කිරි දීමෙන් සැනසීම ලැබේ ද?

අජිත් පැරකුම් ජයසිංහ

මෙම සටහන තබන මා ද තරබාරු ය. උසට අනුපාතිකව බර වැඩි ය. උදරය වැඩී ඇත. මගේ රැකියාව ද මෙම තත්වයට හේතු වී තිබේ. මුළු රැකියා කාලය ම පරිගණකයක් ඉදිරිපිට හෝ රැස්වීම්වල වාඩි වී සිටීමට සිදු වී තිබේ. රැකියාවට ඒමට සහ යාමට දවසේ ඉතිරි කාලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වැය වේ. ව්‍යායාමයක් කරන්නට කාලය නැත. මෙම තත්වය ගැන ගැඹුරින් සිතා බලා ඇති මා දැන් රැකියාවේ වෙනසක් සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබේ. ජීවිතය යනු මුදල් නොවේ. හොඳ වැටුපක් දුන් පළියට බෝ නොවන රෝගයකුත් භාරගන්නට අවශ්‍ය නැත. හවසට බයිසිකලයක් පදින්නට, විනෝදාංශයක් වෙනුවෙන් කාලය යොදවන්නට බැරි ජීවිතයක මුදලින් ඵලක් නැත. මම කොළඹින් ආපසු ගමට යන්නෙමි. බහුවිධ වෘත්තීය කුසලතා ඇති පුද්ගලයකු නිසා වයස අවුරුදු 50 පසු වීත් මට මොනවා හෝ කර ජීවත් විය හැකි ය. අනෙක, කලාගාර වැනි ගෙවල් හදන්නට හෝ සුපිරි වාහන මිළ දී ගන්නට හෝ මගේ දරුවන් ලවා ලෝකය අත්පත් කරගන්නට හෝ මට සිහින නැත. ණයත් නැත. බයත් නැත. හැබැයි ඉතින් ලෙඩක් දුකක් වුණොත් මැරෙන්නට වෙන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක අගුවක ය. එය අපේ පොදු උරුමයයි.

මා ගැන මෙම පම්පෝරිය මා ගැසුවේ තරබාරුකම ගැන කතා කරන්නට ය. ඒ සමග ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ කිරි වීදුරුවට මගේ විරෝධය පළ කිරීමට ය.

ළමයින් යනු සංවේදී විෂයකි. ළමයින්ට දෙන කිරි වීදුරුවටත් විරුද්ධ වෙනවා යයි ආඩාපාලි කියන්නට ඔබට පුළුවන. ඇතැම් ළමයින්ට කිරි වීදුරුව මහමෙරක් බව ඇත්ත ය. ළමයින් අතර තෝරාගත් ළමයින්ට පමණක් කිරි දෙන්නට බැරි ය. යම් වයස් කාණ්ඩයක සියලු දෙනාට දිය යුතු ය. ලක්ෂ හයක් පාසල් දරුවන්ට කිරි වීදුරුව ලැබෙන්නේ එහෙයිනි. මගේ දරුවන්ට පෝෂණ ඌනතා නැත. කිරි වීදුරුව ලැබුණු මගේ දරුවා එය පානය කර නිවසින් රැගෙන ගිය එළවළු, පලා, ප්‍රෝටීන් සහිත කැකුළු බත් පෙට්ටිය ආපසු රැගෙනවිත් තිබිණි. අපට තිබෙන ප්‍රශ්නය එයයි.

ළමා මන්දපෝෂණය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ද තිබෙන බව ඇත්ත ය. විශේෂයෙන් ම වතුකරය, නාගරික වතු, පිටිසර ගම් ආශ්‍රිත පාසල්වල එය අධික ය. මන්දපෝෂණය හැමවිට ම ඇති වන්නේ කන්න නැතිකම නිසා ම නොවේ. පහසුවෙන් සොයාගත හැකි පෝෂ්‍යජනක ආහාර කන්නට පිරිය නැතිකම ද එක් හේතුවකි. එයට හේතුව, රූපවාහිනීවලින් සංගක්කාරලා වැනි ජාතික වීරයන් විසින් ප්‍රවර්ධනය කරන ලද දහජරාවයි. අනෙක් කාරණය වන්නේ ටියුෂන් තරගකාරිත්වයයි. පන්තිවලට ළමයින් ඇදගෙන දිවීමට මුල් තැන දී තිබෙන අම්මලාට ළමයින්ට හරියට කන්නට දෙයක් හදා දීමේ වැදගත්කම තේරෙන්නේ නැත.

