රංජිත් අමරසිංහ (වසර 40ක අත්දැකීම් ඇති විශ්‍රාමික බැංකුකරුවකු විසින් ලියන ලද ලිපියකි.)

1983 කලු ජූලිය මොන කජ්ජක්ද ?
මෙවැනි ආකල්පයකින් කටයුතු කරමින්, පාස්කු ඉරිදා සිදුවුනු ව්‍යසනය හේතුකොටගෙන ජනතාව ප්‍රකෝප කීරීමට සමහරු “උගතුන්” සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන බව පෙනීයයි.
මොවුන්ගෙන් සමහරු කියනවා දමිල බෙදුම්වාදය 1983 කලූ ජූලියට පෙරත් තිබුනලු. ඔව් , ඒ කතාව ඇත්ත තමයි. නමුත් කලු ජූලියේදී අහිංසක නිරායුද දමිල ජනතාවට විරුද්ධව සාහසික ක්‍රියාවල යෙදුනු අපරාධකරුවන් සහ මංකොල්ලකරුවන් සුලු පිරිසක් නිසා එම බෙදුම්වාදීන්ට ලොකු තල්ලුවක් ලැබුනු බව ඔවුන් කියන්නේ නැහැ. ඒ ගැන මතකය අඩු අය, එය ලඝුකොට සලකන අය සහ එවක ඉපදී නොසිටි හෝ කුඩා ලමුන්ව සිටි අයගේත් අවධානය පිණිස පහත සදහන් කරුනු නැවත ගෙන එනවා.

