මනෝරම වීරසිංහ

ක්‍රි.ව 1505 වසරේ පෘතුගීසීන් මෙරටට පැමිණෙන විට 9 වැනි ධර්ම පරාක්‍රමබාහු රජු මෙරට පාලනය කළ බව රාජාවලිය කියයි. ඔහුට සිටි සොහොයුරන් අතරින් මාදම්පෙ සිටි තනිය වල්ලභත්, උඩුගම්පොල කේන්ද්‍ර කරගත් සකල කලා වල්ලභත් ප්‍රධාන විය.

සකල කලා වල්ලභයන් තැනූ වැව් හතෙන් ඉතිරිව ඇත්තේ මාබෝදල වැව පමණි. ඉතිරි සියල්ල කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් ය. හිරිපිටිය වැව නමින් ඉදිකළ වැව වේයන්ගොඩ නගර සමීපයෙහි විය. වර්තමාන සතිපොළ සංකීර්ණයට එපිටින් ඇති ගොහොරුව ඒ වැවයි. හිටිපිටිය වැවේ වාන, හිටිපිටි + වාන = හිරිපිටාන වී ඇත. වර්තමානයේ වේයන්ගොඩ බණ්ඩාරනායක මාවත පෙදෙස හිරිපිටාන නමින් හදුන්වයි. උඩුගම ප්‍රදේශයේ සිට වැවට වතුර ආ ඇළ මාර්ගය අදටත් මහ වැස්සකදී යටවෙයි. ඒ මිකාඩාවත්තයි. වේයන්ගොඩට එපිටින් ඇති මහා දැවැන්ත වෙල්යාය දඩගමුව තෙක් විහිදෙයි. දඩගමුව පාළි රසවාහිනියේ ‘දණ්ඩගෝණ ග්‍රාම’ නමින් හදුන්වා ඇත. දී ඇල්ලේ ඔය අත්තනගලු ඔය හා එක්ව දඩුගම් ඔය නිර්මාණය කිරීම ආරම්භ කරන්නේ දඩගමුවෙනි.

කාලයත් සමග ඕලන්ද ආණ්ඩුව රටේ පාලනයට පත්විය. 1602 දී ඔවුන් මෙහි පැමිණි අතර කැලණි ගග අසබඩ පැවැති සීතාවක රාජසිංහයන්ගේ බළකොටුව ඔහුගේ උණකටුව ඇනී සිදුවූ අභාවයත් සමග ලන්දේසීන් අතට පත්විය. පසුව එය අලුත්වැඩියා කර, විවෘත කිරීමට ලන්දේසි ආණ්ඩුකාර වෙස්ටර් වෝල්ඩ් තීරණය කර, කැලණි ගඟ හරහා යද්දි නවගමුව දේවාලයේ තේවාව ඇසී, එහි ළඟා වී ඇත. එවිට තේවාව සිදුකරමින් සිට ඇත්තේ නීලපෙරුමාල් ය. නීලපෙරුමාල් යනු ගජබා රජු පත්තිනි සළඹ රැගෙන එද්දි එය දේවාලයේ තබා එහි කටයුතු බාර දුන් සිරකරුවෙකි. ඒ පරපුර අදත් දේවාලයේ තේවා කටයුතු සිදුකරයි. නීලපෙරුමාල් ආණ්ඩුකාරයාට භය වී තේවාව නතර කළ අතර ඔහුගේ පුතා දිවවිත් ‘සද්දය’ දමා ඇත. නිර්භීත තරුණයා කෙරෙහි පැහැදුනු ආණ්ඩුකාරයා ඔහුව තමා වෙත භාරදෙන මෙන් පියාගෙන් ඉල්ලා ඇත. ඔහුත් සමග කොළඹට එන වෙස්ටර්වොල්ඩ් ආදුරුප්පු වීදියේ පිහිටා තිබූ ඕලන්ද රෙපරමාදු ක්‍රිස්තියානි පල්ලියේදී බෞතීස්ම කොට ක්‍රිස්ටෝපර් ඔබේසේකර ඩයස් බණ්ඩාරනායක නමින් ලංකාවේ පළමු බණ්ඩාරනායක බිහිකර තිබේ.

