Flag on moon

අජිත් පැරකුම් ජයසිංහ

මිනිසා මුලින් ම සඳ තරණය කර අවුරුදු 50ක් පිරීම වෙනුවෙන් ඒ ගැන බොහෝ දේ ලියැවුණා. බොහෝ කතාවල ලියැවුණේ ගොඩබැසීම පිළිබඳවයි. සඳ මත ගොඩබැස්ස මිනිසා කොහොමද ආපසු ආවෙ? පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන්නට අලි 750කගේ බරටත් වඩා වැඩි බරක් සහිත ඉන්ධන සහිත රොකට්ටුවක් අවශ්‍ය වුණා නම්, චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන්නට කොයි තරම් ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය ද? ඒ ගමන කොච්චර අමාරු වෙන්නට ඇති ද?

(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
Sinhala Tamil English Translations and Content Writing

චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණය පොළවේ ගුරුත්වාකර්ෂණයෙන් අටෙන් පංගුවක්. එසේම, චන්ද්‍රයාට වායුගෝලයක් නැති නිසා ඝර්ෂණයකුත්, ඔක්සිජන් නැති නිසා පිළිස්සී යාමේ අවදානමකුත් නැහැ. ඒ නිසා චන්ද්‍රයා මතුපිටට ගොඩබැසීමත්, ආපසු නික්මීමත් පොළවෙන් පිටත් වීම හා පොළවට ආපසු පැමිණීම තරම් දුෂ්කර නැහැ.

සඳ මතුපිටට කිලෝමීටර් 70ක් ඔබ්බෙන් චන්ද්‍රයා වටා කක්ෂගතව සිටි මයිකල් කොලින්ස් මෙහෙයවූ කොලොම්බියා මව් යානය වෙත නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රිං රැගත් ඊගල් ලූනර් මොඩියුලය ආපසු ආවේ කොහොම ද?

රොකට්ටුවලට වායුගෝලයකින් තොර රික්තක අවකාශයකදීත් දහනය වන්නට පුළුවන්. ඒ කොහොම ද? රොකට් එන්ජින් ජෙට් එන්ජින් වගේ දහනය සඳහා අවශ්‍ය ඔක්සිජන් වායුගෝලයෙන් ලබාගන්නේ නැහැ. රොකට් එන්ජින් තුළ ද්‍රව ඔක්සිකාරක තිබෙනවා. ඒ නිසා ඒවාට රික්තයකත් දහනය වී බලය නිපදවන්නට පුළුවන්. ඒ නිසා සඳ මතුපිටදී රොකට්ටුවක් පත්තු කිරීම පිළිබඳ ගැටලුවක් නැහැ.

මෙතනදී ක්‍රියාත්මක වන්නේ නිව්ටන්ගේ තුන්වන නියමයයි. ඒ අනුව, රොකට්ටුව විසින් චන්ද්‍ර මතුපිටට යොදනු ලබන තෙරපුම් බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් චන්ද්‍රයා විසින් ද යොදනු ලබනවා. චන්ද්‍රයා ආපස්සට නොයන නිසා රොකට්ටුව ඉදිරියට යනවා. ඒ අනුව, තමයි එය චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී කක්ෂගත වුණේ.

ඊගල් යානය චන්ද්‍රයා මතට ගොඩබසිමින්

චන්ද්‍රයා මතුපිටට ගොඩබසින්නට ගිය ලූනර් මොඩියුලයේ බර කිලෝ 15,103ක්. ඒ අතරින් කිලෝ 8,248ක් ම ඉන්ධන. ආපසු එන විට ඉන්ධන කිලෝ 2,376ක් භාවිතා වුණා. මෙහිදී ඉන්ධන වුණේ ඒරොසයින් 50 ඉන්ධන සහ ඔක්සිකාරකය ලෙස භාවිතා කළ නයිට්‍රජන් ටෙට්‍රොක්සයිඩ්.

සඳගමනට පෙර පැවති පුවත්පත් සාකච්ඡාවකදී නීල් ආම්ස්ට්‍රෝංගෙන් යමෙකු විමසනවා ඔහු එහි ගැන යාමට කැමති පෞද්ගලික දෙයක් තිබේ ද යන්න. ඔහු පිළිතුරු දෙන්නේ මට හැකි නම් මා තව ඉන්ධන ටිකක් ගෙන යනවා ය කියායි. මේ ගමනේදී ඉන්ධන එතරම් වැදගත් වුණා වගේ ම, වැඩිපුර අවුන්සයක තරම්වත් කිසි දෙයක් ගෙන යාමට හැකියාව තිබුණේත් නැහැ.

ආම්ස්ට්‍රෝං කී පරිදි ම ලූනර් මොඩියුලය සඳ මත ගොඩබෑම සඳහා යද්දී ඔහුට ඉන්ධනවල වැදගත්කම දැනුණා. ඇන්ටෙනාවක සැලසුම් දෝෂයක් නිසා ගොඩබැස්වීමේදී අත්‍යවශ්‍ය දත්ත නොමැතිව යානය ගොඩබසින්නට ගියේ අවදානම් සහිත තැනකටයි. මෙහිදී ස්වයං පාලනය අත්හැර නීල් ආම්ස්ට්‍රෝං ම තමයි ලූනර් මොඩියුලය පැදෙව්වේ. නිසල මුහුද ලෙස හැඳින්වුණ ස්ථානයේ යානය ගොඩබැස්වීම සඳහා සුදුසු තැනක් කරා මෙහෙයවද්දී යානයේ බැස්ම සඳහා භාවිතා කළ ඉන්ධන ද අවසන් වෙමින් තිබුණා.

මෙම චන්ද්‍ර තරණයේදී ගොඩබැසීම සාර්ථක වන්නට තිබුණේ 50%ක අවස්ථාවක්.

ඊගල් යානය ආපසු එමින්

සඳ මතුපිට සිට ආපසු පැමිණීම එතරම් නාට්‍යමය ජවනිකාවක් වුණේ නැහැ. හැබැයි, යානයේ විදුලි පද්ධතියක ඇති වූ ගැටලුවක් ඕල්ඩ්‍රිං විසඳා ගත්තේ සාක්කුවේ තිබුණු ෆෙල්ට් පෑනක තුඩක් භාවිතා කරමිනුයි.

සඳ මතට දෙවනුව පා තැබූ ඕල්ඩ්‍රිං දොර වසා දැමීමේදී සැලකිලිමත් විය යුතුව තිබුණු කාරණයක් ඔබ දන්නවා ද? ඒ තමයි දොර වැසීමේදී එය නිවැරදිව වසන එක. පොඩි හෝ වරදක් වුණා නම් එය එළියේ සිට අරින්නට බැරිවෙන්නට ඉඩ තිබුණා.

ඕල්ඩ්‍රිං ඉතිහාසගත වුණ තවත් හේතුවක් තිබෙනවා. ඔහු තමයි සඳ මත මුත්‍රා කළ පළමු මිනිසා. ඇත්තම කියනවා නම්, එහි තිබූ අපාය සදිසි පාළුව නිසා ඔහුට කලිසමේ ම මුත්‍රා ගියා.

(ඡායාරූප: නාසා)

Leave comment

Your email address will not be published. Required fields are marked with *.