Gotabaya Rajapaksa

ගෝඨාභය ඇමරිකාවෙදි කේස් ෂේප් කරගත්ත හැටි

‍ගෝඨාභය රාජපක්ෂ අද දහවල් කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට සපැමිණීමට නියමිත බව වාර්තා වේ. ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ හිතවතුන් ඔහු පෙරහරින් කොළඹට කැඳවාගෙන එන්නට නියමිත බව ද දැනගන්නට ඇත. (ලිපිය දැන්වීමෙන් පසු දිගට ම කියවිය හැකි ය.)

Media and Social Entrepreneur

මැදමූලන ඩි. ඒ. රාජපක්ෂ අනුස්මරණ කටුගෙය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 339 ක රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන අධිචෝදනා විභාග කරන කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඔහුට විදේශගත වීමට දෙන ලද අවසරය අනුව ඔහු අද දින අනිවාර්යයෙන් ම ශ්‍රී ලංකාවට පැමිණිය යුතු ය. එම අවසරය වලංගු වන්නේ අප්‍රේල් 12දා දක්වා පමණි.

ගෝඨාභය රාජපක්ෂ සිය පවුලේ අය සමග එක්සත් ජනපදයේ කාලය ගත කරන අතරතුර අත්අඩංගුවේ සිටියදී වධහිංසනයට ලක් වූ පුද්ගලයකු විසින් සහ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරණ ලද සමයේ අධි ආරක්ෂක කලාපයකදී ඝාතනය කරන ලද මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් ඔහුට එරෙහිව නඩු දෙකක් ගොනු කර තිබේ.

වසර 2007දී අත්අඩංගුවේ සිටියදී වධහිංසනයට ලක් වූ පුද්ගලයා විසින් පවරා තිබෙන්නේ වන්දි ඉල්ලා සිටින සිවිල් නඩුවකි. පුද්ගලයකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වන අතර එවකට එම තනතුර දැරුවේ ගෝඨාභය රාජපක්ෂ ය. මෙම පුද්ගලයා ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන රැකවරණ ලබාගත් අයෙකු නම්, ඒ සඳහා දැනටමත් ඔහු වධහිංසනයට ලක් වී තිබෙන බව ඇමරිකා එක්සත් ජනපද රජය විසින් පිළිගෙන තිබේ නම්, ගෝඨාභයට එරෙහි වන්දි නඩුව පැහැදිලි සාක්ෂි මත පදනම් වේ. එය සම්බන්ධ සිතාසි ගෝඨාභයට භාර දුන් බවට නිල නොවන වාර්තා හා ඡායාරූප පළ විය. එම තොරතුරු සාවද්‍ය බව ගෝඨාභය රාජපක්ෂට සමීප පිරිස් පවසති. කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ තතු දත් ආරංචි මාර්ග පවසන පරිදි ගෝඨාභය රාජපක්ෂට එවැනි නඩුවක් වෙනුවෙන් පෙනී සිටීම නීතිඥයකුට පවරා ශ්‍රී ලංකාවට පැමිණිය හැකි ය. එවැනි විභාගයක් පවතින විට ඔහුගේ එරට දේපල විකිණීම සිදු කරන්නට බැරි විය හැකි ය. එම දේපල හිමිකාරිත්වය තිබෙන්නේ ඔහුගේ පවුලේ වෙනත් අයට වන්නට ද පුළුවන.

ලසන්ත වික්‍රමතුංගගේ දියණියගේ නඩුව ඝාතනය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා පවරන ලද නඩුවක් වන අතර, එම නඩුව තරමක සංකීර්ණ ස්වභාවයකින් යුක්ත ය. එහිදී ජූරි විභාගයක් ඉල්ලා තිබෙන බව නීති විශාරදයකු අප සමග පැවසී ය. ඒ සම්බන්ධ සිතාසි භාරදීමක් අනාගතයේදී සිදු විය හැකි ය.

ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඉවත් කරගැනීමට අයදුම්පතක් භාර දී තිබෙන බව ගෝඨාභය රාජපක්ෂ පවසයි. ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගන්නා අයෙකු පුරවැසිභාවය ඉවත් කරගත්තත්, ඔහු පුරවැසිභාවය දැරූ සමයේ කළ කී දේ සම්බන්ධයෙන් ඉදිරි වසර ගණනාවක කාලය තුළ වගවිය යුතු ය.