1. කලු ජූලියේදී සිංහල අපරාධකරුවන් සුලුතරයක්ගේ තාඩන පීඩන වලට ලක්වූ LTTE එක සමග කිසිම සම්බන්ධකමක් නොතිබුනු දමිල ජනතාවගෙන් විශාල පිරිසක් තම ආරක්ශකයා වශයෙන් සලකා එම සංවිධානය වටා එකතු වීම.
2. ඉන්දියාවට පලාගිය දමිල තරුනයන් ඉන්දීය රජයේ අනුදැනුම මත RAW සංවිධානය මගින් ඉන්දියාවේ කැලෑබද කඳවුරු කිහිපයකදී ආයුධ පුහුනුව ලබා අප හමුදාවට පහරදීමට සහ කඩාකප්පල් වැඩ කිරීම පිනිස දිවයිනට එවීම.
3. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිංහලයන් සමග සහජීවනයෙන් කල්ගත කල දමිල ජනතාව ඔවුනට කල හිරිහැර නිසා ප්‍රථමව, උතුරට පලා ගියහ. ඉන්පසු ඔවුන් බොහෝමයකට ඉන්දියාවටත් බටහිර රටවලටත් සරනාගතයන් වශයෙන් ඇතුලුවීමට අවසර ලැබිනි.
4. එම රටවලදී රැස්කර ගත් අරමුදල් LTTE හිතවාදීන් විසින් ආයුධ මිලට ගැනීම සහ යුද කටයුතු සදහා යෙදවීම නිසා වැඩි කල් යාමට පෙර මුල් අවධියේ 100 ක් පමන වූ ත්‍රස්ත කල්ලියක් ලොව බලවත්ම සහ කෲරතම ත්‍රස්තවාදී සංවිධානය බවට පත්විය.
5. එහි ප්‍රතිපලයක් ලෙස අවුරුදු 30 කට ආසන්න ත්‍රස්තවාදී යුද්ධයකට පැටලීමට අපගේ හමුදාවලට සිදුවිය. 30,000 කට අදික හමුදා භට පිරිස් වලට ජීවිත අකාලයේ අහිමිවූ අතර ඒ අතර, මේජර් ජනරාල් කොබ්බෑකඩුව, බ්‍රිගේඩියර් වරුන්වූ විජය විමලරත්න, පාරමී කුලතුංග, ලලිත් විජේරත්න වැනි වටිනා හමුදා නයකයන් විශාල පිරිසක්ද වූහ.
6. එක් වකවානුවකදී තරුනයන් යුදහමුදාවලට බැදීමට මැලිවීම නිසා හමුදා පිරිස් අංශයේ නිලධාරීන්ට නව භටයන් බදවා ගැනීම පිනිස ගම් නියම් ගම් පිරීමට සිදුවිය. නගරවල සිට අහිංසක නිරායුධ දමිල වැසියන්ට ඇගේ හයි හත්තිය පෙන්වූ චන්ඩි රට වෙනුවෙන් සටන් කිරීමට හමුදාවලට බැදුනේ නැත. ඒ සදහා තම දරුවන් දායක කිරීමට සිදුවූයේ අපගේ ගැමි දුගී දෙමවුපියන්ටය.
7. යුද බිමේදී මියගිය භටයන්ට සමාන හෝ ඊට ආසන්න සාමාන්‍ය පුරවැසියන් සංඛ්‍යාවක් ත්‍රස්තවාදී ප්‍රහාර වලට ගොදුරුවූ අතර, පාස්කු ඉරිදා සිදු කල බෝම්බ පිපිරවීම් වලට වඩා දරුනු ඒවාට අවුරුදු ගනනාවක්ම මුහුන දීමට සිදුවිය.
8. LTTE ඉලක්ක වලට ගොදුරුව ජීවිත අහිමිවූ සිංහල දේශපාලන නායකයන් අතර ආර්. ප්‍රේමදාස, ගාමිනී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි ද, දමිල නායකයන් අතර, අමිර්තලිංගම්, ලක්ශ්මන් කදිරගාමර්, නීලන් තිරුචෙල්වම් වැන්නවුන් ද වූහ.
9. ඉන්දියානු හමුදාවලට මෙරටට සාම සාධක කටයුතු නාමයෙන් ඇතුලුවීමට අවකාශ ලැබුනු අතර ඉන්දීය අගමැති රාජීව් ගාන්ධි ඝාතනය කල LTTE බෝම්බකාරිය, ලංකාවේදී ඉන්දීය හමුදා භටයන් අතින් දූශනය වූ අයෙක් බවට වාර්තා පලවිය. විදේශ හමුදාවක් අතින් පෙලීමට ලක්වූ බොහෝ පිරිස් සිටියහ.
10. අපගේ හමුදා භාරයේ සිටි තිලීපන් නම් LTTE නායකයෙකු නිරාහාරව සිට මිය යාම නිසා ප්‍රකෝප වූ දමිල ත්‍රස්ත පිරිස්, ඉන්දීය සාම සාධක හමුදා බලා සිටියදිම, ත්‍රීකුනාමලය සහ අවට ගම්මාන වල පරම්පරා ගනනාවක් පදිංචිව සිටි සිංහල ජනතාවට ප්‍රහාර එල්ල කර පලවා හැරියහ. සමහරුන් ප්‍රහාර නිසා මියගිය අතර අන් අයගෙන් සෑහෙන පිරිසක් සාමය උදාවූ පසුවත් නැවත එම ප්‍රදේශවල පදිංචියට නොගියහ.
11. තවද, දමිල කිතුනු ජනතවට වූ හිරිහැර ගැන ලංකාව සමග උරන වූ බටහිර රටවල් අප රටට ලබාදුන් අධාර මුදල් ක්‍රම ක්‍රමයෙන් අඩුකර නවතා දැමීම නිසා අහයපත් ආර්ථික වතාවරණය උග්‍රවිය.
12. සංචාරකයන් දිවයිනට ඒම අඩුවූ නිසා එම කර්මාන්තය විශාල පසු බෑමකට ලක්වූ අතර එයින් යැපුනු විශාල පිරිසකගේ ජීවන තත්වයට අහිතකර බලපෑමක් එල්ල කලේය.
13. අර්බූදය නිසා විදේශ රටවලට සංක්‍රමනයවූ අති විශාල දමිල ජනතාව මෙරට සිටින නෑදෑයන් ගේ ආර්ථිකය ශක්තිමත් කල අතර කොලඹ වැල්ලවත්ත, දෙහිවල හා අවට ප්‍රදේශවල ඉදිවන නිවාස සංකිර්න වල නිවාස හිමිකරුවන් වන විට ඒදෙස හූල්ලමින් බලා සිටීමට සිංහල ජනතාවට සිදුවිය.

