ප්‍රාථමික දරුවන්ට ඉංග්‍රීසියෙන් ඉගැන්වීමේ යෝග්‍ය අයෝග්‍යභාවය පිළිබඳ සංවාදයක් මතු වී තිබේ. අතුරලියේ රතන හිමියන් විසින් පවත්වන ලද කතාවක් නිසා මතු වූ මෙම සංවාදය ලංකාවේ අධ්‍යාපන ගැටලු කෙරෙහි අවධානය යොමු කරන්නට අනගි අවස්ථාවක් සපයයි. රතන හිමියන් පැවසූ ප්‍රධාන කරුණක් වන්නේ යම් දරුවකුට මව්බසින් ඉගැන්වූයේ නැතිනම් එම දරුවා එම රටේ පුරවැසියකු නොවන බවයි. මව් බස නොවන වෙනත් බසකින් දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපනය ලබා දෙන, වෙනත් කිසිම රටක නැති සංකල්පයක් ලංකාව ක්‍රියාත්මක කරමින් සිටින බව එ් හා සම්බන්ධ ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවේ පළ වී තිබිණි.

එම වාර්තාව පවා ලියා ඇති ඉංග්‍රීසි බස ගැටලු සහගත ය. එහි තිබෙන්නේ මෙසේ ය: “Speaking during the committee stage on the budget in parliament, the Venerable Thera said Sri Lanka is currently following a concept which is not followed in any other country of providing primary education in another language other than the child’s mother tongue.”

මෙම වාක්‍යය ලියා ඇති ඉංග්‍රීසිය අව්‍යක්ත ය. එසේ ම, එහි ව්‍යාකරණ ගැටලු ද තිබේ. එහි තිබෙන්නේ රතන හිමියන්ගේ කතාවේ ඍජු පරිවර්තනයක් බව පෙනේ. ඇතැම් විට එහි ලියැවී තිබෙන්නේ කියූ දේට වඩා වෙනස් අදහසක් වන්නට ද පුළුවන. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි පුවත්පත්වල භාෂාව සම්බන්ධයෙන් මෙවැනි ගැටලු ඕනෑ තරම් පෙන්වා දිය හැකි ය. ලංකාවේ ඉංග්‍රීසි පුවත්පත් ඉංග්‍රීසි බස හැසිරවීමේ මනා හැකියාවකින් යුත් පුවත්පත් කලාවේදීන්ගේ හිඟයකට මුහුණ දී සිටියි. එසේම, සිංහල බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නන් ද හිඟ ය.

මෙම තත්වය පාසල්වල ද තිබේ. ඉංග්‍රීසි බස මැනවින් හැසිරවිය හැකි ගුරුවරුන් අපට අඩු ය. විශේෂයෙන් ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් ඉගැන්වීමේදී ඉංග්‍රීසි බසින් හොඳින් සන්නිවේදනය කළ හැකි ගුරුවරුන්ගේ හිඟය තදින් දැනේ. ජාත්‍යන්තර යයි කියන පාසල්වල ද මෙම ප්‍රශ්නය තිබේ. එහෙත්, ඉංග්‍රීසි බසට ප්‍රමුඛත්වය දෙන පාසල්වල ඉගෙන ගන්නා දරුවන් පහසුවෙන් එම භාෂාව ග්‍රහණය කරගන්නා බව පෙනේ.

මේ අතරතුර, විශේෂයෙන් ම ජාත්‍යන්තර පාසල්වලින් ඉංග්‍රීසි මූලික කරගත් අධ්‍යාපනයක් ලබා පිට වන අලුත් පරම්පරාවක් බිහි වී තිබේ. භාෂා ඥානය අතින් මෙම පරපුර ඉදිරියෙන් සිටියි. කුඩා කල සිට ඉංග්‍රීසි බසින් කතා කිරීම නිසා ඔවුන්ට චතුර ලෙස ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව තිබේ.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශ කිසිවක් ඉංග්‍රීසි බසින් ප්‍රාථමික අධ්‍යාපනය ලබා දීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ නැත. ලංකාවේ මා දන්නා තරමින් ඉංග්‍රීසි බසින් පළමු ශ්‍රේණියේ සිට අධ්‍යාපනය ලබා දෙන රජයේ පාසල් ඇත්තේ එකක් පමණි. එය පවා එතරම් ඉහළ පෙළේ පාසලක් නොවේ. රිචඩ් පතිරණ අධ්‍යාපන ඇමතිවරයා විසින් ගොඩනගන ලද අලුත් පාසලක් වන, අක්මීමන ආසනයේ පිහිටි ලබුදූව සිරිධම්ම විද්‍යාලයයි. එහි ද එකී අධ්‍යාපනය ලබා දෙන්නේ රජයේ අවසරයෙන් හෝ අනුග්‍ර‍හයෙන් හෝ තොරව ය. ඒ සම්බන්ධ ගැටලු රැසක් ඇති වූ මුත්, ආදි ශිෂ්‍ය මාෆියාව හේතුවෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට එය නැවැත්වීමට බැරි විය.

අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රාථමික සිසුන් සඳහා ඉංග්‍රීසි බසින් පෙළපොත් සම්පාදනය කරන්නේ විෂයක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීමට පමණි. ඉංග්‍රීසි පෙළපොත් ද ඇත්තේ තුන්වන ශ්‍රේණියේ සිට ය. ඒවා ද සැලසුම් කර තිබෙන්නේ ඉංග්‍රීසි දෙවන බසක් ලෙස ඉගැන්වීමට මිස මව්බස ලෙස ඉගැන්වීමට නොවේ.

ප්‍රාථමික අධ්‍යාපනය මව්බසින් ලබාදීමේ වැදගත්කම යුනෙස්කෝ සංවිධානය විසින් අවධාරණය කරනු ලබන්නේ 1950 දශකයේ සිට ය. ඒ සම්බන්ධ අධ්‍යයන වාර්තා රැසක් පළ වී තිබේ. ප්‍රාථමික අධ්‍යාපනය මව්බස නොවන විදෙස් බසකින් ලබා දීම යහපත් දෙයකැයි අවධාරණය කරන අධ්‍යයන ලොව නැත.

මෙහිදී මව්බස කුමක් ද යන්න ද වැදගත් ය. ප්‍රාථමික පාසල් දරුවකුට අදාළව නම් එය එම දරුවා මව් ඇකයේ සිට කතා කරන භාෂාව ය. එය වනාහි “නෝටි, බේබි, ගුඩ්, බෑඩ්” වැනි සීමිත ඉංග්‍රීසි වචන සංඛ්‍යාවක් සමග වෙනත් බසකින් කතා කිරීම නොවේ. මව්පියන් නිවසේදී කතා කරන ප්‍ර‍ධාන භාෂාව ඉංග්‍රීසි විය යුතු ය. එය භාෂාවේ මූලික ව්‍යාකරණ දරුවන්ට නිතැතින් ම ග්‍ර‍හණය වන තරමේ භාවිතාවක් විය යුතු ය.

ඒ අන්දමින් ඉංග්‍රීසි මව්බස වන ළමයින් සිටිය හැකි ය. එසේ වීම එම දරුවන්ගේ වරදක් නොවේ. මව්පියන් එකිනෙකට වෙනස් භාෂා සංස්කෘතීන්ට අයිති වන නිසා, මව හෝ පියා හෝ විදේශිකයකු වන නිසා වැනි හේතු මත එවැනි තත්වයන් ඇති විය හැකි ය. එසේම, වර්තමානයේදී ඇතැම් මව්පියන් නිවසේදී ඉංග්‍රීසි කතා කරමින් කෘත්‍රිමව දරුවන්ගේ මව්බස ඉංග්‍රීසි බවට පත් කරති. එය ද දරුවන්ගේ වරදක් නොවේ. එසේ ම, තමන් කැමති භාෂාවකින් කතා කිරීම මූලික මානව හිමිකමකි. මේ කුමන හෝ හේතුවක් මත ඉංග්‍රීසි මව්බස වන දරුවන්ට ලංකාවේ රජයේ දැනට පවතින අධ්‍යාපන ප්‍ර‍තිපත්තිය හේතුවෙන් අසාධාරණයක් සිදු වන බව පිළිගත යුතු ය.

