අජිත් පැරකුම් ජයසිංහ

නීති විරෝධී අන්දමින් වත්කම් උපයා ගත්තේ ය යන චෝදනාව මත පසුගිය මැයි 24දා අත්අඩංගුවට ගෙන රඳවා තබා තිබෙන කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සේගු සියාබ්දීන් මොහොමඩ් ශාෆිගේ බිරිඳ වන එම රෝහලේ ම වෛද්‍ය නිලධාරිනියක වන එම්.එන්.එෆ් ඉමාරා සිය සැමියාගේ මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Sinhala Tamil English Translations and Content Writing

මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවක් හේතුවෙන් ඔහුගේත්, බිරිඳගේත්, කුරුණෑගල ජනප්‍රිය පාසල්වල ඉගෙනුම ලබන ඔහුගේ දරුවන් තිදෙනාගේත් ජීවිතවලට තර්ජනයක් ඇති බවට පැමිණිලි කිරීමට සූදානම් වෙමින් සිටියදී ය.

මෙම වෛද්‍යවරයා ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරයකු නොවන අතර සීසේරියන් සැත්කම් සිදුවන්නේ ඔහුගේ වගකීම යටතේ නොවේ. ඔහු එවැනි විශේෂඥ වෛද්‍යවරයකු යටතේ සේවය කරන්නෙකි. එමෙන් ම, එවැනි ශල්‍ය කර්මයකදී, නිර්වින්දන වෛද්‍යවරයකු ඇතුළුව හයදෙනෙකු පමණ සහභාගි වේ. අත්අඩංගුවට ගන්නා සමය වන විට වෛද්‍ය ශාෆි සේවය කර ඇත්තේ පතිනිසේකර නම් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු යටතේ ය.

එහෙත්, මැයි 23දා දිවයින පුවත්පත සහ තවත් මාධ්‍ය විසින් වෛද්‍ය ශාෆි කාන්තාවන්ගේ අකැමැත්ත පිට වඳ සැත්කම් කළ බවට චෝදනාවක් එල්ල කරන ලදී.

එහෙත්, කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර විසින් වෛද්‍ය ශාෆිට පමණක් එරෙහිව පැමිණිලි තිබේ නම් ඉදිරිපත් කරන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කළ අතර එයට ජාතිවාදී නැඹුරුවක් සහිත මාධ්‍ය විසින් පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලදී. මෙය නීති විරෝධී ක්‍රියාවක් වන අතර ඉතා පැහැදිලි මානව හිමිකම් උල්ලංඝනයකි. මෙමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තිය යටතේ වන සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම සහ 13 වගන්තිය යටතේ වන අන්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් සහ දඬුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම යන මානව හිමිකම් උල්ලංඝනය වේ.

මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම හා සම්බන්ධ කටයුතු සිදු කළ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ බිරිඳ ද කුරුණෑගල රෝහලේ වෛද්‍යවරියක වන අතර, එම රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර සිංහල ජාතිවාදී දේශපාලන පක්ෂ සමග සම්බන්ධකම් ඇති අයෙකු බව ද වාර්තා විය.

වෛද්‍ය වීරබණ්ඩාර ඩේලි මිරර් පුවත්පතට අපූරු ප්‍රකාශයක් සිදු කර තිබේ. ඔහු පවසන පරිදි වඳසැත්කම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම වෛද්‍ය ශාෆි මගින් සීසේරියන් සැත්කම්වලට මුහුණ දුන් ශල්‍ය කර්මයෙන් පසු තවමත් ගැබ් නොගත් කාන්තාවන්ට සහනයක් වී තිබේ. පැමිණිලි කිරීමෙන් පසු ඔවුන්ට තවදුරටත් තම සැමියන්ගෙන් සහ නැන්දම්මලාගෙන් පීඩනයක් එල්ල නොවන බව කාන්තාවන් ගණනාවක් ම ඔහුට කී බව ඔහු ඩේලි මිරර් පුවත්පතට පවසා තිබේ. මෙම ප්‍රකාශය නිසි අවධානයකට ලක් නොවී තිබෙන මුත් එය බරපතල වගකීම් විරහිත ප්‍රකාශයකි.

වෛද්‍ය ශාෆි කාන්තාවන්ගේ අනුමැතිය නොමැතිව වඳ සැත්කම් කරන බවට නිර්වින්දන වෛද්‍යවරයකුගෙන් පැමිණිල්ලක් ලැබුණු බව වීරබණ්ඩාර පැවසුව ද, වෛද්‍ය ශාෆි ඉල්ලීමක් කර තිබියදී පවා රෝහල් අධ්‍යක්ෂවරයා විසින් විමර්ශනයක් පවත්වා නැති බව වාර්තා වේ.

වෛද්‍ය ශාෆි අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු නීත්‍යානුකූලව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු වෙත ඉදිරිපත් කළ යුතු විය. එහෙත්, ඒ මොහොතේ රාජකාරියට අදාළව කැඳවුමක් ලැබුණොත් සේවය කිරීමට නියමිත ඔන්කෝල් අධිකරණ වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙකු සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයා විසින් වෛද්‍ය ශාෆි වෙනුවෙන් කැඳවා තිබෙන්නේ ඒ මොහොතේ රාජකාරියට අදාළ නොවන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකි.

මේ වන විට වෛද්‍ය ශාෆිගේ බිරිඳ අනාරක්ෂිත තත්වය නිසා සේවයට වාර්තා නොකරන අතර ඔවුන්ගේ දරුවන් පාසල් යන්නේ ද නැති බව වාර්තා වේ.

