උපුල් කුමාරප්පෙරුම (ඉංග්‍රීසි බසින් කියවන්න >>)

මෙය සිදුවන්නේ මා තුනේ හෝ හතරේ පන්තියේ ඉගෙන ගන්නා කාලයේදී ය. අපගේ ක්‍රීඩා භාර ගුරුතුමා ධනපාල මහතාය. ඔහු සැර පරුෂ ගුරුවරයෙකි. ඔහුගෙන් එකල දරුවන් වූ අප වැසිකිළියට යාමට හෝ අවසර පතන්නේ නැත. ඒ තරමටම අපි ඔහුට බියක් දැක්වූයෙමු.

Sinhala Tamil English Translations and Content Writing

මේ කාලයේ තාත්තා රැකියාව කළේ අම්පාරේ ය. අම්පාර චඩයන්තලාව මහා විද්‍යාලය නම් පාසලකයි. එය කොහේ තිබෙනවාද කියා මා අදටත් දන්නේ නැත. තාත්තා කියන්නේ මාතර සිට පාසලට යෑමට පැය දොළහකට වඩා කාලයක් ගතවන බවයි.

තාත්තා ගෙදර එන්නේ මාසයකට සැරයක් පමණි. මාස දෙකකට, මාස එකහමාරකට වගේ කාලයකට සැරයක් තාත්තා ගෙදර පැමිණි අවස්ථා ද ඇත. එසේ පැමිණියහොත් සතියක් පමණ කාලයක් තාත්තා ගෙදර හිඳියි. නැතහොත් දවස් දෙකෙන් තුනෙන් ඔහු නැවත අම්පාරේ යයි.

මේ කියන දවසේ උදෑසන අප පන්තිය පාසලේ ක්‍රීඩා පිටියේ සරඹ කරමින් සිටිය හ. අප පාසල අද්දරින් දිවෙන මාර්ගය අප නිවස දෙසට යන මාර්ගයයි. තාත්තා ගෙදරවිත් නැවත අම්පාරේ යන දවස එදා ය. තාත්තා ගෙදරින් පිටවන්නේ අප පාසල් ගිය පසු ය. ඒ මාතර සිට උදෑසන නවයහමාරට පිටත්වන බස් රථයෙන් අම්පාරේ යෑමටය.

අප ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරද්දී ධනපාල මහතා අප අසලින්ම සිටියේ ය. ඔහු අප සෙල්ලම් කළ යුතු සීමාව ලකුණු කොට ඇත. කිසිම හේතුවක් මත අපට පාසල් ගේට්ටුව අසලට හෝ තාප්පය අසලට යාම තහනම් කොට තිබිණි. ඒ, අසල පෙට්ටි කඩයෙන් කඩචෝරු කෑම වැළැක්වීමටයි.

සෙල්ලම් කරමින් සිටිද්දී හදිසියේම තාත්තා පාරේ යමින් සිටිනු මම දුටුවෙමි. තාත්තා යන්නේ අම්පාරේ ය. තාත්තා හැඳ සිටි කමීසය මට තවමත් මතක ය. එය ලා නිල් පැහැති ය. තාත්තා අත එකල රජයේ සේවකයන් පාවිච්චි කල හම් බෑගය වූයේ ය. මට තාත්තාට කතා කතා කරන්නට ඕනෑ ය. එවැනි තැනකදී තාත්තාගේ හැසිරීම හාත්පසින්ම වෙනස් වෙයි. ඔහු ප්‍රකාශිතව ආදරය පෙන්වයි. මම තාත්තා යන දෙස බලා සිටියෙමි. තව සුළු මොහොතකින් තාත්තා මගේ ඇස් මායිමෙන් නොපෙනී යයි. මම ධනපාල මහතා ළඟට ගියෙමි. තාත්තා දෙස බලාගෙන තාත්තා පෙන්වා ඔහුට කතා කරන්නට උත්සාහ කළ ද ඔහුට ඇති බිය නිසා එකදු වචනයක් හෝ පිට වූයේ නැත. තාත්තා මගේ ඇස් මායිමෙන් නොපෙනී ගිය පසු මට මහත් වේදනාවක් දැනුනේ ය. මම හැඬුවෙමි. අද ද මා ඒ ගැන දුක්වෙමි. අනන්ත වාරයක් මිතුරනට මේ ගැන කියා ඇත්තෙමි.

තාත්තාගේ මරණයෙන් පසු තාත්තා වෙනුවෙන් සොහොන් කොතක් අනවශ්‍ය යැයි තාත්තා කියා තිබුණේ ය. තාත්තාට අවශ්‍ය වූයේ ඔහුගේ භෂ්මාවශේෂයන් නිල්වලා ඟඟෙහි පාකර හරින්නට ය. තාත්තාගේ එකම ඉල්ලීම ද එය වූයේ ය. තාත්තාගේ දේහය ආදාහනය කළ දිනට පසු දින මමත් මල්ලිලා දෙදෙනාත් තාත්තාගේ භෂ්මාවශේෂ ලබා ගැනීමට මාතර කනත්තට ගියෙමු. චන්දන වීරමන් සහෘදයා ද අපට එක්විය. තාත්තාගේ අළු බඳුන මාගේ උකුල මත තබාගෙන අප බන්ඩත්තර ප්‍රදේශයට ගියෙමු. නිල්වලා ඟඟට ලෙහෙසියෙන් බැසිය හැකි තැනකින් අපි ඟඟට බැස්සෙමු. චන්දන සහෘදයා අලු බඳුනේ සිදුරක් සෑදීය. එය චාරිත්‍රයෙකි. මම සීරුවෙන් අළු බඳුන ඟං දිය මත තැබුවෙමි. අළු බඳුන අප ඉදිරියෙන් අඩි කිහිපයක් පාවී ගියේය. අප සිව්දෙනා බලා සිටියදීම එය එකවර දියෙහි ගිලී නොපෙනී ගියේ භෞතිකව තාත්තා ගැන තිබිය හැකි වූ එකම සිහිවටනය ද අහිමි කරමිනි. අපි එදා හැඬුවෙමු. බොහෝ වේලාවක් හැඬුවෙමු.

මා කුඩා කල අත්විඳි ඒ සිද්ධිය සහ පසු අවස්ථාව යන අවස්ථා දෙකම විශාල කම්පනයක් මා සිතෙහි ඇති කලේය. තාත්තාට එදා කතා කරන්නට නොහැකි වීම ගැන මම අද ද දුක්වෙමි. එසේම තාත්තාගේ අළු බඳුන එදා නිල්වලා නදියෙහි ගං පතුලෙහි සැඟව ගිය දර්ශනය මතකයට එන සෑම අවස්ථාවක් පාසා තාත්තා සම්බන්ධයෙන් අවසාන සිහිවටනය නිල්වලා නදියෙහි පතුලේ සැඟව ඇතැයි යන වේදනාත්මක සිතිවිල්ලකින් හදවත වෙලී යන්නේ ය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.