රජයේ පාසල්වල භාෂා මාධ්‍යය සම්පූර්ණයෙන් ම සිංහල සහ දෙමළ බවට පත් කරනු ලැබුවේ 1956 බණ්ඩාරනායක රජය විසිනි. 1940 දශකයේදී කන්නන්ගර මහතා විසින් මුල පුරන ලද මධ්‍ය මහා විද්‍යාල සංකල්පය තුළ පවා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දරුවන් ද ඇතුළුව සිසුන්ට හය ශ්‍රේණියේ සිට ඉහළට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දීමේ ක්‍ර‍මයක් තිබිණි. ඉන් පෙර පවා රටේ බහුතරයක් පාසල්වල භාෂා මාධ්‍ය වූයේ සිංහල හෝ දෙමළ ය.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් පාසල් අධ්‍යාපනය නතර කිරීමෙන් ලංකාවේ අධ්‍යාපනයට සිදු වූ අවාසි පමණක් නොව, වාසි ද ඇති බව අප අමතක නොකළ යුතු ය. විශේෂයෙන් ම සිංහල භාෂාව ගණිතය, විද්‍යාව පමණක් නොව, පරිගණක විද්‍යාව වැනි නවීන තාක්ෂණික විෂයන් පවා උගැන්විය හැකි තරම් පොහොසත් භාෂාවක් ලෙස වර්ධනය වන්නට එය හේතු විය. සිංහලකම ගැන උදම් අනන අය සිංහල භාෂාවේ මේ පොහොසත්කම ග්‍ර‍හණය කරගත හැකි අය විය යුතු ය.

Sinhala Tamil English Translations and Content Writing

කෙසේ වෙතත්, නවීන ලෝකයේ වේගවත් සංවර්ධනය හා සමාජ පරිණාමය සමග සිංහල පමණක් අධ්‍යාපනය නොගැලපෙන බව වසර 2000 පමණ වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන බලධාරීන් තේරුම් ගෙන සිටිය හ. ද්විභාෂා අධ්‍යාපනය ආරම්භ වන්නේ ඒ අනුව ය. රජයේ පාසල්වල 6 ශ්‍රේණියේ සිට ඉහළට සිසුන්ට භාෂා මාධ්‍ය දෙකකින් ඉගෙනීමේ අවස්ථාව එයින් ලැබේ. නිදසුනක් ලෙස, 6 ශ්‍රේණියේ සිසුන්ට ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය, භූගෝල විද්‍යාව, සෞඛ්‍යය යන විෂයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරිය හැකි අතර අනෙකුත් විෂයන් උගන්වනු ලබන්නේ සිංහල හෝ දෙමළ භාෂාවලිනි. ද්විභාෂෘ අධ්‍යාපනය හඳුන්වා දෙන ලද සමයේ මා ඒ හා සම්බන්ධ ඇතැම් පුහුණුවලට සහභාගි වී තිබේ. එය ඉතා පැහැදිලිව ම ද්විභාෂා අධ්‍යාපනයක් මිස ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමක් නොවේ. එහෙත්, දැන් පාසල්වල එය හැඳින්වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය කියා ය. ඉංග්‍රීසි මාධ්‍ය කියා පන්ති වෙන් කිරීමක් හෝ මුල් අදහසේ තිබුණේ නැත. එසේ ම, දරුවකුට භාෂා මාධ්‍යය නැවත වෙනස් කිරීමේ නිදහස ඕනෑම අවස්ථාවක ලැබිණි. එසේ වෙනස් කරනවා නම් දඬුවම් ලෙස ඉංග්‍රීසි මාධ්‍ය පන්තියෙන් වෙනත් පන්තියකට දැමීම කියා දෙයක් නැත. එසේ ම, විභාග පවත්වා ඉංග්‍රීසි මාධ්‍යයට තෝරාගැනීම, ඉංග්‍රීසියෙන් පමණක් ඉගැන්වීම ආදී විෂම ක්‍රියා ද මුල් සංකල්පයෙහි නැත. පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් උගන්වන ගුරුවරුන් මුල් අවධියේදී සිසුන් සමග මව් බස හා ඉංග්‍රීසිය යන දෙක ම භාවිතා කරමින් ක්‍ර‍මානුකූලව වසර කීපයක් යන විට ඉංග්‍රීසි බසට මාරු විය යුතුව තිබිණි. අද වන විට බොහෝ විදුහල්පතිවරුන් මේ සංකල්ප ගැන කිසිවක් දන්නේ නැත. අධ්‍යාපන බලධාරීන්ට ද මේ වන තෙක් ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් පුහුණු කර ගැනීමට බැරි වී තිබේ. බොහෝ පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඇතැම් විට ගණිතය, විද්‍යාව වැනි ඉතා වැදගත් විෂයන් පවා උගන්වන්නේ ඉංග්‍රීසි විෂය ඉගැන්වීම පිළිබඳ පමණක් පුහුණුව ලැබූ අයයි. මේ වන විට පවතින ද්විභාෂා අධ්‍යාපනයේ තත්වය එයයි.

