human trafficking

අද, ජුලි 30දා, පුද්ගලයන් ට්‍රැෆිකිං කිරීමට (trafficking) එරෙහි ජාත්‍යන්තර දිනයයි.

ට්‍රැෆිකිං යන්නට ලංකාවේ ඇතැම් විට කුට්ටනය නම් අපභ්‍රංස වචනය යෙදේ. මිනිස් ජාවාරම, මානව පුද්ගල ජාවාරම වැනි වදන් ද මේ සඳහා භාවිතා වේ.

මෙම සංකල්පයෙන් කියවෙන්නේ මිනිසුන් ජාවාරම් සඳහා යොදාගැනීමයි. මෙම ජාවාරම් බොහෝ විට බලහත්කාර ශ්‍රමය හා ලිංගික සේවා සැපයීම සමග සම්බන්ධ ය.

මෙය ශ්‍රී ලංකාවේ දැනටත් සිදුකෙරේ. නිදසුනක් ලෙස, ලිංගික ශ්‍රමිකයන් ආශ්‍රිතව සංචාරක කලාපවල මෙය සිදු වේ. ලිංගික ශ්‍රමිකයන් ලෙස සේවයේ යෙදවීම සඳහා කාන්තාවන්, ගැහැණු ළමයින් මෙන් ම පිරිමි ළමයින් ද යොදාගනු ලැබේ. එසේම, විදේශ රැකියා ආශ්‍රිතව ද එය සිදු වේ. මැද පෙරදිග ගෘහ සේවයට යවන කාන්තාවන්ගේ සිට බෝට්ටුවලින් සංවර්ධිත රටවල රැකියා සොයා යන අනවසර සංක්‍රමණිකයන් දක්වා විවිධ සමාජ කණ්ඩායම් මිනිස් ජාවාරම්වල ගොදුරු බවට පත්වෙති. සාමාන්‍යයෙන් මිනිස් ජාවාරම්වල ගොදුරු බවට වැඩිපුර ම පත්වන්නේ සමාජයේ දිළිඳු ම කොටස්වල කාන්තාවන් සහ ගැහැණු ළමයි ය.

ප්‍රංශ හෝ ඉතාලි භාෂාවලින් ඉංග්‍රීසි බසට පැමිණියා යයි සැලකෙන ට්‍රැෆික් යන වචනයෙන් ට්‍රැෆිකිං නිර්මාණය වේ. වාහන හෝ සෙනග එහා මෙහා යාම ට්‍රැෆිකිං යන වචනයෙහි සරල තේරුමයි. වහල් සේවය, ගණිකා වෘත්තිය වැනි අපහාසාත්මක වචනවලින් හැඳින්වෙන කටයුතු වෙනුවෙන් මිනිසුන් එහා මෙහා ගෙන යාම හැඳින්වීමට අලුත් වචනයක් ලෙස ට්‍රැෆිකිං භාවිතයට පැමිණියේ ය. එහෙත්, නූතන සංදර්භය තුළ මිනිසුන් එහා මෙහා ගෙන යාමට වඩා වැදගත් වන්නේ මිනිසුන් ජාවාරම්වලට යොදාගැනීමයි. එහෙත්, බොහෝ විට, මානව පුද්ගල ජාවාරම සංක්‍රමණ සමග සම්බන්ධ ය.

විශේෂයෙන් ම එක්සත් ජාතීන්ගේ හා සිවිල් සංවිධානවල උද්දේශන ක්‍රියාමාර්ග තුළ මෙම වචනය භාවිතා වූ අතර, වර්තමානයේදී ද ට්‍රැෆිකිං සම්බන්ධයෙන් සිදු වන ප්‍රධාන ක්‍රියාමාර්ගය ඒවා වැළැක්වීම සඳහා නීති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම පිණිස රජයට බලපෑම් කිරීමයි.

ශ්‍රී ලංකාවේ මානව පුද්ගල ජාවාරම සම්බන්ධ විධිමත් අධ්‍යයන හා දත්ත අවම බව මේ පිළිබඳ සොයාබැලීමේදී දැකිය හැකි ය. මානව පුද්ගල ජාවාරම සිදු නොවන බවක් එයින් අදහස් වන්නේ නැත. එය ලොව පුරාම විවිධාකාරයෙන් සිදුවන්නකි.

ලංකාවේ මානව පුද්ගල ජාවාරමට ඉඩ සලසන ප්‍රධාන හේතු වන්නේ ඇතැම් රැකියා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රම ප්‍රමිති හා නීති නැතිකමයි. නීති තිබුණත්, ඇතැම් විට ඒවා ක්‍රියාත්මක වන්නේ නැත. එකී නීති පිළිබඳ මහජනයා, පොලිසිය පමණක් නොව ඇතැම් විට කම්කරු නිලධාරීන් පවා දන්නේ නැත.

ලංකාවේ බොහෝ විට මානව පුද්ගල ජාවාරම්වලට පවුල්වල අය ද සම්බන්ධ ය. දිළිඳුකම හා නූගත්කම එයට ප්‍රධාන හේතුවකි. රිසානා නෆීක් සිද්ධිය උදාහරණයකි. කල්මුනේ පදිංචිව සිටි බාල වයස්කාර ගැහැණු ළමයකු වූ රිසානා නෆීක් ව්‍යාජ උප්පැන්න සහතිකයක් භාවිතා කරමින් සවුදි අරාබියේ ගෘහ සේවිකා රැකියාවකට යැවිණි. එහිදී ළදරු මරණයක් සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනා ලද ඇගේ හිස ගසා මරා දමන ලදී.

ගෘහ සේවය ආශ්‍රිතව මෑතක් වන තුරු ම මානව පුද්ගල ජාවාරම පැවතිණි. වර්තමානයේදී පවා වතුකරය සහ ඉතා දිළිඳු ජනයා ජීවත් වන තවත් ප්‍රදේශවල මෙය පවතී. එය නීති විරෝධී පමණක් නොව මානව විරෝධී ය. මානව පුද්ගල ජාවාරම දුරලීම සඳහා සමාජය ලෙස අප සංවේදීව කටයුතු කළ යුතු ය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.