Chamara Lakshan

අජිත් පැරකුම් ජයසිංහ (අප මිතුරු මාධ්‍යවේදී චාමර ලක්ෂාන්ගේ වියොවින් වසරක් පිරීම වෙනුවෙන් අප වසරකට පෙර ලියූ සටහනක නැවත පළකිරීමකි)

චාමර ලක්ෂාන් මතුගම කොල්ලෙකි. මතුගම කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙනගෙන 2000 දශකයේ මැද හරියේදී විශ්වවිද්‍යාල සිසුවකු ව සිටින අතර ලක්බිමෙන් පුවත්පත් කලාවට  බට උනන්දු තරුණයෙකි.ඔහු මට⁣ මුල් වරට හමු වුණේ 2005දී  අපි කොළඹ කොටුවේ හිරු පුවත්පතේ කාර්යාලය පවත්වාගෙන ගිය බේරෙ වැව අද්දර ගුරුමැදුරට අප සොයා පැමිණි විටදී ය.

ඒ වකවානුවේදී අප අතර පුළුල් දේශපාලන පරතරයක් තිබුණත්, ඔහු දැඩි උනන්දුවකින් දේශපාලනය ගවේෂණය කරන්නකු වූ නිසා ඔහු අප සමග ද සුහද විය.ඉන් පසු ද අපි බොහෝ තැන්වලදී හමු වුණෙමු. 2015 කාලය වන විට අප අතර දේශපාලන පරතරය අවම විය. එබැවින් අපි දේශපාලන වැඩවලදී ද හමු වුණෙමු. ඔහු ලේක්හවුසියේ වැඩ කළ මුල් කාලයේ ඇතැම් දිනෙක අපි හවසට රුහුණු කුමාරි දුම්රියේ ද හමු වුණෙමු. සිය ආදරණීය දරු සිඟිත්තාගේ මුහුණ බලන්නට ඔහු ද ගෙදර දුවමින් සිටියේ ය. එහෙත් පසුව ඔහු බොහෝ කාර්යබහුල විය.

ඔහු එක් පැත්තකින් ලංකාවේ ඉතා වාසනාවන්ත තරුණ මාධ්‍යකරුවකු විය. රැස පුවත්පතේ සමාරම්භක කර්තෘ වූ ඔහුට සිය තරුණ දිවියේ පරිණත අවධියේදී ඔහුට සිළුමිණේ කර්තෘ පදවිය දක්වා ඉදිරියට ඒමේ අවස්ථාව ලැබිණි. චාමර ලක්ෂාන් කුමාර අනාගතයේ රටට මහඟු සම්පතක් වන දක්ෂ මාධ්‍යවේදියකු හා මාධ්‍ය කළමනාකරුවකු ලෙස ගොඩනැගෙමින් සිටියේ ය.අපට අහිමි වූයේ එවැනි ජාතික ආයෝජනයකි.ඔහු මතුගම ගමට ආදරය කළ, මරණය තෙක් මතුගම ම ජීවත් වූ මාධ්‍යකරුවෙකි. මතුගම ගැන ලියැවෙන දේවලට ඔහු හැම විට ම සිය පුවත්පත්වල ඉඩ වෙන් කර දුන්නේ ය.

මතුගම නගරයේ විදුලි කම්බි සරසන අටු ලිහිණියන් ගැන මා ලියූ ලිපි ඇසුරෙන් රැස පුවත්පතට ලිපියක් ලියා දෙන්නැයි ඔහු දිනක් මට කීවේ ය. මා වහා එය යැවූ අතර ලිපිය පසුදාම පුවත්පතේ පළ විය.

“අයියා, අන්න බීබීසී එකෙත් අපේ කුරුල්ලන් ගැන ලියලා,” ඔහු තව දින දෙක තුනකින් මා දුරකථනයෙන් අමතා කීවේ ය.මතුගමට එන අටුලිහිණියන් සුපුරුදු ලෙස සිංහල අලුත් අවුරුද්දත් සමග නික්ම ගිය හ. ඔවුන් ගැන උනන්දු තවත් මතුගම හාදයකු, පරිසරවේදියකු මා මාධ්‍යවේදියකු වන ෂර්ලි අනිල් කුමාර පවසන පරිදි ඔවුන් ඉගිල යන්නට ඇත්තේ සයිබීරියාවට ය. එහිදී කූඩු තනා බිජු ලා පැටවුන් හදාවඩාගෙන ඔවුන් සැප්තැම්බරයේ ආපසු එනු ඇත.

එහෙත්, අපේ කුරුල්ලන් ආපසු එන විට මතුගම ඇතුලත්මුදලිගම චාමර විසූ කැදැල්ලෙන් ඔහු නික්ම ගොසිනි.

ඔහුගේ දුරකථනයේ රිං ටෝන් එක ‘ළා දළු බෝපත් හෙමින් සැලෙන සේ යසෝදරා දේවි – වාවනු බැරි දුක හෙමිහිට හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී’ යි වැයේ. ඔහුගේ බිරිඳටත්, කුඩා පුතුටත් අපේ සාතිශය සංවේගය පිරිනමන්නෙමු.

ඔහු දුරකථනයට හලෝ කියනු වෙනුවට කීවේ ‘අයියා, කියන්න’ කියා ය. චාමරට කියන්න⁣ට තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සංවර්ධනය වෙනුවෙන් අප කළ වැඩ අපි හෙටත් කරගෙන යනු ඇති බව ය. ඒ වැඩවලදී නැවත නැවතත් අපට ඔබ සිහි වනු ඇති බව ය.

ඉතින් ඔබ සාමයෙන් විවේක ගන්න.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.