Ramani Muttettuwegama, Victor Ivan, Lakshan Dias and Lasantha de Silva

වික්ටර් අයිවන්, රමණී මුත්තෙට්ටුවේගම, ලක්ෂාන් ඩයස්, යුධන්ජය විජේරත්න සහ තවත් අය දැක්වූ අදහස්

ගතානුගතික හා නව මාධ්‍ය අවකාශයන්ගේ වෛරී ප්‍රකාශ ලොව පුරාමත් වැඩිවෙමින් තිබේ. වෛරී ප්‍රකාශයක් කියන්නේ කිසියම් පුද්ගලයකුට හෝ ප්‍රජාවකට එරෙහිව වෛරය අවුළුවන ප්‍රකාශයකි.

(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
Sinhala Tamil English Translations and Content Writing

ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් වෛරී ප්‍රකාශ පිටුදැකීම සඳහා පුළුල් නීති සම්පාදනය කර තිබේ. උදාහරණයක් ලෙස ප්‍රංශයේ පවතින නීති අනුව, වෛරී ප්‍රකාශ පැය 24ක් ඇතුළත ඉවත් කිරීමට සමාජ මාධ්‍ය වේදිකා බැඳී සිටියි.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කර ප‍්‍ර‍වර්ධනය කිරීම සඳහා වන ජාත්‍යන්තර බැඳීම්වලට යටත් වෙමින් ශ්‍රී ලංකාව 1980 ජූනි 11 වෙනි දින සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) අත්සන් කළේ ය.

කේන්ද්‍රීය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සනාථ කිරිම සඳහා නීති සම්පාදනය කරමින් 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත බලාත්මක කරන ලදී.

මෙම පනතේ 3 (1) වගන්තිය අනුව, “කිසි ම තැතැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම් නොකළ යුතුය.”

මෙය ඉතා පැහැදිලිව ම වෛරී ප්‍රකාශවලට එරෙහි නීතියකි. එහෙත් එය භාවිතා වන්නේ තෝරාගත් සිදුවීම් සඳහා පමණි. ශක්තික සත්කුමාර සම්බන්ධයෙන් මෙම නීතිය ක්‍රියාත්මක වුව ද, විවෘතව ම වෛරී ප්‍රකාශයක් සිදු කළ අස්ගිරි මහනායක හිමි සම්බන්ධයෙන් කුමන හෝ නීතියක් ක්‍රියාත්මක කිරීමට ලංකාවේ නීති පද්ධතිය අසමත් විය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ “අසත්‍ය පුවත්, වෛරී ප්‍රකාශන හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස” මැයෙන් වූ විවෘත සංවාද සභාවක් ජුලි 17 දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වා විසින් මෙහෙයවන ලද මෙම සාකච්ඡා සභාවට රාවය උපදේශක කර්තෘ වික්ටර් අයිවන්, මානව හිමිකම් කොමිෂමේ සාමාජිකවරියක වන රමණි මුත්තෙට්ටුවේගම සහ නීතිඥ ලක්ෂාන් ඩයස් අදහස් දැක්වූ හ.

මෙහිදී අදහස් දක්වමින් නීතිඥ ලක්ෂාන් ඩයස් පෙන්වා දුන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත මෙන් ම වෙනත් මානව හිමිකම් නීති ද රටට හඳුන්වා දෙනු ලැබුවේ ජාත්‍යන්තර බලවේග වැනි බාහිර බලපෑම් මත මිස මානව හිමිකම් රාමුව පුළුල් කිරීම සඳහා රජයට තිබුණු උවමනාවක් නිසා නොවන බවයි. “තුන්වන වගන්තියේ පැහැදිලිව දැක්වෙනවා වෛරී ප්‍රකාශන යනු මොනවා ද කියා. මෙමගින් යුද්ධය ප්‍රවර්ධනය කරන්නට බැහැ. අපේ රටේ 2009 දක්වා යුද්ධය තිබුණා. ඒ කාලයේ යුද්ධය ප්‍රවර්ධනය කිරීමත් තිබුණා. ක්‍රියාමාර්ග ගැනීමක් සිදු වුණේ නැහැ. මෑතදී පොලිසිය අවබෝධ කරගත්තා මේ පනත තෝරාගත් සිදුවීම් සඳහා යොදාගත හැකි බව. මීට කලින් මේ වෙනුවෙන් යොදාගත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි. මාධ්‍යවේදී ජේ.එන්. තිස්සයිනායගම් සිරගත කළේ එමගිනුයි. මේ පනත් දෙක ම යටතේ සැකකරුට ඇප ලබාගැනීම දුෂ්කරයි. ඒත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තිබුණු මෙම ගැටලුව කෙරෙහි මාධ්‍යවල පවා අවධානය යොමු වුණේ නැහැ. මෙවැනි ම තත්වයක් වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනතේ ද තිබෙනවා. එහිදී සැකකරුවකුට ඇප ලබාගත හැක්කේ අභියාචනාධිකරණයෙන් පමණයි. එහෙත්, ‘ඇප දීම නීතියයි; ඇප නොදීම ව්‍යතිරේඛයකි,’ කියායි ඇප පනතේ 14 වගන්තිය යටතේ සඳහන් වන්නේ.”