ඇත්ත ම කියනවා නම්, රජයේ පාසල් අධ්‍යාපනය තුළ, ප්‍රාථමික තබා ද්විතීයක මට්ටමේදීවත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හරිහමන් ඉගැන්වීමක් නැත. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා දීම පිළිබඳ ගැටලුව තිබෙන්නේ ජාත්‍යන්තර යයි කියනු ලබන, සමාගම් පනත යටතේ ලියාපදිංචි කර තිබෙන පාසල්වල ය.

1961 අංක 8 දරන උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (අතිරේක විධිවිධාන) පනතේ 25 වැනි වගන්තියට අනුව පෞද්ගලික පාර්ශවයන්ට පාසල් පිහිටුවීම තහනම් ය. වයස අවුරුදු 5-14 දක්වා දරුවන්ට අධ්‍යාපනය ලබා දිය හැක්කේ රජයට පමණි. රජයේ අනුමත පෞද්ගලික පාසල් යනු පනත පැනවීමට පෙර සිටම එවකට පැවති අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වූ පාසල් හෝ එම පනත යටතේ රජයට පවරා දීමට කැමැත්ත ප්‍රකාශ නොකර රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලට එකඟව තවදුරටත් පෞද්ගලික කළමනාකාරිත්වය යටතේ පවත්වාගෙන යනු ලබන පාසල්ය. එවැනි රජයේ අනුමත පෞද්ගලික පාසල් 79 ක ලේඛනයක්‌ 2014දී අධ්‍යාපන අමාත්‍යංශය විසින් රජයේ පාසල්වලට විදුහල්පතිවරුන්ට යවා තිබේ.

‘ජාත්‍යන්තර’ පාසල් බිහිවුණේ මෙරට ජීවත් වන විදේශිකයන්ගේ දරුවන්ට විදේශ විභාග සඳහා අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් වුව ද මේ වන විට එකී ‘ජාත්‍යන්තර’ පාසල් විසින් දේශීය විභාග සඳහා අධ්‍යාපනය ලබා දෙයි. ඒවා ‘ජාත්‍යන්තර’ පාසල් ලෙස හැඳින්වීම තේරුමක් නැති අතර, ඒවා හැඳින්විය යුත්තේ පෞද්ගලික පාසල් ලෙස ය. එවැනි පාසල් 100කට වැඩි ගණනක් මෙරට ඇතැයි සැලකේ. ඒවායේ අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාවල ලක්ෂය ඉක්මවයි.

මෙරට සියලු පෞද්ගලික පාසල් නිසි නියාමනයකට ලක් විය යුතු ය. ඒවා සම්බන්ධ නීති යාවත්කාලීන කිරීම ද අවශ්‍ය ය. මෙහිදී, අධ්‍යාපනය පිළිබඳ තෝරාගැනීම් කිරීමට පුරවැසියන්ට තිබෙන අයිතියට ගරු කළ යුතු ය. සෑම මවක හා පියෙකු ම උත්සාහ කරන්නේ තම දරුවාට පහසුකම් සපිරි පාසලක අධ්‍යාපනය ලබා දෙන්නට ය. එහෙත්, ජාතික පාසල් 350ක් හා පළාත් සභාවලට අයත් පාසල් සීමිත සංඛ්‍යාවක් හැර සෙසු පාසල් සඳහා විශාල ඉල්ලුමක් නැත. ඒවාට යන දරුවන්ට ලැබෙන අධ්‍යාපනයේ ද, අධ්‍යාපනයෙන් පසු ලැබෙන සමාජ අවස්ථාවල ද ගැටලු තිබේ.

රජය රටේ සෑම දරුවකුගේ ම අධ්‍යාපන අයිතිය තහවුරු කළ යුතු ය. ලංකාවේ පෞද්ගලික පාසල් සියල්ල ද රජයේ නියාමනයට ලක් කළ යුතු ය.

1 thought on “ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමේ ප්‍ර‍ශ්නය

  1. ජේ ආර් සමයේ ඇරඹු 6 ඉහල පන්ති වල ඉංග්‍රීසියෙන් ඉගැන්විය යුතු විෂය සංඛ්‍යාව සීමා කර තිබුනේ නැත .විෂයන් 5 ක් පමණක් ඉංග්‍රීසියෙන් ඉගැන්විය යුතුයැයි රාජපක්ෂ පාලන සමයේදී නියම කළේය

Leave comment

Your email address will not be published. Required fields are marked with *.