමිති විසින් ද මේ වන විට ආපසු ගෙවීමේ හැකියාව හෝ සොයා නොබලා පාර්භෝජන ණය දීම කරගෙන යනු ලැබේ. මෙම ආයතන විසින් තැන්පතු ද පවත්වාගෙන යන අතර එමගින් තැන්පත්කරුවන් ද අමාරුවේ දමනු ලැබේ.

සණස මෙන් ම ක්ෂුද්‍ර‍ මුල්‍ය සමාගම් ද ණය ආපසු අය කරගැනීම සඳහා භාවිතා කරන්නේ අසල්වැසි සමාජය ඉදිරියේ ණයකරුවා ලජ්ජාවට පත්කිරීමේ මූලධර්මයයි. රැස්වීම්වලදී ඔවුන් ණය නොගෙවා ඇති බව ප්‍ර‍සිද්ධියේ ප්‍ර‍කාශ කරමින් ණයකරුවන් හා ඇපකරුවන් මත පීඩනය දැඩි කිරීම මෙහි උපායමාර්ගයයි. ඇතැම් ණය නිලධාරීන් ඊටත් එහා ක්‍රියාමාර්ග ද ගනිති.

මෙම පාරිභෝජන ණයවල මූලික ලක්ෂණයක් වන්නේ මෙම ණය භාවිතා කරන්නේ ම අසල්වැසියන් ඉදිරියේ කැපී පෙනෙන සමෘද්ධිමත් ජීවිතයක ව්‍යාජයක් මවාපෑමට වීමයි. නිදසුනක් ලෙස, කොටහලු මගුල්, විවාහ මංගල්‍ය, අවමංගල්‍ය උත්සව, දානමාන, ආගමික ස්ථානවලට කරන පරිත්‍යාග, බඩු භාණ්ඩ මිළ දී ගැනීම්, මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ මිළ දී ගැනීම්, නිවෙස්වල ජ්‍යෝතිෂ ‘වාස්තු විද්‍යා’ වෙනස්කම්, ශාන්තිකර්ම, ෆෙංෂුයි, ලෙඩරෝග සඳහා ප්‍රාතිහාර්ය ප්‍ර‍තිකාර ක්‍ර‍ම ආදිය වෙනුවෙන් මෙකී පාරිභෝජන ණය වියදම් කරන ආකාරය ඉතා සුලබ ය.

එවැනි පිරිස්වලට දුන් ණය ආපසු අය කරගැනීම සඳහා ලජ්ජාවට පත්කිරීමේ උපායමාර්ගය පාවිච්චි කරන විට ඔවුන් එයින් ආරක්ෂා වීම පිණිස ඊළඟට යොමු වන්නේ ගමේ ගිනි පොළීකාරයන් වෙත ය. ගම්වල ගිනි පොළීකාරයන් ද එතරම් ධනවත් පිරිසක් නොවේ. කොරියාවේ රැකියා කර පැමිණි අය, ගම්වල කඩ හිමියන්, රජයේ සේවකයන් ආදීන් ද මේ අතර වේ. ඔවුන් කුඩා ණය ලබාදෙන්නේ ඇප තබාගැනීමකින් තොරව ය. එසේම, මේ පිරිස් ද ණය දීම සිය ජීවනෝපාය බවට පත් කරගෙන වෙනත් වැඩක් නොකර සිටින පිරිසකි. ඔවුන් අතර ද ණය දීම සඳහා තරගයක් තිබේ. එබැවින් ණය ගන්නන්ට ණය ලබාගැනීමට මූලාශ්‍ර‍ රැසක් නිර්මාණය වී තිබේ. ඔවුහු අවසානයේදී එක් අයෙකුගෙන් ගත් ණය වෙනුවෙන් පොළී ගෙවන්නට තවත් අයෙකුගෙන් ණය ගන්නා විෂම චක්‍ර‍යක් බඳු ණය උගුලකට හසුවෙති.

ක්ෂුද්‍ර‍ මුල්‍ය ණය කපාහැරීමෙන් මේ ණය උගුලෙන් දිළින්දන් ගලවාගත හැකි යයි සිතීම මුළාවකි. මේ වන විට ක්ෂුද්‍ර‍ මුල්‍ය ආයතනවලට තිබෙන විරෝධය හේතුවෙන් ඒවා ග්‍රාමීය ණය ක්ෂේත්‍රයෙන් ඉවත් වෙමින් සිටියි. දැන් දැන් එහි ප්‍ර‍ධාන මෙහෙයුම්කරුවන් වෙමින් සිටින්නේ ග්‍රාමීය ගිනි පොළීකාරයන් ය.

ගම්වල මේ වන විට දිළින්දන් වර්ග දෙකක් සිටිති. ඒ අතරින් එක් කොටසක් අමාරුවෙන් උපයා ගත් මුදල් ණයට දී එහි පොළියෙන් ජීවත් වෙති. ඔවුන් අතරින් ඇතැමෙකුට වෙන ජීවනෝපායක් නැත. මේ අතර, හරිහමන් ආදායමක් නැතිව පොළියට ගන්නා සල්ලිවලින් ජීවත් වන දිළින්දෝ ද සිටිති.

මෙය පහසුවෙන් විසඳිය හැකි ප්‍ර‍ශ්නයක් නොවේ. ජනප්‍රිය ක්ෂුද්‍ර‍ මුල්‍ය ණය විරෝධය හා ව්‍යාජ සමීක්ෂණ විසින් මෙම ප්‍ර‍ශ්නය නිවැරදිව විග්‍ර‍හ කරගැනීම ද වළක්වයි. මෙය විසඳාගැනීම සඳහා පුළුල් සාකච්ඡාවක් සමාජයේ ඇති විය යුතු ය. ඒ අතරවාරයේ දිළිඳු සමාජ ස්ථර අතර මුල්‍ය කළමනාකරණය ගැන අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු ය. ඊටත් වඩා බරපතල සමාජ, දේශපාලන ගැටලුවක් මෙහි තිබේ. මෙකී ජනතාවට ධනවාදය, පරිභෝජනය සහ පාරිභෝජනවාදය තේරුම් ගැනීමටත්, ජීවන විලාසයන් හා අරමුණු තෝරාගැනීමටත් ප්‍රායෝගික දේශපාලන දර්ශනයක අවශ්‍යතාව දැඩිව පැනනැගී තිබේ.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.