UNFPA ageing conference

ජුලි 11දාට යෙදෙන ලෝක ජනගහන දිනය නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සුබසාධන අමාත්‍යාංශය සහ හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා සමග එක්ව අද දින කොළඹදී පවත්වන ලද ප්‍රතිපත්ති සංවාදයේ තේමාව වුණේ ජනගහන වියපත් වීමේ ස්ත්‍රීකරණයයි. ඒ මොකක් ද?

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එය මෙසේ පැහැදිලි කරනවා. “ශ්‍රී ලාංකික කාන්තාවකගේ උපතේදී ආයු අපේක්ෂාව වසර 79කි. පිරිමියකුගේ උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 72කි. එයින් අදහස් වන පරිදි වයස අවුරුදු 60 සපිරෙන විට ශ්‍රී ලංකාවේ කාන්තාවන් ඉදිරියේ තවත් අවුරුදු 19ක් තිබියදී පිරිමින් ඉදිරියේ අවුරුදු 12ක කාලයක් තිබේ. දකුණු ආසියාවේ වේගයෙන් ම වර්ධනය වන වියපත් වන ජනගහනය සිටින ශ්‍රී ලංකාවේ 2030 වසර වන විට පුරවැසියන්ගෙන් පහෙන් එකක් ම වයස අවුරුදු 60ට වැඩි වන බව පුරෝකථනය කර තිබේ.”

ශ්‍රී ලංකාවේ වියපත් වන ජනගහනයේ බහුතරය කාන්තාවන් වන අතර, වියපත් වීමේ මෙකී ස්ත්‍රීකරණය ලෙස හඳුන්වන්නේ එම තත්වයයි. එය විසින් රට සූදානම් විය යුතු සුවිශේෂ අභියෝග සහ අවස්ථා රැසක් උදා කර දී තිබෙන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසනවා. මේ අභියෝග මොනවා ද?

වැඩිහිටි කාන්තාවන් වැන්දඹුවන් ලෙස දිගුකලක් ජීවත් වීම, ඔවුන්ට ස්වාධීනත්වය හා රැකවරණය අහිමි වීම, දරුවන්ගෙන් යැපෙන්නන් බවට පත් වීම, වැටුප් නොගෙවන කටයුතුවල යෙදෙන්නට සිදුවීම, දිළිඳුකම, සෞඛ්‍ය ප්‍රශ්න, මානසික ගැටලු, ලිංගික ප්‍රශ්න ආදී ප්‍රශ්න රැසක් එහි තිබේ.

සංවාදය ආරම්භ කරමින් සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා මෙසේ පැවසී ය: “වියපත් වන ජනගහනයකට සූදානම් වීම තිරසර සංවර්ධන අරමුණු දිනාගැනීමේදී ඉතා වැදගත්. වැඩිහිටි කාන්තාවන් ඇතුළුව සියලු වයස් කාණ්ඩවල සියලුදෙනා අතර සෞඛ්‍ය සම්පන්න ජීවිත සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම තහවුරු කිරීම ශ්‍රී ලංකාවේ වගකීමයි.”

සංවාදය ආරම්භ කරමින් සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා මෙසේ පැවසී ය: “වියපත් වන ජනගහනයකට සූදානම් වීම තිරසර සංවර්ධන අරමුණු දිනාගැනීමේදී ඉතා වැදගත්. වැඩිහිටි කාන්තාවන් ඇතුළුව සියලු වයස් කාණ්ඩවල සියලුදෙනා අතර සෞඛ්‍ය සම්පන්න ජීවිත සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම තහවුරු කිරීම ශ්‍රී ලංකාවේ වගකීමයි.”