බණ්ඩාරනායකට ගම්පහ දිස්ත්‍රික්කය භාර දුන් අතර ඔහු ආණ්ඩුවට දැඩි හිතවත් ලෙස එය පාලනය කළා. බදු මුදල් කලට වේලාවට උපයා දුන්නා. කිසිදු ගනුදෙනුවක අබමල් රේණුවක තරම් වැරදීමක් නැති නිසා ආණ්ඩුකාරවරයා එය බණ්ඩාරනායකගෙන් විමසූ විට, ඔහු පවසන්නේ තමාට විශ්වාස නෑ හිතවතුන් සමග මෙය කරන නිසා ගැටලුවක් නැති බවයි. එවිට කී දෙනෙක් ඉන්නවාදැයි ඇසූ ආණ්ඩුකාරයාට බණ්ඩාරනායක දුන් පිළිතුර ‘සීයක්’යනුයි! නෑයන් සීයක් විසින් පාලනය කළ ගම්පහ ඉන් පසු සීනෑ හෙවෙත් සියනෑ කෝරළේ නම් විය. මේ නෑදෑයින් සියලු දෙනා පැරැණි රජු ගෙන ආ සිරකරුවන් වූ අතර ඔවුන් සියලු දෙනාට ආරච්චි තනතුරු ලැබුණි. ඉන්පසු බණ්ඩාරනායකට හිරයක් ලබාගැනීමට ආණ්ඩුව වලව්වක් තනවා දුන් අතර එම වලව්ව අද වතුපිටිවල මූලික රෝහල නොහොත් කොරනේලියා හෙන්රියාටා ඔබේසේකර ආර්යා රෝහල නමින් හැදින්වේ.

1782 දී පමණ රජකළ රාජාධි රාජසිංහ රජුට ලන්දේසීන් වර්තමාන ‘කඩවත’ ආසන්නයේ බලකොටුවක් බඳින බවට ආරංචි වී ඊට සේනාව යැවූයේ දක්ෂ සේනාපතිවරු තිදෙනෙකි. වීරසිංහ, වෙත්තසිංහ සහ තරමසිංහ යන සේනාධිනායකවරු කඩුගන්නාවේ සිට සිය බල සේනාංක රැගෙන ගොස් කඳවුර වටලා තරමසිංහ සේනාපති විසින් පන්දම් හීය අහසට විදි වහාම තුන්පැත්තකින් වටලා පහර දී බලකොටුව විනාශ කර ඇත. ආපසු එද්දි ඔවුන් නවාතැන් ගත්තේ වර්තමාන වේයන්ගොඩ දුම්රිය ස්ථානය අසබඩ ය. ඔවුන්ට කැමති ගමක් තෝරාගන්නට රජු පයිංඩ එවා තිබූ අතර ඔවුන් තෝරාගත්තේ ඔය කියූ බිම්කඩයි. මහනුවරට ළඟා වූ පසු රිදියෙන් නිමකළ සිරිහොටි (කඩු විශේෂයක්) ඔවුන්ට රජු තෑගිදුන් අතර ඔවුන්ගේ ගම ‘රිදී සිරිහොටිය’ ගම විය. එය පසුකාලීනව හිරිපිටිය විය. අදද වේයන්ගොඩ නමින් ග්‍රාමසේවා වසමක් නැත! ඇත්තේ හිරිපිටිය උතුර මැද සහ දකුණ යන වීරසිංහ, වෙත්තසිංහ සහ තරමසිංහ යන අය බෙදාගත් ගම්වරයයි. අද ද එම පරම්පරාවේ අය ඕනෑතරම් මෙහි වාසය කරනු දකින්නට පුළුවන්..