වාර්ගික කලබල

මෙයින් සමහර කරුනු ප්‍රසිද්ධියේ පල කිරීම නොකලයුතු වුවත් ප්‍රකෝපකාරීන් නිරතුරුව ජනතාව නොමග යැවීමට කරන උත්සාහයන් නිසා එම කරුනු ද සඳහන් නොකර බැරිය.

රට තුල දමිල පුරවැසියන්ට විරුද්ධව ප්‍රචන්ඩකාරීන් මෙහෙයවූ අය අතර රජයේ ප්‍රබල ඇමතිවරයෙක් සහ ඔහුගේ අනුගාමිකයන් සිටි බවට වාර්තා ජාත්‍යන්තර මාධ්‍යවල පලවීමත් සමගම, එම අපකීර්තිය අන් පාර්ශවයනට පැවරීම පිනිස JR ජයවර්ධන ජනාධිපතිවරයා තවත් සාපරාධී ක්‍රියාවකට යොමුවිය. ඒ වර්ගවාදී ප්‍රහාරවල වගකීම JVP ඇතුලු වාමවාදී පක්ෂ කිහිපයකට පවරා එම පක්ශ තහනම් කර ඒවායේ නායකයන් අත්අඩංගුවට ගැනීමට නියම කිරීමයි. එම මුග්ධ තීරනයේ අවසන් ප්‍රතිපලය වූයේ රජයේ මර්දනයට සහ ඉන්දීය හමුදා රට තුල සිටීමට විරුද්ධව ආයුධ අතට ගත් සිංහල තරුනයන් 60,000ක් පමන රජයේ හමුදා සහ නිල නොවන ඝාතක කන්ඩායම් විසින් කෲරතර ලෙස මරා දැමීමයි. ලංකා ඉතිහාසයේ සිදුවී ඇති මෙම මහා තරුන සංහාරයද, 83 කලු ජූලියේදී වීදී බැස දේශප්‍රේමී ලේබලයට මුවාවී අහිංසක දමිල ම්නිසුන් මරා, තලා පෙලා ඔවුන්ගේ දේපොල මංකොල්ල කා, ගිනිතබා විනාශ කල අදූරදර්ශි සුලු පිරිසකගේ අමන ක්‍රියා වල අතුරු ප්‍රතිපලයකි.

1983 කලු ජූලිය නිසා නැතිවූ මිනිස් ජීවිත වලට අමතරව, මෙරටට ආර්ථික සමාජයීය හා අන්තර්ජාතික වශයෙන් සිදුවූ විශාල හානිය ලඝු කරන්නන් සහ පාස්කු ඉරිදා සිදුවුනු අන්තවාදී ප්‍රහාරය නිසා ප්‍රකෝප කිරීම් වලට උඩ ගෙඩි දෙන අය ඇත්ත වශයෙන්ම දේශප්‍රේමීන්ද එසේ නැතහොත් අන්ධභාවයෙන් තමුන් අදහන දේශපාලකයන්ගේ න්‍යාය පත්තරවලට ආවඩන පුද්ගලයන්දැයි විමසා බැලිය යුතුය.

පොලිසියේ සහ හමුදා වල සේවයේ නියුතු සෑම දෙනාම කලහකාරින්ට සහ කඩාකප්පල්කාරීන්ට කිසි විටෙකත් ඉඩ නොදිය යුත්තේ ඉහත දැක්වූ පරිදි එවන් වාතාවරණයක් ඇතිවිය හොත් වීදී බැස චන්ඩිකම් කරන කිසිවෙකු ඔවුන් හා තනි රැකීමට වත් බංකරයකට ගොඩ නොවෙන නිසයි. තම බිරින්දන්, ලමා ලපටින් සහ දෙමාපියන් දැක ගැනීමට නොහැකිව හමුදා කදවුරු තුල මාස ගනන් හිරවී සිටීමට සිදුවනු නිසයි.

(ලේඛකයාගේ න,ණ,ල‍,ළ ප්‍රතිපත්තියට ගරු කරමින් ලිපියෙහි අක්ෂර වින්‍යාසය ඒ අයුරින් ම තැබූ බව කරුණාවෙන් සලකන්න.)

Leave comment

Your email address will not be published. Required fields are marked with *.