මෙහිදී පොලිසිය මෙම නීති භාවිතා කරන ආකාරය ගැටලු සහගත බව ඔහු පෙන්වා දුන්නේ ය. එවැනි වැරදි කරන ඇතැම් කොටස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බව ද ඔහු පෙන්වා දුන්නේ ය. කුමන නීතිය තිබුණත් එහි භාවිතාව නිසි පරිදි සිදුවන්නේ නැතිනම්, නීති තිබුණත්, නැතත් අර්බුදවලට මුහුණ දීමට සිදු වන බවත්, එබැවින් මේ පිළිබඳ සංවාදය ඉතා වැදගත් බව ඔහු පෙන්වා දුන්නේ ය.

මෙහිදී වික්ටර් අයිවන් අදහස් දක්වමින් පෙන්වා දුන් කරුණක් වන්නේ ජනමාධ්‍ය අශීලාචාරකම නැති නොකර දේශපාලන තලයේ ගැඹුරු වෙනසක් ඇති කළ නොහැකි බවයි. “දේශපාලන තලය ඉතාම අශීලාචාර විදිහටයි තියෙනව කියලයි හැම කෙනෙක් ම හිතන්නෙ. දේශපාලන තලය නිදහස් කර ගැනීමෙන් ලංකාවට නිදහස ලබා ගන්න පුලුවන් කියලා හිතනවා. ඒත් මම හිතන්නේ එහෙම බැහැ කියලා. ජනමාධ්‍ය දැන් තියෙන අශීලාචාර තත්ත්වයේ ඉන්නා තෙක් ලංකාවේ දේශපාලනයේ ගැඹුරු පරිවර්තනයක් ඇති කරන්න බැහැ. පළමුවෙන්ම ජනතාවගේ අවධානය යොමු වෙන්න ඕනෑ පාර්ලිමේන්තුවටවත්, ජනාධිපතිටවත් නෙමෙයි ලංකාවේ ජනමාධ්‍ය දෙසටයි. මේ ජනමාධ්‍ය ශීලාචාර තැනකට ගන්න ආණ්ඩුවකට බැහැ.”

පුනරුද ව්‍යාපාරය ඔස්සේ රට පුරා පවත්වාගෙන යන සංවාද මාලාවේ අත්දැකීම් ඇසුරින් ඔහු පෙන්වා දුන්නේ ජනතාව මෙම ප්‍රශ්නය විසඳීම වැඩි කලක් යාමට පෙර සියතට ගන්නා බවයි. “ජනමාධ්‍ය හරි බලවත්. ඒගොල්ලෝ බොහොම විනාශකාරී කාර්යභාරයක් තමයි අද වන විට ලංකාවේ කරමින් ඉන්න‍ෙ.දේශපාලනඥයින්ටත් වඩා ඉතා බිහිසුණු කාර්යයක් කරමින් ඉන්නෙ. ජනමාධ්‍ය ඇත්තටම  ශීලාචාර කරන්න නම් මේ  රටේ මහජනයා ශීලාචාර කරන්න ඕනැ. ජනමාධ්‍ය  ශිලාචාර කිරීමත් සමඟ ලංකාවෙ හැමදේම වෙනස් වෙනවා.  එය මහජනතාවගේ කාර්යයක්. එය ඉතා මෑතකම මහජනයා අතට ගන්නවා කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා.”

සයිබර් අවකාශය පිළිබඳ කතා කරමින් වික්ටර් අයිවන් පැවසුවේ එය වඩා නිදහස් අවකාශයක් බවයි. එය වැඩි පිරිසකට අදහස් ප්‍රකාශනයට අවස්ථාව ලබා දී තිබෙනමුත් එහි මාධ්‍ය සංස්කෘය සම්බන්ධ ගැටලු ද ඇති බවයි. එහෙත්, එය ප්‍රගතිශීලී ද වන අතර, ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය අතනොගසන ඇතැම් කටයුතු වෙනුවෙන් ඔවුන් මැදිහත් වන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