ළමයින් හරකුන්ගේ කිරි බීම අත්‍යවශ්‍ය නැත. හරක් කිරි තරමක් දුරට ඇබ්බැහිකාරකයකි. පසුගිය සමයේ එක්තරා වෙළඳ දැන්වීමක බේබද්දාගෙන් බිඳගත් කිරිබද්දා යන වචනය යොදාගන්නා ලදී. කිරිබද්දන් හැදීමෙන් අවසානයේදී වාසිය ලැබෙන්නේ කිරිපිටි ආනයන සමාගම්වලට ය. කිරිපිටි කියා කෘත්‍රිම කිරි එවන සමාගම්වලට ය. දේශීය කිරි ගොවියාට ද වාසි තිබෙන්නට පුළුවන. එහෙත්, ලංකාවේ කිරි ගොවිතැන තිබෙන්නේ වර්ධනයක නොවේ. හරකුන්ට කන්නට කියා ගෙනැවිත් බෝ කළ ගිනි ග්‍රාස් අපේ ගම්වල වසංගතයක් වී තිබේ. හරකුන් හැදීමට ඉඩම් නැතිකම, ත්‍රිරෝද රියක් පදවන එක ඊට වඩා පහසු ආදායම් මාර්ගයක් වීම වැනි හේතු මත මේ තණකොළ කන්නට කකුල් හතරේ එක හරකෙකුවත් දැන් අපේ ගමේ නැති බව ඔබ දන්නවා ද?

ශ්‍රී ලංකාවේ තරබාරුකම බරපතල ප්‍රශ්නයකි. එය බෝ නොවන රෝග සමග සම්බන්ධ ය. ළමා ස්ථුලභාවය අනාගත පරම්පරාවල ආයු අපේක්ෂාව ද අඩු කළ හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.

ප්‍රෝටීන් ඌනතා ඇති අයට කිරි බීම නරක නැත. මස් කෑම ඊට වඩා හොඳ ය. ප්‍රෝටීන් යහමින් කන අය අතර පලතුරු, එළවළු කෑම අඩුකම පිළිබඳ ගැටලු තිබේ. ලංකාවේ පලතුරු මිළ ඉතා අධික ය. ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු ද තිබේ.

මේ සියල්ලට ම වඩා පාසල්වල තිබෙන බරපතල ම ගැටලුව දරුවන් ප්‍රමාණවත් තරම් ක්‍රීඩාවට යොමු නොවීමයි. නොගැලපෙන සුදු නිල ඇඳුමේ සිට ම ප්‍රශ්න ඇත. පාසල්වල ක්‍රීඩා පහසුකම් සංවර්ධනය කළ යුතු ය. එසේ ම, ක්‍රීඩා සම්බන්ධයෙන් ගුරුවරුන්ගේ, මව්පියන්ගේ, දරුවන්ගේ ආකල්ප ද සංවර්ධනය කළ යුතු ය.

ලංකාවේ කොළඹ කේන්ද්‍ර කරගෙන ජීවත් වන දේශපාලකයන්, නිලධාරීන්, මාධ්‍යකරුවන්, විද්‍යාර්ථීන්, පර්යේෂකයන්, සිවිල් සමාජය, විප්ලවවාදීන් ආදී බොහෝ දෙනෙකුට මහජනතාව සමග ජීවත් වී ලබාගන්නා සහභාගිත්ව නිරීක්ෂණ පිළිබඳ ගැටලු තිබේ. ඒ නිසා ඔවුන්ට බොහෝ ප්‍රශ්නවල යට තලය ස්පර්ශ වන්නේ නැත. මේ සියලු දෙනා මතුපිට ජනප්‍රියත්වය පසුපස හඹා යන්නේ ඒ නිසා ය. පෝෂණ යට තලය ද සංකීර්ණ ගැටලු රැසකින් සමන්විත ය.

කිරි දීමෙන් සැනසීම ලැබෙන්නේ නැතැයි අප කියන්නේ ඒ නිසා ය.