ගෝඨාභය රාජපක්ෂ පුරවැසිභාවය ඉවත් කරගැනීමට භාර දුන් අයදුම්පත හෝ එම අයදුම්පත භාරගත් බවට දී තිබෙන ලේඛන අනුව, ඔහු තවදුරටත් එක්සත් ජනපදයේ පුරවැසියකු ද නැද්ද යන්න තීරණය කරනු ඇත්තේ ශ්‍රී ලංකාවේ අධිකරණයේ විභාගයකින් විය හැකි බව සංක්‍රමණ හා නීති කටයුතු පිළිබඳ විශාරද මතයයි. මේ වන විට ශ්‍රී ලංකාවේ අධිකරණය රාජපක්ෂ සමයට සාපේක්ෂව බොහෝ දුරට ස්වාධීනව කටයුතු කරන බව වැඩිදෙනෙකුගේ පිළිගැනීමයි. එහෙත්, රාජපක්ෂවරුන්ට එරෙහි නඩුවලදී නඩු පවරන අංශවල දුර්වලකම් ද උපයෝගී කරගනිමින්, සිය බලය පාවිච්චි කරමින් වෙනත් අයට නොලැබෙන වාසිදායක තත්වයන් දිනාගැනීමට රාජපක්ෂ පවුලේ අය සමත් වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයක් සඳහා මහින්ද රාජපක්ෂගේ ආශිර්වාද ලබන අපේක්ෂකයා බවට පත් වීමට උත්සාහ කරන අතර, පවත්නා නීති අනුව, ද්විත්ව පුරවැසියන්ට ජනාධිපතිවරණයට තරග කළ නොහැකිය. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියෙකි.

කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂ යනු දැඩි මතභේදයට තුඩු දුන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු විය හැකි බව පැහැදිලි ය. එම මතභේදාත්මක තත්වය ම ප්‍රචාරණය සඳහා භාවිතා කරමින් වාසි ලබාගැනීමට ඔහුගේ අනුගාමිකයන් කටයුතු කරමින් තිබේ. එසේ කරනු ලබන්නේ ඇමරිකානු විරෝධී හා දැඩි සිංහල ජාතිවාදී අදහස් ප්‍රවර්ධනය කරමින් ය. ඔහුගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල තුළින් ම ගැටලු පැන නැගී තිබේ. මහින්ද රාජපක්ෂ න්‍යෂ්ටික පවුලේ අනුමැතිය ඔහුට කෙතරම් දුරට හිමි වේද යන්න පැහැදිලි නැත. එසේම, බැසිල් රාජපක්ෂ විසින් මෙහෙයවනු ලබන පොදුජන පෙරමුණෙහි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ඔහුට ලැබේ ද යන්න ද තවමත් පැහැදිලි නැත.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීමට උනන්දුව පළ කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන්නේ ඔහු ය. මේ වන විට ඔහු පසුගිය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ සමයේ ඔහුගේ ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී ක්‍රියාකලාපය පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සමග සම්මුතියකට එළැඹ සිටියි. එසේම, ඔහු එම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය මෙහෙයවූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග එකතුව ය. මෙම සංදර්භය තුළ මෛත්‍රීපාල සිරිසේන ද බලවත් තත්වයක සිටින අතර ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයක් තීරණය කිරීමට ඔහුට ද බලය තිබේ.

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මේ වන විටත් වංචා හා දූෂණ සම්බන්ධ නඩු කිහිපයක් ම විභාග වේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ මරණයට හේතු වූයේ ගෝඨාභය රාජපක්ෂ විසින් යුක්රේනයෙන් මිග් ප්‍රහාරක යානා මිළ දී ගැනීම සම්බන්ධයෙන් කරන ලද ගනුදෙනුවලදී සිදු වූ දූෂණ හෙළිදරව් කිරීම බව පොදු පිළිගැනීමයි. එසේම, ඔහු ආරක්ෂක ලේකම් ධුරය දරණ ලද සමයේ යුද්ධයෙන් පරිබාහිරව ද ඝාතන, පැහැරගැනීම්, වධහිංසා රැසක් සිදු විය. ඒ අතරින් මාධ්‍යවේදීන්ට සිදු වූ හිංසනයන් කෙරෙහි ලෝක අවධානය යොමු වී තිබේ. එසේම, ඔහු බලවත් සමයේ අන්තවාදී සංවිධාන විසින් මුස්ලිම් විරෝධී කෝලාහල ද ගණනාවක් ම නිර්මාණය කරන ලදී. ඒ හා සම්බන්ධ අන්තවාදී සංවිධාන ද ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉල්ලා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ය.

Sinhala Tamil English Translations and Content Writing