නිශාන්ත කුලරත්න

ඉතිහාසය සටහන්ව ඇත්තේ ඒකාකාරී ලෙස නොවේ. එය සාමකාමී කාල පරිච්ඡේදයගෙන් මෙන්ම ගිනිගත් යුගයන්ගෙන්ද ගහණය. මෙවන් ඇතැම් ගිනිගත් යුගයන් සමාජය වෙත අමිල දායාදයන් ලබාදී ඇති අතර සමහර එවන් යුගයන් අවසානව ඇත්තේ ඛේදවාචකම ලෙසිනි.

Sinhala Tamil English Translations and Content Writing

පසුගිය දශකවල ශ්‍රී ලංකාවේ සිදුවූ සිංහල සහ දෙමළ සන්නද්ධ නැගිටීම් ආශ්‍රිත කාල වකවානු සැලකිය හැක්කේ ඉහත දෙවන වර්ගයට අයත් ගිනිගත් යුගයන් ලෙසය. ක්‍රමක්‍රමයෙන් වැඩි වූ අතිවිශාල ප්‍රචණ්ඩවත්වයක් සමාජය වෙත මුදාහල ඒවා අවසාන වූයේ සමාජ මනස දරුණු ලෙස තුවාල කරමිනි. සිංහල සහ දෙමළ වශයෙන් වන දරුණු ධ්‍රැවීකරණයන්, අතාර්කික කුමන්ත්‍රණ භීතිකාවන්, තම සමාජයටම අයත් තවත් අයෙකු කෙරෙහි ඇති බිය හා සැකය, වෙනස් මත දරන්නන් මර්ධනය කිරීමේ මානසිකත්වය ආදී වශයෙන් අප සමාජය පුරා වර්තමානයේ පැතිර ඇති දරා ගත නොහැකි “සීතල”ට ඒවායින් සිදු කල දායකත්වය සුළුපටු නොවේ.

කෙසේවුවද, මේ යුගයන් සමාජයට දායක කල උණුසුම් තිළිණයක්ද වෙයි. එනම්, තම ජීවිතවලට වඩා විශාල අරමුණක් වෙනුවෙන් පසුනොබා සටන් වැදීමට තරුණ පිරිසක් තුල වූ කැපවීමයි. එය ඉන් පෙර ඉතිහාසය තුල අසන්නට නොලැබුණු දෙයකි. වර්තමානයේ තරුණයන්ට ආගන්තුකද වන දෙයකි. ගැටළුව වන්නේ එවන් සුවිසල් අධිෂ්ඨානයක් එතරම් විනාශකාරීත්වයකින් අවසන් වූයේ ඇයිද යන්නයි.

මෙම යුගයන් ආශ්‍රිතව නිර්මාණය කෙරුණු කලා කෘතියක් ඉහත ප්‍රශ්නයට යම් ආලෝකයක් ලබාදීමට සමත් වෙනවානම් මා වඩා සතුටුය. මේ දිනවල ප්‍රදර්ශනය කෙරෙන “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටය නැරඹීමෙන් පසුව මට හැගී ගියේ චිත්‍රපටය එම කාරණයේදී අසමත් බවයි.

නළුනිලියන්ගේ රංගනය, කැමරාකරණය, කලා අධ්‍යක්ෂණය චිත්‍රපටය තුල ප්‍රශස්ත මට්ටමක පවතින බවක් දැකිය හැකිය. එහෙත් කලා නිර්මාණයක ගුණාත්මක බව වැඩි දියුණු වන්නේ අතීතයේ සිදුවීමක් එම ආකාරයෙන්ම ඉදිරිපත් කිරීම තුල පමණක් නොවේ. තම රසිකයා සමග සංවාදයකට මුල පිරීම ද ගුණාත්මක කෘතියක අංගයකි. මෙය “ගින්නෙන් උපන් සීතල” තුල ගිලිහී යන බවක් පෙනී යයි. ඊට ප්‍රධානතම හේතුව ලෙස දැකිය හැක්කේ චිත්‍රපටය පදනම් වන යුගයේ සමාජ-දේශපාලන දේශපාලන පසුතලය පිලිබදව ඉදිරිපත් කිරීමකට යාමකට නිර්මාණකරුවා එතරම් උනන්දුවක් නොදැක්වීමයි. එවන් සටහනකින් තොරව විප්ලවයක් පිලිබද කතා පුවතක් ඉදිරිපත් කිරීම නිසා තරුණ පිරිසක් රහසිගතව සාකච්ඡා කිරීම, වරින්වර පදිංචි තැන් වෙනස් කිරීම ආදී වශයෙන් වූ සිදුවීම් මාලාවක් බවට චිත්‍රපටයේ කතාව පත්වේ.