වඳ සැත්කම් පිළිබඳ ආන්දෝලනය සමයේ එයට මැදිහත් වූ රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වන චන්න ජයසුමන සහ තවත් වෛද්‍යවරුන් විසින් වැරදි තොරතුරු රැසක් පතුරුවා හරින ලදී. ඒ අතර ඉතා වැදගත් කරුණක් වන්නේ සීසේරියන් සැත්කමක් අතරතුරදී හෙදියකට පවා පැලෝපීය නාලයට හානි කළ හැකි බවයි. එහෙත්, ඒ පිළිබඳව
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අංශයේ ප්‍රධානියා වන මහාචාර්ය හේමන්ත සේනානායක පවසන්නේ වෙනස් මතයකි.

මහාචාර්යවරයා ඩේලි මිරර් පුවත්පත සමග පැවැත්වුණ සම්මුඛ සාකච්ඡාවකදී පෙන්වා දෙන පරිදි පැලෝපීය නාල සීසේරියන් සැත්කමකදී සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන්නේ නැත. එය දැක ගැනීමට නම් තුවාලය හරහා උදරය තුළට තවත් අත දැමිය යුතු ය.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දැක්වූ ප්‍රතිචාරත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් අනියමින් පවසන කරුණුත්, රෝගීන්ගේ අත්දැකීමුත් සැලකිල්ලට ගත් විට සෑම ආකාරයක ම වෛද්‍යවරුන් අතර නොසැලකිල්ල හා ආචාරධර්ම විරෝධී ක්‍රියා සුලබ බව පෙනේ. වෛද්‍ය ශාෆිගේ සිද්ධිය සමග වෛද්‍ය ක්ෂේත්‍රය ගැන ගොඩනැගෙමින් පවතින අවිශ්වාසයට පදනමක් නැතැයි කීම දුෂ්කර ය.

එහෙත්, කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාරධර්ම විවරණ කමිටුවේ ද සභාපතිවරයා වන, ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාලයේ හිටපු සභාපති ද වන මහාචාර්ය හේමන්ත සේනානායක පෙන්වා දෙන පරිදි ජනතාව අවධානය යොමු කළ යුතු වන්නේ තහවුරු වූ කරුණුවලට මිස ආවේගවලට හෝ ඕපාදූපවලට නොවේ.

ඔහු පවසන පරිදි සත්‍යය සොයාගැනීමට අපක්ෂපාතී, විනිවිද පෙනෙනසුළු විමර්ශනයක් ඉක්මණින් කළ යුතු අතර එහි පමාවක් සිදු වුවහොත් එය ශ්‍රී ලංකාව මාතෘ සෞඛ්‍ය සේවා පැත්තෙන් ලබා තිබෙන ජයග්‍රහණවලට දැඩි ලෙස බලපානු ඇත.

මෙම වෛද්‍යවරයාගේ හිමිකම් වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙනී සිටින්නේ නැත. මෙවැනි ජාතිවාදී කටයුතු නිසා දේශපාලන පක්ෂ පමණක් නොව වෘත්තීය සමිති පවා ඉදිරි කාලයේදී ජාතිභේදවාදී ලෙස පිහිටුවාගැනීමේ අවදානමක් තිබේ.

මහාචාර්ය හේමන්ත සේනානායක විසින් ද පෙන්වා දෙන ලද ඉතා වැදගත් කරුණක් තිබේ. එනම්, මෙම ප්‍රශ්නය නිසා ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙන මාතෘ සෞඛ්‍ය ජයග්‍රහණවලට බාධා ඇති විය හැකි ය.

1960 වන විට ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතිකය දරු උපත් ලක්ෂයකට 340ක් තරම් ඉහළ අගයක් විය.  එයින් අදහස් වන්නේ දරුවන් ලක්ෂයක් ඉපදෙන විට මව්වරුන් 340ක් මිය ගිය බවයි.

ශ්‍රී ලංකාවේ වින්නඹුවන් පුහුණු කිරීම ආරම්භ වුණේ යටත් විජිත පාලන සමය තුළදී 19වන සියවසේ අග හරියේදී ය. එතැන් සිට ලංකාවේ මාතෘ සෞඛ්‍ය අංශයේ සිදු වී තිබෙන සංවර්ධනයේ තරම අපට වාර්ෂික මාතෘ මරණ වාර්තාව ඇසුරින් වටහා ගත හැකි ය.

2016 වන විට ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතිකය දරු උපත් ලක්ෂයකට 33.8ක් විය. වර්තමානයේ එය දකුණු ආසියාවේ අඩු ම මාතෘ මරණ අනුපාතිකයයි. වර්තමානය වන විට ලංකාවේ 100%ක් පමණ මව්වරුන්ගේ දරු උපත් සිදුවන්නේ වෛද්‍ය පහසුකම් තිබෙන ස්ථානයක ය. 99%ක් මව්වරුන්ට වෘත්තීය සේවා සම්පාදකයකුගෙන් පූර්ව ප‍්‍රසව සහ පශ්චාත් ප‍්‍රසව සත්කාර ලැබේ.

අද අප මුහුණ දෙන අභියෝගය වන්නේ ජාතිවාදය නිසා අප මෙකී ජාතික ජයග්‍රහණ පවා අත්හැර දමනවා ද යන්නයි.

1 thought on “ඕපාදූප, ආවේග, ඉරිසියාව හා ජාතිවාදය නිසා රටේ මාතෘ සෞඛ්‍යය අනතුරේ හෙළමු ද?

Leave comment

Your email address will not be published. Required fields are marked with *.