Rohitha Rajapakse and his fiance in a Dansela, 2015

ඉස්සර දන්සැල් දුන්නෙ දුගී, මගී, යාචකාදීන්ට. විශේෂයෙන් ම වෙසක්, පොසොන් පෝ දිනවල රටේ වැඩිදෙනෙකු වන්දනාමාන කරන්නට යන සිද්ධස්ථාන ළඟ තමයි දන්සැල් තිබුණේ.

පොසොන් උත්සවයට අනුරාධපුරේ, මිහින්තලේ පැවැත්වෙන දන්සැල් ඒ සඳහා උදාහරණ. මේ ඇතැම් දන්සැල් පවත්වන්නේ ඒ සඳහා වන සමිති විසින්. ඒවා තිබෙන්නේ අනුරාධපුරෙන්, මිහින්තලෙන් බොහෝ ඈත ප්‍රදේශවල. මේ දන්සැල් සමිතිවල ක්‍රියාකාරිකයන් දන්සැලට මාස කීපයකට කලින් ඉඳන් ලකලැහැස්ති වෙනවා. හාල්, සිල්ලර, සල්ලි සම්මාදන් කරගන්න ඕනැ. බඩු ලැයිස්තු හදන්නට ඕනැ. කෝකියන්, අත්උදව්කාරයන් හොයාගන්න ඕනැ. ටෙන්ට්, පුටු එහෙමත් ඕනැ.

දන්සැලට අවශ්‍ය බඩුයි, හිරමණේ ඉඳන් බංකුව දක්වා අනෙකුත් අඩුම කුඩුමයි එකතු කරගෙන ලොරියක පිටිපස්සෙ තමයි කට්ටිය දන්සැලට යන්නෙ. ඒ දවසකට, දෙකකට කලින්. ගිහින් වැඳුම් පිදුම් කරලා, බාරහාර වෙලා වැඩ පටන් ගන්නවා. තමන්ගෙ දන්සැල පවත්වන තැන බොහෝ විට එක ම තැනක්. ඉතින් සූදානම් වෙලා ගෙනාපු බඩු ඉවර වෙනකල් දිවා රෑ උයලා, පිහලා දන්සැල දෙනවා. හොඳටම මහන්සි වෙච්ච කට්ටියක් තමයි ආපහු ගමට යන්නෙ. මහන්සියට ඉතින් පොල් ගහ යට කොටිය ඉන්න ලේබල් තියෙන බෝතල්වල තියෙන ජාති තමයි පිහිට.

වෙසක්, පොසොන් පෝ දාට පසුවදා සිට තොරණ, පහන් කූඩු, සල් උයන්, කානිවල්, ඔලුබක්කන් නැටීම් ආදියත් එකතු වෙනවා. සල්පිල් නම් වෙසක් දිනේට කලින් ම පටන් ගන්නවා. ඔය දේවල් එක්ක වින්දනීය ආගමික උත්සවයක් තමයි නිර්මාණය වෙන්නෙ. දන්සැල් දෙන්නෙ මේ අතර.

දැන්, දැන් වෙසක් තොරණ, පහන් කූඩු, සල් උයන් වගේ දේවල් අඩුයි. තොරණ වගේ දේවල් දැන් මිනිසුන්ට එතරම් විස්මයක් ඇති කරන්නෙත් නැහැ. තොරණ එක්ක තියෙන කවි, විරිදු ආදිය සමන්විත සෙනග රැස්වෙන සංස්කෘතිය තමයි තොරණෙ විශේෂත්වය.

දැන් තොරණුත් අඩුයි. තොරණක් ගහලා ඒ වෙනුවෙන් යන වියදම උපයා ගන්නට තරම් සෙනග එන්නෙත් නැහැ.

ඉස්සර නම් කොළඹ වෙසක් එකට ගහපු තොරණ පොසොන් එකට කොළඹින් පිට ගහනවා. ඇසළට ඈත ගමකට අරගෙන යන වෙලාවලුත් තිබුණා. දැන් ඒවා අඩුයි. හැබැයි දන්සැල් වැඩියි. ඉස්සර නම් රෑ පුරා වෙසක්, පොසොන් තොරණ, පහන් කූඩු, සැරසිලි, වෙසක් නාට්‍ය, භක්ති ගී බලපු මිනිසුන් තමයි දන්සැල් වැන්දෙ. දැන් එහෙම නෙමෙයි දන්සැල ම තමයි අවස්ථාව. දන්සැල් වැඳීම තමයි වින්දනීය කාර්යය වෙලාත් තියෙන්නෙ.

මිනිසුන් සාගතෙන් පෙළෙන පිරිසක් වගේ දන්සැල් ළඟ පොදිකනවා. අයිස්ක්‍රීම් වගේ දන්සැල් ළඟදි අයිස්ක්‍රීම් කෝන් දෙක තුන කන්නෙ ජීවිතේට ඒවා කාල නැති මිනිසුන් වගේ. හුඟක් දන්සැල්වල කෑම රස නැහැ. පිඟන්, කෝප්ප හරියට හෝදන්නෙ නැති නිසාත්, උයන පිහන අය ස්වේච්ඡා කට්ටිය නිසාත් කෑම අපිරිසිදු වෙනවා. බොහෝ අය ගත්තාට ඒවා කන්නට බොන්නට බැරුව වීසි කරනවා. දුගී, මගී, යාචකාදීන්ට කියලා දන්සල්වල කිසි විශේෂත්වයක් නැහැ.

මේ දන්සැල් රැල්ල සෑහෙන තරමේ ආහාර අපතේ යැවීමක් ද, ලෙඩ රෝගවලට මුල් වන බඩජාරිකමක් ද ප්‍රවර්ධනය කරන බවක් පෙනෙනවා. පෙරැත්තය නිසාත්, නිකම් දෙන නිසාත්, මිනිසුන් තමන්ට අනවශ්‍ය ආහාර ප්‍රමාණයක් කුසට දමා ගනු දක්නට ලැබෙනවා.

දන්සල් කෑම වගේ ම තමයි දන්සැල් දීමත්. ඒකත් විනෝදාත්මක වැඩක්. කට්ටිය එකතු වෙලා සම්මාදන් කරලා තමන්ට පුළුවන් ආකාරයට බත්, කඩල, මඤ්ඤොක්කා, රොටි, පාන්, තේ, අයිස්ක්‍රීම්, කොත්තමල්ලි, ඉරමුසු ඔය මොනවා හරි දෙනවා. මීට අවුරුදු කීපයකට කලින් නම් දන්සැල් ළඟ තරුණ ඉලන්දාරි බීලා, කුඩු ගහලා එහෙමත් බෆල්වලින් සිංදු දාගෙන, කොඩි වන වනා, ගැහැණුන්ට බුලි කර කර, වයසක අයට විහිළු කර කර දන්සැල්වලින් වෙන වින්දනයක් ලැබුවා. ඒ සම්බන්ධයෙන් මතු වුණ කතිකාව නිසා දැන් ඒවා අඩුයි. දැන් දන්සල්

දැන් දන්සැල් දීමත්, දන්සැල්වලින් කෑමත් කිසි තේරුමක් නැතුව ඔහේ කරන්නන් වාලේ රැල්ලට කරන තවත් එක් පාරිභෝජනවාදී වැඩක්.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.