මානව හිමිකම් කොමිෂමේ සාමාජිකාවක වන රමණී මුත්තෙට්ටුවේගම මහත්මිය මෙසේ පැවසුවා ය: “පුරවැසි මාධ්‍ය නිසා හැම කෙනෙකු ම මාධ්‍යවේදියකු බවට පත්වෙලා ද යන්න සාකච්ඡා වෙනවා. සම්ප්‍රදායික මාධ්‍යවේදියාට තිබෙන ආරක්ෂාවවත් පුරවැසි මාධ්‍යවේදියාට නැහැ. නව මාධ්‍ය අලුත්. තව අවුරුදු දහයකින් එය කොහේ තිබෙයිද දන්නේ නැහැ. අපි බලන්න ඕනැ සමාජය කොහේ තියෙයි ද කියලා. මෙහි අලුත් දෙයකුත් නැහැ. වෙනස පැහැදිලිත් නැහැ. මේ අතර ව්‍යාජ ප්‍රවෘත්ති විතරක් නෙමෙයි, ව්‍යාජ හැඳිනුම් පවා භාවිතා වෙනවා. ඒත්, මිනිසුන් ඒවාත් පිළිගන්නවා. ඇයි මිනිසුන් ඒවා පිළිගන්නෙ? මේ විදියට ගිහින් තව ටික කාලෙකින් මාධ්‍ය සියල්ල ගැන විශ්වාස නැතුව ගියාම මිනිසුන් තමන් ම ඔහේ ප්‍රවෘත්ති හුවමාරු කරගන්න පටන් ගනීවි. “

යුධන්ජය විජේරත්න

ව්‍යාජ අනන්‍යතා පිළිබඳ පසුගියදා අද දෙරණ-24 රූපවාහිනියේ ගෙට් රියල් වැඩසටහනේදී ලේඛක සහ මහා දත්ත පිළිබඳ පර්යේෂක යුධන්ජය විජේරත්න අදහස් දක්වමින් පැවසුවේ මෙම ව්‍යාජ අනන්‍යතා සහ නිර්නාමිකත්වය අහෝසි කිරීමට නොහැකි බවයි. එසේ කරන්නට අවශ්‍ය වී නම් එය අන්තර්ජාලයේ ආරම්භක යුගයේදී කළ යුතුව තිබුණු බවයි. දැන් එක් මාධ්‍ය වේදිකාවක් විසින් ව්‍යාජ අනන්‍යතා අහෝසි කරන්නට පියවර ගතහොත්, තරගකාරී වෙනත් මාධ්‍ය රැසක් එයට වහා ඉඩ සලස්වන බවයි. අනෙක් පැත්තෙන්, නිර්නාමිකත්වයේ අයිතිය මාධ්‍ය ක්‍රියාකාරිකයන් විසින් ඉල්ලා සිටින තත්වයක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

ඉහත කී සංවාද සභාවේ සිටි මාධ්‍යවේදීන් වූ සුනන්ද දේශප්‍රිය, තරිඳු ජයවර්ධන හා නිමල් අබේසිංහ විසින් වෛරී ප්‍රකාශ හා ව්‍යාජ පුවත්වලින් සිදු වන හානි සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂමේ මැදිහත්වීම ප්‍රශ්න කරන ලදී. යම් වරදක් සිදු වන විට ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂමට මැදිහත් වීම සඳහා පැමිණිල්ලක් අවශ්‍ය නොවන බව ඔවුහු පෙන්වා දුන් හ. මේ ගැන අදහස් දක්වමින් නීතිඥ ලක්ෂාන් ඩයස් පෙන්වා දුන් කරුණක් වන්නේ නඩු පැවරීම්වලදී මානව හිමිකම් කොමිෂමේ සාමාජිකයන් වගඋත්තරකරුවන් ලෙස දක්වන්නට පුළුවන් බවයි. වික්ටර් අයිවන් ඉන්දියාවෙන් උදාහරණයක් දක්වමින් එරට වරදක් සිදුවනු දකින පුද්ගලයකුට ඒ පිළිබඳ අධිකරණය දැනුවත් කිරීම සඳහා ලංකාවේ තරම් වියදම් දැරීමේ අවශ්‍යතාවක් නැති බව හා එය ලියුමක් යැවීම වැනි සරල ක්‍රියාවක් බවයි. ලංකාවේ මේ සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ඉතා දුෂ්කර හා වියදම් අධික ක්‍රියාවක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය. “ලංකාවේ ඉන්නවා එක් නඩුවාරයකට රු. ලක්ෂ 20ක් විතර අය කරන නීතිඥයන්,” වික්ටර් අයිවන් මහතා පෙන්වා දුන්නේ ය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.