එහෙත් තම කතා පුවත තෝරාගැනීම නිර්මාණකරුවාගේ නිදහසකි. මෙම චිත්‍රපටය සදහා අධ්‍යක්ෂකවරයා පදනම් වන කතා පුවත සැලකිල්ලට ගතහොත් එය තුල ද ඉහත ආකාරයේ සංවාදයකට මුල පිරිය හැකි කතා වින්‍යාසයන් දෙකක් හදුනාගත හැකිය. එකක් නම් විජේවීරගේ පුද්ගලික ජීවිතය කේන්ද්‍ර කරගනිමින් ස්ත්‍රියගේ භූමිකාව සම්බන්ධයෙන් ඔවුනට පැවති අදහස පිලිබද ඉදිරිපත් කිරීමට යාමයි. (මේ සම්බන්ධ උදාහරණ කිහිපයක් චිත්‍රපටය තුල සදහන් වනමුත් ඒවා නිශ්චිත අවසානයකට දිශානත නොවේ). දෙවැන්න විජේවීරගේ ජීවිතය රැක දීම වෙනුවෙන් කැපවී කටයුතු කල ඔහුගේ සගයන් කේන්ද්‍ර කරගනිමින් ඉදිරිපත් කිරීමකට යාමයි. එම පිරිස එය සිදු කරන්නේ හුදු තවත් අයෙකුගේ ජීවිතය රැක දෙනවාය යන අදහසකින්ම නොව, තමන් ජීවත් වන ජරාජීර්ණ වූ ලෝකයට එහා ගිය නව ලෝකයක ආලෝකයක් ඔවුන් ඔහු තුල දකින බැවිනි. තමා දකින දෙය වෙනුවෙන් ඕනෑම අවදානමක් බාරගැනීමට තරම් අධිෂ්ඨානයක් ඔවුන් තුල වෙයි. ‘ලෝකය වෙනස් විය යුතුය’ යන බලාපොරොත්තුව අන් අය තුලද ඇති කරවන්නේ එවන් අධිෂ්ඨානයන් මගිනි. කෙසේවුවත් මෙය සම්බන්ධ උදාහරණද නිශ්චිත ඉලක්කයකින් තොරව ප්‍රධාන කතාව තුල අතරමංව යයි.

බොහෝදෙනෙකුට තවමත් මතක යුගයක සිදුවූ අතිශය විවාදපන්න ක්‍රියාවලියක් හැකිතාක් එම ස්වරූපයෙන්ම ප්‍රතිනිර්මාණය කිරීමට අනුරුද්ධ ජයසිංහ දැක්වූ උත්සාහය අපගේ අගය කිරීමට ලක්විය යුතුය. ඒ සමගම අපගේ සමාජ සංවාදය පෝෂණය කරවන දෙයක්ද ඔහු අප වෙත ලබා දුන්නානම් චිත්‍රපටය “ගින්නෙන් උපන් සීතලක්” නොවීමට ඉඩ තිබුණි.

The Frozen Fire

චිත්‍රපටය පිළිබඳ තවත් අදහසක්:

දේශපාලනික වශයෙන් සීතල ගින්නෙන් උපන් සීතල >>

Call 077 1734470 for Sinhala Tamil English Translations

1 thought on “ගින්නෙන් උපන්නේ සීතල පමණක්මද?

  1. මැදහත් ඉදිරිපත් කිරීමක් ලෙස දැනේ. චිත්‍රපටිය තුලින් මට දැනුනු දේට සමරෑපි අදහසක් කියවන්නට ලැබීම සතුට දනවන්නකි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.