ස්ත්‍රී පුරුෂ සමාජභාවී අසමානතා අවධාරණය කරමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත රිට්සු නකේන් මහත්මිය මෙසේ පැවසුවා ය: “උපතේ සිට මරණය දක්වා සමස්ත ජීවන චක්‍රය ම ස්ත්‍රී පුරුෂ සමාජභාවී සම්බන්ධතා නිසා බලපෑමට ලක් වේ. එමගින් සම්පත් සහ අවස්ථා වෙත ප්‍රවේශය කෙරෙහි බලපෑම් ඇති වේ. නිදසුනක් ලෙස, අධ්‍යාපනයේ සහ රැකියා අවස්ථාවල ස්ත්‍රී පුරුෂ සමාජභාවී අසමානතා පුද්ගලයකුගේ ජීවිතයේ සෑම අදියරකදී ම වැඩි වේ. එය වැඩිහිටි වියේ දී වඩාත් අධික ය. කාන්තාවන් මුදල් නොගෙවන සත්කාර කටයුතු වෙනුවෙන් පිරිමින්ට වඩා කාලය කැපකරති. එහි ප්‍රතිඵලයක් ලෙස, විශ්‍රාම වැටුප් සහ ඉතුරුම් රහිත වැඩිහිටි කාන්තාවන් වැඩිහිටි පිරිමින්ට වඩා දුප්පත් වීමේ ප්‍රවණතාවක් තිබේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවී අසමානත්වය, දිළිඳුකම සහ වියපත් වීම වියපත් වීම ස්ත්‍රීකරණයේ මුහුණත ලෙස නිරූපණය වේ.”

මෙම සාකච්ඡා සභාව සමන්විත වූයේ ආසියා හා පැසිෆික් කලාපයයේ එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කොමිෂමේ (UNESCAP) හිටපු ප්‍රධානී සහ සිංගප්පූරුවේ සමාජ සහ පවුල් සංවර්ධන අමාත්‍යාංශයේ වියපත් වීම පිළිබඳ හිටපු ජ්‍යේෂ්ඨ උපදේශක තෙල්මා කේ මිය පෙන්වා දුන් කරුණක් වූයේ ආසියාවේ වැඩිහිටි ජනගහනය අහිමිකිරීම් රැසකට මුහුණ දෙන බවයි. ඔවුන්ගේ සමාජ ආරක්ෂණය ඇත්තේ ඉතා පහත් මට්ටමක ය. විශ්‍රාම වැටුප් ලැබෙන්නේ වැඩිහිටි ජනගහනයෙන් 30%කට පමණි. සෞඛ්‍ය රක්ෂණාවරණයක් තිබෙන්නේ 20%කට පමණි. වැඩිහිටියන් පොදුවේ මුහුණ දෙන ගැටලුවලට කාන්තාවෝ වැඩිපුර මුහුණ දෙති.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ තායිලන්තයේ පිහිටි කලාපීය කාර්යාලයේ ජනගහන වියපත් වීම සහ තිරසර සංවර්ධනය පිළිබඳ කලාපීය උපදේශක රින්ටාරෝ මොරි පෙන්වා දුන්නේ ජනගහන වියපත් වීම රටක ජයග්‍රහණයක් බවයි. ඒ නිසා එය නිශේධාත්මක කරුණක් ලෙස හැඳින්විය යුතු නැත. එය හේතුව, රටක මරණ අනුපාතිකය අඩු වීමයි. මාතෘ මරණ අවම වීමත් සමග කාන්තාවන්ට ජීවිතය සම්බන්ධයෙන් තෝරාගැනීම් කිරීමට වැඩි අවස්ථාවක් ලැබේ. ආයු අපේක්ෂාව සහ නිරෝගී ආයු අපේක්ෂාව අතර පරතරය අවම කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේ ය.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සහ පේරාදෙනිය ශික්ෂණ රෝහලේ ගරු මනෝ වෛද්‍ය විශේෂඥ පබාසරී ගිනිගේ මහත්මියගේ අවධානය වැඩිපුර යොමු වූයේ වැඩිහිටි ජනයාගේ ලිංගික හා මානසික සෞඛ්‍යය කෙරෙහි ය. වැඩිහිටි කාන්තාවන් තවදුරටත් ලිංගික වශයෙන් සක්‍රිය නොවේ යයි ඒකාකෘතික විශ්වාසයක් සමාජයේ ඇති බව ඇය පෙන්වා දුන්නා ය. බොහෝ වැඩිහිටි කාන්තාවන් ද ලිංගික කටයුතු තමන්ට නුසුදුසු ක්‍රියාවකැයි සිතන බව ද, එහෙත්, ලිංගික සතුට වැඩිහිටි ජීවිතයේ ද ප්‍රධාන සතුටක් බව ද ඇය පෙන්වා දුන්නා ය.

මෙම සාකච්ඡා සභාව මෙහෙයවනු ලැබුවේ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ගනේෂන් විග්නරාජා විසිනි. රජයේ නිලධාරීන්, ජාත්‍යන්තර ප්‍රජාව, සිවිල් සමාජය, විද්‍යාර්ථීන්, පෞද්ගලික අංශය සහ මාධ්‍ය ද සංවාදයට සහභාගි විය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.