1865 දී කොළඹ – අඹේපුස්ස අතර දුම්රිය මාර්ගය සාදා නිමකළ අතර 1860 දී දුම්රිය මාර්ගය තැනීමේදී කොළඹින් පසු ජලය සපයා ගැනීමේ පහසුම ස්ථානය සුදු ආණ්ඩුව සොයා බැලූ අතර එහිදී හිරිපිටියගම තෝරාගත්තේය. ඔවුන් විසින් කණිනු ලැබූ ළිං පහක් වූ අතර ඒවායින් එකක් අද ද දැකිය හැකිය. අතර කොළඹින් සැතපුම් 22කට පසු අශ්වයින්ට වතුර බීමට අශ්වකෝච්චි නැවතුම තිබූ තැන සහ තානායම වූයේ වර්තමාන වේයන්ගොඩ පොලීසියයි. එහි ලයිට් ඇන්ජිමක් ද සවිකර තිබුණි. එම පෙදෙස පරණ වේයන්ගොඩ නමින් හැදින්විණි. නිට්ටඹුවද ඊට අයත් විය. නුවර පාර වූයේ පරණ වේයන්ගොඩ ය. ගල් අඟුරු එන්ජිමකට සැතපුම් 25 කට පසු ජලය ලබාගැනීම අවැසි බැවින් මෙහි දැවැන්ත ජල ටැංකියක් නිර්මාණය කරන ලද අතර එය දුම්රිය ස්ථානයක ඇති විශාලතම ජල ටැංකිය ලෙස අද ද දකින්නට පුලුවන. මෙම ජල ටැංකිය තැනීමට දෙමටගොඩ මවුන්ට්මේරි සිට ඩක්කුවකින් මෙහි පැමිණෙන සුදු ඉංජිනේරුවන් නැවත සවස තුනට පමණ පිටත්ව යනවා. මෙහි ඉදිකිරීමකට ගෙන ආ වැලි කරත්තයක් ප්‍රමාද වී වැඩබිමට පැමිණෙන අතර, එහිදී ඕවසියර් වරයා පවසන්නේ මෙය නොබා පස් ගොඩක් අසල නවතා හරකුන් ලෙහා දමන ලෙසත්, පසුවදා සුදු මහත්තැන්වලට පෙන්නූ පසු එය බානා ලෙසත් ය. පසුදා නිවාඩු දිනයක් වූ නිසා දින දෙකකට පසු පැමිණ වැලිගොඩට බස්තමෙන් ඇන පරීක්ෂා කරද්දි වේයන් මතුවන්නට වී ඇත. වැලිකරත්තය ම ‘වේ තුඹසක්’ බවට පත්ව තිබී ඇත. වැඩට පැමිණි කම්කරුවන් ‘වේයන් කන්දයි, වේයන් ගොඩයි’ යනුවෙන් කෑගසද්දි එයට සිනහවුනු සුදු මහත්වරුන් මෙය තමා මීට සුදුසුම නම යැයි පවසා ඇත. (පද්මා එදිරිසිංහ මැතිනිය ලියූ ‘සියවස් දෙකක් සිසාරා’ කෘතියේ වේයන්ගොඩ, වේයන්කන්ද නමින් හදුන්වා විස්තර ඉදිරිපත් කර ඇත) එතැන් සිට කොළඹින් පසු ඉදිකළ පළමු ප්‍රධාන නැවතුම්පොළ සහ පළමු දුම්රිය ගමන සිදුකළ නැවතුම්පොළ වේයන්ගොඩ නමින් ලිඛිත ඉතිහාසයට එක්විය.

දෙවැනි ලෝක යුද සමයේ ආයුධ ගබඩා කිරීමට තැනූ විශාල ප්‍රදේශය පසුව යුද්ධයෙන් විනාශ වූ ගුවන් යානාවල සුසාන භූමියක් විය. අද ද එහි ශේෂ කොටස් දැකිය හැකි අතර ගුවන් යානා සැඟවීමට තැනු ‘හැංගර්’ රාශියක් මෙහි දැකිය හැකිය. පසුකාලීනව දකුණු ආසියාවේ විශාලතම දිසා ධාන්‍යාගාරය මෙහි නිර්මාණය කළ ද කාලයත් සමග එය අභාවයට ගිය අතර ගොඩනැගිලි පමණක් ඉතිරි විය. එකල දැවැන්ත මැතිවරණ ආසනයක් වූ වේයන්ගොඩ ආසනය පසුකාලීනව කොටස් වලට කැඩීගොස් ඇති අතර එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා මැතිවරණයට ඉදිරිපත් වූයේ වේයන්ගොඩ ආසනයෙනි.

(කවරයේ ඡායාරූපය ලේඛකයා සතු ය)

Leave comment

Your email address will not be published. Required fields are marked with *.